සඳ ගමනට අවුරුදු 51 යි



මානව ඉතිහාසයේ සිදුවුණු වැදගත්ම සිදුවීම සඳ තරණයයි. නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ, සඳ තරණය ආරම්භ වූයේ මීට අවුරුදු 51 කට පෙර 1969 ජූලි 16 වැනිදාය. මේ ඒ සම්බන්ධයෙන් පළ වන විශේෂාංගයකි. ‘සැටර්න් 5’ අධි බලැති රොකට්ටුවෙන් සඳ බලා ගිය ගගනගාමීන් වන්නේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස්ය ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳ මතුපිටට පය තැබුවේ, මීට වසර 51 කට පෙර, 1969 වසරේ ජූලි 20 වැනිදායි.

අභ්‍යවකාශය ජය ගැනීම සහ පළමුවෙන් සඳට පය තැබීම, එවකට ලොව ප්‍රබලයන් වූ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර පැවැති නිරවි යුද්ධයේ අවසන් ප්‍රතිඵලයයි. අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් තරඟය ඇරැඹුණේ 1957 වසරේදීය. රටවල් දෙකම, එකිනෙකාට අභියෝග කරමින්, අභ්‍යවකාශයට යමින් වාර්තා පිහිටුවීමට පටන් ගත්තේය. ඇමෙරිකානුවන් මවිතයට පත් කරමින්, 1957 වසරේ ඔක්තෝබර් 4 වැනිදා පළමුවෙන්ම චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැව්වේ සෝවියට් දේශයයි. ඒ, ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාවය.

දෙවැනි ලෝක යුද සමයේ, හිට්ලර්ගේ නාසිවාදය හේතුවෙන් යුරෝපයේ සිටි යුදෙව් විද්‍යාඥයන් ආරක්ෂාව පතා ගියේ සෝවියට් දේශයට හෝ ඇමෙරිකා එක්සත් ජනපදයටය. ඇල්බට් අයින්ස්ටයින්, රොබට් ඕපන්හයිමර්, වර්නර් වොන් බ්‍රොන් ඇතුළු අති දක්ෂ විද්‍යාඥයන් පිරිස ගියේ ඇමෙරිකාවටය.  විවිධ ක්ෂේත්‍ර හරහා ඔවුන් ඇමෙරිකාව දියුණුවෙන් දියුණුවට පත් කළහ.

එසේ ඇමෙරිකාවට පැමිණි විද්‍යාඥයන් විද්‍යාඥ වර්නර් වොන් බ්‍රොන් ද සිටියේය. ජර්මනියේ ‘වී2’ රොකට්ටුව නිර්මාණය කර තිබුණේ ද වර්නර් වොන් බ්‍රොන්ය. ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රින් සහ කොලින්ස් වීරයන් සඳට යෑමට උදව් කළ ‘සැටර්න් 5’ රොකට්ටුව නිර්මාණය කළේ මොහුය.

ඇමෙරිකාව පළමුවෙන්ම චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට උත්සාහ කළේ ‘වොන්ගාඞ්’ නමැති රොකට්ටුව යොදා ගනිමිනි. එය අසාර්ථක විය. ඇමෙරිකාව ‘එක්ස්ප්ලෝරර් 1’ චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශයට යැව්වේ 1958 වසරේදීය.

1959 දී පෘථිවි ගුරුත්වයෙන් මිදී අභ්‍යවකාශයේ ඈතට ගවේෂණ යානයක් යැවීමට සමත් වූයේ සෝවියට් දේශයයි. ඒ, ‘ලූනා 3’ චන්ද්‍ර ගවේෂණ යානයයි. කෙසේ නමුත් ‘ලූන 3’ යානය ට සඳට කිට්ටු විය නොහැකි විය. සඳ මත පතිත කිරීමට හැකි වූයේ සෝවියට් දේශය යැවූ ‘ලූනා 9’ යානයයි. ඒ අනුව, පළමු වරට සඳට රොබෝ යානයක් යැව්වේ සෝවියට් දේශයයි. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූයේ සෝවියට් දේශයේ යූරි ගගාරීන්ය. ඒ, 1961 වසරේ අප්‍රේල් 12 වැනිදාය.

1950 වසර අවසන් වෙද්දී, ඇමෙරිකාව ‘ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලනය’ යන නමින් අභ්‍යවකාශ ආයතනයක් ස්ථාපිත කළේය. අප කවුරුත් හොඳින් දන්නා ‘නාසා’ ආයතනය එයයි.

සියවස අවසන් වීමට පෙර ඇමෙරිකාව මිනිසකු සඳට යවා ආපසු ආරක්ෂිතව ගෙන්නා ගන්නවා යැයි 1961 වසරේ දී, එවකට ඇමෙරිකන් ජනාධිපති වුණු ජෝන් එෆ් කෙනඩි පෙරොන්දුවන් දුන්නේය.

සඳ තරණය ගැන ඇමෙරිකන් ජනතාව හමුවේ පුරාජේරුවෙන් කතා කළත්, සැබැවින්ම සඳ ජය ගැනීම ගැන හෝ අභ්‍යවකාශය ජයට ගැනීම ගැන හෝ කෙනඩිට තැකීමක් තිබුණේ නැති බව පසුව හෙළි විය. සඳ තරණය කිරීම ජනපති කෙනඩිගේ සෝවියට් රුසියාව අභිබවා ඇමෙරිකාවේ ප්‍රබලත්වය ලොවට පෙන්වන දේශපාලන සිතුවිල්ලක් පමණි.

‘මට අභ්‍යවකාශය ගැන උනන්දුවක් නෑ, ඒත් රුසියාවට කලින් අප සඳට යන්න ඕනෑ’ ධවල මන්දිරයට පැමිණි එවකට නාසා ප්‍රධානියකු වූ ජේම්ස් වෙබ් හමුවෙමින්, ජනපති කෙනඩි ප්‍රකාශ කළේ 1962 වසරේදීය. ‘ඇපලෝ 11’ සඳ ගමන ඇරැඹෙද්දී, ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ රිචඞ් නික්සන් ය.

සඳ තරණය ජීවිත අවදානමක්. කොයිවේලාවේ අනතුරකට ලක් වෙන්න වේවිදැයි නොදන්නා බව නීල් ආම්ස්ට්‍රෝං, එඞ්විඞ් ‘බස්’ ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් හොඳින් දැන සිටියහ. ජීවිත රක්ෂණයක් ලබා ගැනීමට තිදෙනා උත්සහ කළත් කිසිදු රක්ෂණ සමාගමක් ඔවුන් තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත.

සඳ ගමන සර්ථක කරමින්, යහතින් ආපසු එන්න ලැබේවා යැයි සිතුවිල්ලෙන්, නීල් ආම්ස්ට්‍රෝං, එඞ්විඞ් ‘බස්’ ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් ඔවුන්ගේ අත්සන් සහිත ලියුම් කවර දහස් ගණනක් සකස් කළහ. ඒ සමරු අත්සන් විදියට. සඳ ගමන අසාර්ථක වී මියගියොත්, අත්සන් සහිත එම ලියුම් කවර විකිණීමෙන් ලැබෙන මුදලින් පවුලේ අයට වන්දි මුදලක් ලබා ගැනීම අරමුණ විය.

සඳ ගමනට ‘සැටර්න් 5’ රොකට්ටුව සූදානම් කෙරෙද්දී, නාසා ආයතනය ගගනගාමීන් වෙනුවෙන් ඇඳුම් නිර්මාණයට යොමු විය. ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රීන් සහ කොලින්ස් වෙනුවෙන් විශේෂිත ගගන ඇඳුම් නිර්මාණය කෙරුණි. ගගන ඇඳුම් නිර්මාණය කළේ ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ කාන්තා යට ඇඳුම් නිර්මාණ සමාගමක් වන ‘ප්ලේටෙක්ස්’ ය. වායුගෝලයක් නැති, හිරු කිරණ නිසා අධික උණුසුමක් ඇති සඳ මතුපිටට පය තබන ගගනගාමීන් ආරක්ෂා කිරීමට ගගන ඇඳුම් කට්ටලවල අරමුණ විය. ‘ඇපලෝ 11’ මෙහෙයුමෙන් පසු අද දක්වා නාසා ගගනගාමීන් වෙනුවෙන්, ගගන ඇඳුම් නිර්මාණය කරන්නේ ‘ප්ලේටෙක්ස්’ සමාගම යැයි පැවැසෙයි.

‘ඇපලෝ 11’ මෙහෙයුම ආරම්භ වී, ‘සැටර්න් 5’ රොකට්ටුව ගුවන්ගත කෙරෙන අයුරු නරඹන්න බොහෝ දෙනෙක් උනන්දු වූහ. සැටර්න් 5’ දැවැන්ත ප්‍රබල රොකට්ටුවක් වූ අතර, එහි වැඩි හරියක් තිබුණේ ඉන්ධනය. ‘සැටර්න් 5’ රොකට්ටුව 1968 දී අත්හදා බැලීම් කරද්දී, අවට සියල්ල දෙදරුම් කන්න විය. එහෙයින්, ඇපලෝ 11 මෙහෙයුමේදී රොකට්ටුව ගුවන්ගත වෙද්දී එය වේදිකාවේම පුපුරා යාවි යැයි නාසා බලධාරීහු බිය වූහ. එසේ වුවහොත් නරඹන්නන් ආරක්ෂා කර ගන්න ඔවුන් වෙනුවෙන් ප්‍රේක්ෂක අට්ටාල ඉදි කෙරුණේ සැතපුම් 4 ක් දුරිනි.

1969 ජූලි 16 වැනිදා තවත් එක් සාමාන්‍ය දවසක් නොවීය. විශේෂ පුහුණුවීම්වලින් පසු නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා පිටත්වීමට සූදානම් වූහ‍. ඔවුන් ඉහළට ගෙන ගියේ සැටර්න් 5 අධි බලැති රොකට්ටුය. සැටර්න් 5 රොකට්ටුවේ උස අඩි 363 කි. සැටර්න් 5 යනු අද දක්වා ඉදි කළ බරින් වැඩිම සහ උසින් වැඩිම රොකට්ටුවය. ඉන්ධන අවසන් වෙද්දී, රොකට්ටුව අදියර කීපයකින්, වෙන් වී, කොටසින් කොටස පහළට වැටෙන්නයි සැලැසුම් කර තිබුණු අතර එය එසේ සිදුවිය.

රොකට්ටුව මුදුනේ  ‘ඇපලෝ යානය’ සවි කර තිබුණි. ‘ඇපලෝ යානය’ කොටස් 3 කි. ‘චන්ද්‍ර යානය’ (ලූනර් මොඩියුල්), ‘සේවා යානය’ (සර්විස් මොඩියුල්),  ‘මොහයුම් යානය’ (කොමාන්ඞ් මොඩියුල්) යනුවෙන් ඒවා නම් කෙරුණි.

ගමන් මඟ නිවැරදිව තීරණය කිරීම, පෘථිවියේත් සඳේත් කක්ෂයෙන් නික්මීමට අවශ්‍ය ප්‍රචාලන (තෙරපුම්) පද්ධති ඇතුළත් කොටස සේවා යානය විය. ගගනගාමී වීරයෝ තුන්දෙනා වැඩි කාලයක් ගත කළේ, මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙහෙයුම් යානයේය.

සැටර්න් 5 ගුවන්ගත කෙරුණි.

අදියර 3 ක දී රොකට්ටුවේ කොටසේ වෙන් විය. දෙවැනි අදියර අවසන් වෙද්දී, රොකට්ටුව පෘථිවියේ ගුරුත්ත බලයෙන් මිදී පෘථිවි කක්ෂයට ආසන්න වී තිබුණි.

තුන්වැනි අදියර වෙද්දී ඉතිරි වූයේ ඇපලෝ යානය කොටස පමණි. එය පළමුවෙන් පෘථිවි කක්ෂයට ඇතුළු වී, පෘථිවිය නඩා කැරැකෙන්න විය. අවසන් ගණනය කිරීම් සහ පරීක්ෂා කිරීම් සියල්ල සිදුවූයේ මෙම අවස්ථාවේදීය.

සියල්ල හොඳින්. යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා ගමන ආරම්භ කළේ ඉන්පසුවය. සඳට ළං වෙද්දී, ඇපලෝ යානය තුළ සුරක්ෂිතව අසුරා තබන ලද චන්ද්‍ර යානය, මෙහෙයුම් යානය සහ සේවා යානය වෙන් කෙරුණි

මෙහෙයුම් යානය පළමුවෙන් අභ්‍යවකාශයට පිවිසුණි. එය අංශක 180 ක් කැරකී, පිටතට ගෙන තිබුණු චන්ද්‍ර යානය හා සම්බන්ධ විය. තෙවැනි අදියරේ දී යොදා ගත් සැටර්න් 5 රොකට්ටු කොටස ද ඒ අනුව අත් හැර දැමුණි. අවසානයේ බලා ගියේ ‘චන්ද්‍ර යානය’ සහ ‘මෙහෙයුම් යානය’ එකිනෙක සම්බන්ධ වී සැදුණු කොටසයි.

මෙම ඇපලෝ යානය දින 3 ක් තිස්සේ සඳ බලා ගමනේ නියැලුණි. සඳේ ගුරුත්ව බලයට හසුවී යානය සඳේ කක්ෂයට පිවිසුණි. ගගනගාමීන් තිදෙනාගේ වෙන්වීම ඒ අනුව සිදුවිය. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ‘චන්ද්‍ර යානයට’ ගොඩ වූහ. මයිකල් කොලින්ස් ‘මෙහෙයුම් යානයේ’ රැඳී සිටියා. ඉන්පසු යානා දෙක වෙන් කෙරුණු අතර ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ගොඩවුණු චන්ද්‍ර යානය ‘ඊගල්’ යනුවෙන් නම් කෙරැණි. කොලින්ස් රැඳී සිටි මෙහෙයුම් යානය, ‘කොලොම්බියා’ ලෙස නම් කර තිබුණි.

කොලොම්බියා’ සඳේ කක්ෂයට වී සඳ වටා කැරකෙද්දී, ඊගල් යානය සඳ මතුපිටට ගොඩ බෑවේය. ඒ යානයේ ගමන් මඟ සෙමින් වෙනස් කරමින් සහ තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කරමිනි.

මතු සම්බන්ධයි ...

නාසා තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS