සඳ මතුපිට අබිරහස් ද්‍රව්‍යයක්



අපට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට පළමුවෙන් රොබෝ ගවේෂණ යානයක් පතිත කිරීමට සමත් වූයේ චීනයයි. සඳේ අඳුරු පැත්තේ අබිරහස් සෙවීමේ අරමුණින්, සඳට යැවුණු මෙම යානය ‘චැංග් ඊ 4’ යන නමින් හැඳින්වෙයි. මවු යානයක් සේ ක්‍රියාකරන ‘චැංග් ඊ 4’ සඳේ අඳුරු පැත්තේ අති දැවැන්ත ආවාටයකට පතිත කරනු ලැබුවේ 2019 ජනවාරි 3 වැනිදාය.

‘චැංග් ඊ 4’ මවු යානය සතුව රොබෝ රෝවර් යානයක් ද වෙයි. ‘යූටූ 2’ එසේත් නැතිනම් ‘ජේඞ් හාවා’ යන නමින් ද එය හැඳින්වෙයි. රොබෝ රෝවර් යානයේ මෙහෙයුම වන්නේ සඳේ අඳුරු පැත්තේ එය ගොඩ බෑ ආවාටයේ එහෙමෙහෙ ගමන් කරමින් ගවේෂණයේ යෙදීමය. යානය හසුරුවන්නේ පෘථිවියෙන් ලැබෙන සංඥා අනුවය.

අබිරහස් සොයන්න ගිය ‘යූටූ 2’ රෝවරයට සඳ මතුපිට අසාමාන්‍ය දෙයක් දකින්න ලැබී ඇත. එය මේ වනවිට චීන විද්‍යාඥයන් පමණක් නොව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් ද මවිතයට පත් කිරීමට සමත් වී ඇත. ‘යූටූ 2’ රෝවර් යානය සහ ‘චැංග් ඊ 4’ මවු යානය පෘථිවි විද්‍යාඥයන් සමඟ පණිවුඩ හුවමාරුයේ යෙදෙන්නේ සඳුගේ කක්ෂයේ රඳවනු ලැබූ ‘ක්වෙකියෝ’ චන්ද්‍රිකාව ආධාරයෙනි.

‘යූටූ 2’ රෝවරයේ නවීන තාක්ෂණයෙන් සමන්විත කැමරා පද්ධතියකින් සමන්විතය. පෘථිවියේ සිට එය ඉදිරියට පදවමින් යද්දී, ඇලෙන සුළු ජෙලි වැනි අසාමාන්‍ය වර්ණයකින් යුත් කිසියම් ද්‍රව්‍යයක් හරහා යානය ගමන් කළේය. මෙය සිදුවූයේ පසුගිය ජූලි මාසයේදීය. කෙසේ නමුත් චීන විද්‍යාඥයන් එය ලොවට අනාවරණය කළේ පසුගිය සතියේය.

මේ ජෙලි වැනි අසාමාන්‍ය ද්‍රව්‍ය කොළ පැහැයක් ගන්නා බව ද පැවැසෙයි. සඳේ කිසිදු තැනක මෙවැනි අසාමාන්‍ය ද්‍රව්‍යයක් මීට පෙර දකින්න ලැබී නැත. එහෙයින්, ‘යූටූ 2’ රෝවරය මෙම අසාමාන්‍ය ද්‍රව්‍යය පරීක්ෂා කිරීමට වැඩි කාලයක් ගත කරනු ඇතැයි චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කියයි.  අසාමාන්‍ය ජෙලි ද්‍රව්‍ය ඡායාරූපයට නැගීම සහ සාම්පල පරීක්ෂාවක් ද නියමිතය. හරිහැටි කුමක්දැයි නොදන්නා නමුත් මෙම අසාමාන්‍ය ද්‍රව්‍යය ගැන නොයෙක් අදහස් පළ වී ඇත. එයින් එකක් වන්නේ එය වීදුරු සංඝටකවලින් සැදුම්ලත් දෙයක් විය හැකි බවය. ‘යූටූ 2’ රෝවර් යානය ගවේෂණය කරන්නේ සඳුගේ කර්මාන් නමැති දැවැන්ත ආවාටයටය. උල්කාවක් ගැටීමෙන් ආවාටය නිර්මාණය වී ඇත. උල්කාව සඳුගේ පෘෂ්ඨයේ ගැටෙද්දී ඇතිවුණු අධික තාපය සහ උල්කාවේ අඩංගු ද්‍රව්‍ය හේතුවෙන් වීදුරු සංඝටක නිර්මාණය වන්න ඇතැයි පැවැසෙයි.

මොකක්ද මේ අඳුරු පැත්ත ?
සඳ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් 384,000 ක් ඈතිනි.  සඳ පෘථිවිය යටා වරක් පරිභ්‍රමණය (තමන් වටේ කැරැකීම) වීමට දින 27 යි පැය 7 යි මිනිත්තු 43 1/4 ක් ගත වෙයි. තම කක්ෂය වටා වරක් යෑමට සඳට එම කාලයම ගත වෙයි. ඒ නිසා පෘථිවියට පෙනෙන්නේ සඳේ එක් පැත්තක් පමණය. ‘නොපෙනෙන පැත්ත’, ‘නොපෙනෙන කලාපය’, ‘අඳුරු පැත්ත’ ආදී නම්වලින් හැඳින්වෙයි.

චැංග් ඊ 4 යානයේ වික්‍රමය
සඳේ අඳුරු පැත්තට මීට පෙර ද ගවේෂණ යානා යවා ඇති නමුත්, සඳේ අඳුරු පැත්තට යානයක් පතිත කළ පළමු අවස්ථාව වන්නේ ‘චැංග් ඊ 4’ යානයේ වික්‍රමයයි. සඳේ අඳුරු පැත්තට යානයක් පතිත කිරීමේ ගෞරවය චීනයට හිමිවෙයි. සඳේ අඳුරු පැත්තට යානයක් යැවූ පළමු රට සෝවියට් දේශයයි. ඒ 1959 වසරේ දී ලූනා 3 යානයයි. එය පතිත කරවන යානයක් නොව, කක්ෂීය යානයක් විය. ‘චැංග් ඊ 4’ යානය ‘ලෝංග් මාර්ච් 3 බී’ රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට විදීම සිදුවූයේ 2018 දෙසැම්බර් 7 වැනිදාය. රොකට්ටුව උඩු ගුවනට විදීම සිදු කළේ සිචුවාන් පළාතේ, ෂීචැංග් ගගන මධ්‍යස්ථානයෙනි. රොකට්ටුවෙන් වෙන් වූ ‘චැංග් ඊ 4’ යානය සඳ බලා ගියෙය්. දෙසැම්බර් 12 වැනිදා එය සඳේ කක්ෂයට ඇතුළු විය. අඳුරු පැත්තට ගොඩබෑම සිදුවූයේ පසුගිය 2019 ජනවාරි 3 වැනිදාය.

ක්වෙකියෝ සහ යූටූ
සඳේ අඳුරු පැත්තේ සිට පෘථිවිය සමඟ සන්නිවේදනය කිරීම අසීරුය. සන්නිවේදන කටයුතු සිදුකිරීමට චීනය පසුගිය 2018 මැයි 20 වැනිදා ‘ක්වෙකියෝ’ නමින් විශේෂ සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳුගේ කක්ෂයේ රඳවනු ලැබීය. ‘චැංග් ඊ 4’ යානය සඳේ අඳුරු පැත්තට ගොඩබෑමෙන් පසු, ලබාගත් ඡායාරූප සහ දසුන් චීන ගගන විද්‍යාඥයන් අතට පත් වූයේ ක්වෙකියෝ චන්ද්‍රිකාව හරහාය.‘ක්වෙකියෝ’ යන්නෙහි අර්ථය ‘පොල්කිචි පාලම’ යන්නය. ‘චැංග් ඊ’ යනු චීන මිත්‍යා කතාවල සඳහන් සඳුට අධිපති දෙවඟනය. ‘යූටූ’ යනු ‘ජේඞ් හාවා’ යන්නය. සඳේ හාවකු සිටිනවා යැයි චීන මිත්‍යා කතාවල පදනම් කරගත් සාහිත්‍යයේ සඳහන් වෙයි. මේ හාවා චීන සාහිත්‍යයේ වඩාත් කැපී පෙනෙන චරිතය ලෙස සැලකෙන වූකොං සමඟ සටන් කරයි. වූකොන් යනු දෙව්ලොව කලබල කළ, ත්‍රිපිටකය සොයා ජම්බුද්වීපයට ගිය මල් පළතුරු කන්දේ වානර රජුය.

කර්මාන් ආවාටය
‘චැංග් ඊ 4’ යානය ගොඩබෑම සිදු කරනු ලැබුවේ, ‘එයිකන්’ ද්‍රෝණියේ වොන් ‘කර්මාන්’ ආවාටයටය. ‘චැංග් ඊ 4’ යානය ආවාටය පතිත කිරීම සිදුවූයේ ජනවාරි තුන් වැනිදා චීනයේ වේලාවෙන් උදේ 10.26 ටය. සඳට පතිත කිරීමෙන් පසු වර්ණ ඡායාරූප එවීම සිදු කළේය. ඒ, ‘ක්වෙකියෝ’ චන්ද්‍රිකාව හරහාය. සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ඝට්ටන ආවාටය ලෙස මෙම ආවාටව සැලකෙයි. විශ්කම්භය කිලෝ මීටර් 2,500 කි. ගැඹුර කිලෝ මීටර් 13 කි. අසාමාන්‍ය ජෙලි වැනි ද්‍රව්‍ය හමුවූයේ මෙම කර්මාන් ආවාටය මැදිනි. එදා සිට ‘චැංග් ඊ 4’ යානය තුළ රඳවා තැබුණු රොබෝ රෝවර් යානය, එළියට පැමිණ එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු ඇරැඹූ අතර, ලබා ගත් දසුන් චීන විද්‍යාඥයට ලැබෙන්න සැලැස්වීය. ‘චැංග් ඊ 4’ යානය එසේ මෙසේ එකක් නොවෙයි. එය කුඩා පර්යේෂණාගාරයකි. එය කුඩා ජෛව ගෝලයක් යැයි චීන විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

ජෛව ගෝලයක්
‘චැංග් ඊ 4’ යානය සඳේ අඳුරු පැත්තේ පරීක්ෂණ රැසක් සිදු කිරීමට සූදානම් වී සිටී. ‘චැංග් ඊ 4’ යානය කුඩා ජෛව ගෝලයක් සහිත පර්යේෂණාගාරයකින් සමන්විත වෙයි. පර්යේෂණාගාරයේ කෘත්‍රිම හරිතාගාරයකි. අර්තාපල්, ගෝවා, බෝංචි ආදිය මෙහෙි පැල කර ඇත. පටපණුවන්ගේ බිත්තර ද එක් පර්යේෂණ කුටියකට ඇතුළ්ය. එකිනෙකට වෙනස් පරිසර තත්ත්වයන් යටතේ මේවායේ වර්ධනය සිදුවන අයුරු සොයා බැලෙයි. ඊට අමතරව, ඡායාරූප ගැනීම් සිදුවන අතර පස් සාම්පල ලබා ගැනීම සහ ඒවා විශ්ලේෂණය ද සිදුවෙයි. විකිරණ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය ගැන සොයා බැලෙයි. ‘චැංග් ඊ 4’ හරිතාගාරයේ බෝංචි ඇට පැළ වූ නමුත් කෘත්‍රිම පරිසර තත්ත්වයක් යටතේ පවා එම බෝංචි පැළ හොඳින් වර්ධනය නොවුණි. දින කීපයකට පසු චීන විද්‍යාඥයන් නිවේදනය කළේ බෝංචි පැළ මියගිය බවය.

චීනුන්ගේ ගගන වික්‍රම

2007 ඔක්තෝබර් 24 - චැංග් ඊ 1 මිනිසුන් රහිත චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීය. වසරක කාලයක් එය ඉතා හොඳින් ක්‍රියාකාරීව පැවැතිණි.

2010 ඔක්තෝබර් 1 - චැංග් ඊ 2 චන්ද්‍රිකාව සඳුගේ කක්ෂයට යැවීය. චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ආරම්භය මෙයයි. චැංග් ඊ 2 චන්ද්‍රිකාව සඳුගේ කක්ෂයේ රඳවනු ලැබුවේ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත චැංග් ඊ 3 මෙහෙයුමේ දී දත්ත එක් රැස් කිරීමටය.

2011 සැප්තැම්බර් 29 - චීනය ටියැංගොන් 1 ගගන පර්යේෂණාගාරය උඩු ගුවනට යවා රැඳවීය.

2013 සැප්තැම්බර් 15 - ටියැංගොන් 2 නමැති දෙවැනි ගගන පර්යේෂණාගාරය උඩු ගුවනට යැවීම සිදුවිය.

2013 දෙසැම්බර් - චැංග් ඊ 3 ගුවන්ගත කෙරුණි.

2013 දෙසැම්බර් 14 - කිලෝ ග්‍රෑම් 1,200 ක් බරින් යුත්, චැංග් ඊ 3 චන්ද්‍ර යානය සඳේ පෙනෙන පැත්තට සාර්ථකව ගොඩබෑම සිදුවිය. 1976 වසරේ ලූනා 24 යානයෙන් පසු, සඳ මතුපිටට මෘදු ගොඩබෑමක් කළ පළමු වස්තුව ලෙස මෙය සැලකෙයි.

2018 අප්‍රේල් පළමු වැනිදා - උඩු ගුවනේ රඳවා තිබුණු ටියැංගොන් 1 ගගන පර්යේෂණාගාරය, පැයට සැතපුම් 17,000 ක වේගයකින් පෘථිවියට කඩා වැටුණි. එය කඩා වැටුණේ ටහීටි දූපත් රාජ්‍යයට ඔබ්බෙන් සාගරයටය.

2018 මැයි 20 වැනිදා - ‘පොල්කිචි පාලම’ යන අර්ථය ඇති ‘ක්වෙකියෝ’ සන්නිවේදන චන්ද්‍රිකාව, සඳුගේ කක්ෂයට යැවීම සිදුවිය. චැංග් ඊ 4 යානය චීන විද්‍යාඥයන් සමඟ සම්බන්ධ වෙන්නේ මෙම චන්ද්‍රිකාව ආධාරයෙනි.

2018 දෙසැම්බර් 7 වැනිදා - චැංග් ඊ 4 යානය රැගත් රොකට්ටුව ගුවන්ගත කෙරුණි.

දෙසැම්බර් 12 වැනිදා - චැංග් ඊ 4 යානය කුඩා රොකට් පද්ධතිය ක්‍රියාත්මක වූ අතර සෙමින් සෙමින් යානය සඳේ කක්ෂයට පිවිසිණි.

දෙසැම්බර් 31 වැනිදා - යානය සඳේ අඳුරු පැත්තට ගොඩබෑමට සූදානම් විය.

වසර 2020 දී - ටියැංගොන් 3 මොඩියුලය උඩු ගුවනට යැවීමට නියමිත අතර එය ටියැංගොන් 2 සමඟ එක් වනු ඇත.

වසර 2033 දී - චීනය අඟහරු වෙත මිනිසුන් රහිත යානයක් යැවීමට සූදානමින් සිටී.

වසර 2040 සිට 2060 අතර ආසියානු බලවතා වන චීනය අඟහරු බලා ගගනාමීන් සමඟ ගගන මෙහෙයුමක් සිදු කිරීමට සූදානමින් සිටී. ඇමෙරිකාව වසර 2030 න් පසු අඟහරු බලා ගගනගාමීන් යැවීමට සූදානම් බව පවසා ඇත.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS