සිකුරුගේ වායු ගෝලයේ රහස



අරුණලු නැගෙද්දී අහසේ දකින්න ලැබෙන ‘උදා තරුව’ සහ හිරු බැස ගොස් අඳුර වැටෙද්දී දකින්න ලැබෙන ‘ඉරබට තරුව’, තරුවක් නොවන බව ඔබ දන්නවද? ‘උදා තරුව’ ලෙසින් ද ‘ඉරබට තරුව’, ලෙසින් ද හැඳින්වෙන්නේ සිකුරු ග්‍රහලොවය. පසුගිය දින කීපය පුරාවට අපට සිකුරු ගැන අසන්න ලැබුණේ, පිටසක්වළ ජීවය පිළිබඳ හෝඩුවාවක්, සිකුරුගේ ගන වායුගෝලයෙන් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වීම නිසාය.

සිකුරුගේ ජීවය ඇතැයි සැක කළ හැකි යැයි ලොවට අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වන ජේන් ග්‍රීවර්ස් ඇතුළු කණ්ඩායමය. ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ පිරිස සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කර තිබේ. ඒ, පෘථිවියේ පිහිටා ඇත්තේ ප්‍රබල දුරේක්ෂ ආධාරයෙනි. සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කරද්දී, වායුගෝලයේ තිබී ‘පොස්පීන්’ වායු අංශ හමුවී තිබේ. 

‘පොස්පීන්’ පෘථිවියේ ද දකින්න ලැබෙයි. ඒ, කාබනික ද්‍රව්‍ය ක්ෂය වෙද්දීය. මසුන් මියයද්දී, වගුරු බිම්වලින් පොස්පීන් වායුව ස්වභාවිකව නිර්මාණය වෙයි. එසේනම් පොස්පීන් සිකුරුගේ වායුගෝලයෙන් හමුවීම විද්‍යාඥ කණ්ඩායමට ප්‍රෙහේලිකාවකි. ‘පෘථිවියේ පොස්පීන් නිපදවීමට බැක්ටීරියා දායක වෙනවා. එසේ නම්, සිකුරු වායුගෝලයේ පොස්පීන් තිබෙන්නේ, බැක්ටීරියා විශේෂයක බලපෑම නිසා වෙන්න පුළුවන්.’ යැයි ජේන් ග්‍රීවර්ස් පහදයි. ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ කණ්ඩායම සිකුරුගේ වායුගෝලයේ පොස්පේන් අංශු අඩංගු බවට පළමු හෝඩුවාව සොයා ගත්තේ, හවායි දූපතේ පිහිටි ‘ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්’ දුරේක්ෂකයේ ආධාරයෙනි. එය තහවුරු කර ගැනීම සිදුවූයේ චිලී රටේ ඇටකාමා කාන්තාරයේ පිහිටා ඇත්තේ රේඩියෝ දුරේක්ෂ ආධාරයෙනි.

සිකුරු සහ පෘථිවිය

හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටන ග්‍රහලොවයි. පෘථිවිය සහ අඟහරු ඇත්තේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලය. ප්‍රමාණයෙන් පෘථිවියට බෙහෙවින් සමාන බැවින්, පෘථිවියේ නිවුන් සොයුරා ‘සිකුරු’ යැයි ද පැවැසෙයි. සිකුරුගේ වායුගෝලයේ වැඩි ප්‍රමාණයක් ඇත්තේ කාබන් ඩයොක්සයිඞ් වායුවය. වායුගෝලය ගණ බවින් යුක්ත වන අතර, සල්ෆියුරික් වායුව ද අන්තර්ගතය. ඒ, සිකුරු මතුපිට ඇති ගිනිකඳු නිසාය. අප සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම වැඩිම ග්‍රහයා වන්නේ ද සිකුරුය. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 කි.

සිකුරුගේ උණුසුම වැඩිවීමට එක් හේතුවක් වන්නේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ්, හිරු කිරණ රඳවා ගැනීමය. සිකුරුගේ ගන වායුගෝලයට පහළින් පාෂාණමය මතුපිටක් ඇති බව අනාවරණය වූයේ 1975 දී, සෝවියට් දේශයේ ‘වෙනෙරා 9’ ගවේෂණ යානය සිකුරු මතුපිටට යෑමෙනි. අධික උණුසුම හේතුවෙන්, සිකුරු ග්‍රහලොවේ ජීවයක් පැවැතීමට ඉඩක් නොමැති බව තාරකා විද්‍යාඥයන්ගේ සිතුවිල්ල වී තිබුණි. එහෙයින්, පිටසක්වළ ජීවය සොයමින්, ගවේෂණ වැඩියෙන් සිදුවන්නේ අඟහරු හෙවත් රතු ග්‍රහයා මුල්කොට ගනිමිනි. සිකුරු මතුපිටට යැවුණු පළමු සහ එකම යානය වන්නේ ද සෝවියට් දේශයේ ‘වෙනෙරා 9’ යානය පමණය. කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ දී ඇමෙරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේ ඔවුන් සිකුරු ගවේෂණ මෙහෙයුමකට සූදානම් වන බවය. එම මෙහෙයුම ‘ඩාවින්චි’ යනුවෙන් නම් කරන බව ද නාසා පැවැසුවේය.

‘ඩාවින්චි’ මෙහෙයුම ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2026 දීය. එසේනම්, සිකුරුගේ වායු ගෝලයේ ඇති ‘පොස්පීන්’ වායුව සම්බන්ධ අබිරහස විසඳා ගැනීමට තවත් වසර පහක් පමණ අපට බලා සිටීමට සිදුවුනු ඇත.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS