සඳට යයි: ආපසු එයි



සඳ තරණය මිනිසාගේ අසමසම වික්‍රමයයි. එය සිදුවූයේ මීට වසර 51 කට පෙර, 1969 ජූලි 20 වැනිදාය. මේ සටහන පළවන්නේ ඒ නිමිත්තෙනි. මෙයි පළමු කොටස වන්නේ විශේෂාංග තීරයේ පළ වන සඳ  ගමනට අවුරුදු 50 යි ලිපියයි.

කුඩා රොකට් ඇන්ජිමේ බලය අඩු කරමින්, නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් රැගත් ‘ඊගල්’ සඳ මත පතිත කෙරුණු අතර සියල්ල සජීවීව රූපවාහිනියෙන් විකාශය වන්නට පටන් ගත්තේය.

‘මිනිසාට එක් පුංචි පියවරක්, මිනිස් වර්ගයාට යෝධ පිම්මක්’ කියමින් පළමුවෙන් සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං. මෙතැනදී ආමස්ට්‍රෝංට වැරදුණා. ඔහු කිව යුතුව තිබුණේ ‘එක් මිනිසකුට මේක පුංචි පියවරක්.’ යන්නය.

පෘථිවියෙන් පිට තැනකට, වෙනත් ලොවකට, පය තැබූ පළමු පෘථිවි වැසියා බවට පත් වූයේ ආම්ස්ට්‍රෝං ය. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳ මතුපිටදී ක්‍රියාකාරකම් කීපයක නියැලුණාහ. ඔවුහු දෙදෙනා කිලෝ ග්‍රෑම් 22 ක් බරැති චන්ද්‍ර පාෂාණ එක් රැස් කළහ. දූවිල් සහ පස් රැස් කළහ. හරි අපූරු ඡයාරූප ගැනීමට ද අමතක නොකළාහ. සඳ මතුපිට දී ඕල්ඩ්‍රීන් සත්ප්‍රසාදයට සහභාගී විය. ඒ අනුව, සඳට වත් කළ පළමු දියරය වන්නේ වතුර ය. එපමණක් නොවෙයි, සඳේ දී කළ පළමු ආහාර ගැනීම ද එයයි.

‘ඇපලෝ 11’ මෙහෙයුමේ දී ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ට ඇමෙරිකන් ධජය සඳ මතුපිට පෘෂ්ඨයේ සවි කිරීම අසීරු විය. ඒ, ඔවුන් ධජයේ රිට සවි කිරීමට තීරණය කළ ස්ථානයේ පස ශක්තිමත් වූ බැවිනි.  හොඳින් නමා, ගැට ගසා ගෙනා ධජය නිසි පරිදි දිග හැරීමට නොහැකි විය. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩී්‍රන් සතුව ඇති ඇමෙරිකන් ධජය සුළඟට ලෙලදෙනවා මෙන් රැළි දකින්න ලැබෙන්නේ ඒ නිසා යැයි නාසා ආයතතය පැහැදිලි කර තිබේ.

පැය 21 1/2 ක් සඳ මතුපිට ගත කිරීමෙන් පසු ගගනගාමීහු දෙදෙනා ආපසු පෘථියට බලා ඒමට සූදානම් වූහ. ඊගල් චන්ද්‍ර යානය සඳෙන් නික්මී, සඳුගේ කක්ෂයට පැමිණ, කක්ෂයේ කැරකෙන්න වූ කොලොම්බියා යානය සමඟ සම්බන්ධ විය. ආපසු ගමනේ දී තවත් අකරතැබ්බක් සිදුවුණු බව පැවැසෙයි. ආම්ස්ට්‍රෝංගේ ගගන ඇඳුම් කට්ටලයේ පැටැලීමෙන් චන්ද්‍ර යානයේ අවශ්‍ය ස්විචයක් ගැලවී ගියේය. ස්විචය යළි සකස් කිරීමට ක්‍රමයක් නොතිබුණි. උදව්වට පැමිණියේ, බෝල් පොයින්ට් පෑනකි. පෑන ගසා තාවකාලිකව ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට ඕල්ඩි්‍රන්ට කල්පනා විය.

ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රීන් ආපසු ආවේ නිකම්ම නොව, සඳ මතුපිට මතක සටහන් තබමිනි. ඔවුන් මල සහ මුත්‍ර බැහැර කළේ කුඩා බෑගවලටය. බෑග සඳ මතුපිට දමා ආ බව පැවැසෙයි. සඳ මතු පිට ඇති මිනිසා විසින් නිපදවනු ලැබූ දේවල් අතරට මල මුත්‍ර අයත් වෙයි. ඇපලෝ 11 ද ඇතුළත්ව ඇපලෝ මෙහෙයුම් 6 කින් ගගනගාමීහු සඳ මතුපිටට ගියහ. ඔවුන් ඉතිරි කර ආ මල මුත්‍ර බෑග ගණන 96 කි.

ඇමෙරිකාවේ නාසා ‘ඇපලෝ 11’ සඳ ගමනේ දී ලෝකයේ අනෙක් කෙළවරේ පිහිටි ඕස්ට්‍රේලියාවේ ගුවන් විදුලි දුරේක්ෂයක් කැපී පෙනෙන සේවයක් කළ බව දන්නේ කීප දෙනකු පමණි.

මේ දුරේක්ෂය නිව් සවුත්වේල්සයේ සී.එස්.අයි.රෝ. පාක්ස් ගුවන් විදුලි දුරේක්ෂයයි. පෘථිවිය සහ සඳ කැරකෙන විදිය අනුව, ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් දෙදෙනා සඳට ගොඩ බසින අවස්ථාවේ ඇමෙරිකාව පිහිටියේ සඳට මුහුණ ලා නොව, විරුද්ධව ය. සඳට මුහුණ ලා පිහිටියේ ඕස්ට්‍රේලියාවය. ඒ අනුව, ‘ඇපලෝ 11’ මෙහෙයුමේදී සඳේ සිට නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් පෘථිවියට එවූ සජීවී දසුන් සහිත සංඥා සී.එස්.අයි.රෝ. පාක්ස් ගුවන් විදුලි දුරේක්ෂ ආධාරයෙන් ලබා ගැනීමට නාසා ආයතනය පියවර ගත්තේය.

කොලොම්බියා යානය සමඟ සම්බන්ධ වීමෙන් පසු ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් කොලොම්බියා යානයට රිංගා ගත්හ.

ඊගල් යානයෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින්, එය ගලවා අභ්‍යවකාශයට මුදා හැරීම සිදුවිය. සඳේ කක්ෂයෙන් මිදී දින 2 1/2 ක් තිස්සේ ආපසු පෘථිවිය බලා ගමන් ඇරැඹිණි.

පෘථිවි කක්ෂයට ආ පසු කොලොම්බියා ‘මෙහෙයුම් යානය’ දෙකඩ විය. පෘථිවි වායුගෝලයට ඇතුළු වී අධික තාපයට ඔරොත්තු දෙමින් පැරෂූට් යොසා ගනිමින් පහළ මුහුදට පතිත කළේ ගැලවී වෙන් වුණු ගගනගමීන් රැගත් කොටසය. ගගනගාමීන් සහ ඔවුන් සඳෙන් ගෙනා සාම්පල එකතු කර ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටියේය.

ගගනගාමීන් තිදෙනා නිරෝධයනය වෙමින් ...

ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රීන් සහ කොලින්ස් යළි පෘථිවියට පැමිණියේ 1969 ජූලි 24 වැනිදා ය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නිසා අපට හුරු වචනයක් තමයි නිරෝධායනය. ආපසු පෘථිවියට ආ සැණින් නාසා බලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම් එක් වී, ගගනගාමීන් තිදෙනා නිරෝධායන කුටියකට යැවීම සිදුවිය. ඒ සඳේ සිට විෂබීජ රැගෙන එන්න ඇතැයි අනුමාන කරමිණි. සඳ ජීවයෙන් තොර තැනක් බව විද්‍යාඥයන් දැන සිටියත්, නිරෝධායන ක්‍රියාවලිය සිදු වූයේ වැඩි ආරක්ෂාවටය.

නාසා තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS