ෂර්ලොක් හෝම්ස්ට නොදෙවැනි සුපිරි පොලිස් බල්ලෙක්



ක්ලෝනකරණය හෙවත් කිසියම් ජීවියකුගේ ‘පිටපතක්’ නිර්මාණය ලොවට අරුමයක් නොවෙයි. විවිධාකාරයේ සතුන් ක්ලෝනීයකරණය මගින් චීන විද්‍යාඥයෝ ද ඉදිරියෙන් සිටිති. ක්ලෝනකරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අපරාධ අල්ලන්නත්, අපරාධ මැඩලන්නත් සමත් පොලිස් සුනඛයන් කණ්ඩායමක් ක්ලෝනකරණයෙන් බිහි කරන්න චීන විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඔවුන් පවසන්නේ, ඔවුන්නිර්මාණය කරන මෙම සුනඛයන්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ සුප්‍රකට රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් ට නොදැවැනි අයුරින් දක්ෂ රහස් පරීක්ෂකයන් වනු ඇති බවය.

ක්ලෝනීයකරණයෙන් පොලිස් සුනභයන් බිහි කිරීමේදී කාලය ඉතිරිවෙයි. එපමණක් නොව, අමුතුවෙන් පුහුණුවක් ලබා දීමට අවශ්‍ය වන්නේ ද නැත. ඊට හේතුවෙ ක්ලෝන පිටපත් නිර්මාණය සිදුවන්නේ චීන පොලිස් දෙපාර්මේන්තුවේ සිටින දක්ෂතම පොලිස් සුනඛයා යොදා ගනිමිනි. ක්ලෝන පිටපත් සඳහා චීන විද්‍යාඥයන් තෝරා ගෙන ඇත්තේ චීන පොලිසියට අනුයුක්ත වීර සම්මාන රැසකින් ද පිදුම් ලැබූ අති දක්ෂ සුනඛයෙකි. මේ සුනඛයාගේ නම හුවාවුනාන්ගාමා ය. ඉවකරමින් මත්කුඩු අල්ලන්න දක්ෂ හුවාවුනාන්ගාමා හත් හැවිරිදි වියෙහි පසුවෙයි. චීන පොලිසිය කළ මහා පරිමාණයේ වැටලීම් රැසකට හුවාවුනාන්ගාමා දායක වී ඇතැයි ද පැවැසෙයි.

හුවාවුනාන්ගාමාගෙන් ලබා ගත් ඩී.එන්.ඒ ඇසුරින් ක්ලෝනීයකරණය මගින් පළමුවෙන්ම නිර්මාණය කර ඇත්තේ බැල්ලකි. මේ බලු පැටවා කුන්සුන් යනුවෙන් නම් කර ඇති අතර තවමත් පර්යේෂණාගාරයක ජීවත් වෙයි. ඒ, පරිසරයට නිසි ලෙස ඔරොත්තු සීමට හැකියාව ලැබෙන තුරුය. ‘කුන්සුන් මිනිස්සුන්ට ආදරෙයි. කීකරුයි. අණ පිළිපඳිනවා. එපමණක් නොවෙයි. ඇය හැමවිටම හොඳ අවධානයෙන් ඉන්නේ.’ යැයි ක්ලොනකරණ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන වොන් ජූෂෙංග් පවසා ඇත. මේ ක්ලෝනකරණ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ වර්තාවක් පසුගිය දා චීන ඬේලි පුවත් පතේ විද්‍යා අතිරේකයේ ද පළ වී තිබේ. කුන්සුන් උපත ලැබුවේ  පසුගිය දෙසැම්බරයේය.

අද වනවිට කුන්සුන්ගේ වයස මාස හතරකි. ක්ලොනීකරණ ව්‍යාපෘතිය සිදුවන්නේ බීජීං අගනුවර පිහිටි සිනොජීන් බයෝටෙක්නොලොජි සමාගමේ මැදිහත් වීමෙනි. කුන්සුන් අඳුරට බියක් නොදක්වයි. එපමණක් නොව ඇය සාමාන්‍ය බල්ලන්ට වඩා ක්‍රියාශීලීයි යැයි එම සමාගම පවසා ඇත. මාස 10 ක් යද්දී කුන්සුන්, හුවාවුනාන්ගාමාගේ තත්ත්වයට පත් වනු ඇති බවත්, මෙම ක්ලෝනීකරණ ව්‍යාපෘතිය හිතුවාටත් වඩා සාර්ථක බවත් වොන් ජූෂෙංග් වැඩි දුරටත් පවසා තිබේ. පොලිස් සුනඛයකු පුහුණු කිරීමට ගතවන මුදල පවුම් 60,000 ක් පමණට. ගතවන කාලය අවුරුදු පහකි. ඒ සියල්ල වෙනස් වීමේ කාලය උදාවී ඇති බව ද වොන් ජූෂෙංග් පැහැදිලි කරයි.

ක්ලෝනකරණය ඇරැඹුණේ අද ඊයේ නොව 1950 දශකයේ සිටය. 1952 දී, රොබට් බි්‍රග්ස් සහ තෝමස් ජේ. කිංග්, ‘ලෙපර්ඞ් ෆ්‍රොග්ස්’ නමින් හැඳින්වෙන ගෙම්බන් නිර්මාණය කළේ උන්ගේ ඉස්ගෙඩියන් ක්ලෝනීකරණය කරමිනි. 1963 දී, චීන විද්‍යාඥ ටොංග් ඩිසෝ, ලොව පළමු ක්ලෝන මාළුවා නිර්මාණය කළේය. මේ මාළුවා කාෆ් මාළුවෙකි. 1986 දී, සෝවියට් විද්‍යාඥයෝ සාර්ථකව මීයකු ක්ලෝනීකරණයට ලක් කළහ. මේ මීයා ‘මාෂා’ යනුවෙන් නම් කෙරුණි. ක්ලෝනීකරණයට ලක් කළ පළමු ක්ෂීරපායී සත්වයා ‘මාෂා’ වුවත්, වඩාත් ලොව ප්‍රසිද්ධියට පත් වූයේත් කාගේත් කතාබහට ලක්වූයේත් ඇමෙරිකන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබූ ‘ඩොලී’ නමැති බැටළුවාය.

ක්ලෝනීකරණය ක්‍රම කිහිපයකින් සිදු කෙරේ. එය සැබැවින්ම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. මිනිසුන් ක්ලෝනීකරණයට අවශ්‍ය තාක්ෂණය දැන් විද්‍යාඥයන් සතුව පවතී. එය සිදුවුවහොත් සිදුවන්නේ සාමාන්‍ය දරු උපතක් සිදුවන ආකාරයට නොවෙයි. එපමණක් නොව, මිනිස් ක්ලෝනීකරණයක් යනු රූපයෙන් හරියටම සමාන නිවුන් උපතක් ද නොවෙයි. කෙසේ නමුත්, මිනිස් ක්ලෝනීකරණයට තවමත් නීතියෙන් ඉඩක් නැත. ඒ එමගින් කුමක් සිදුවිය හැකිදැයි අපට අනුමාන කළ නොහැකි නිසාය. කෙසේ නමුත්, අනාගතයේ දිනෙක, මිනිස් වර්ගයාගේ අවසානය ළං වෙද්දී, අමරණීය වීමට, මිනිස් ක්ලෝනීකරණය සිදුවනු ඇත.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS