විජයග්‍රහණයේ අභිමානවත් සැමරුම



ජාතික රණවිරු දින සැමරුම බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19) පැවැත්විණි. ඒ, ත්‍රස්තවාදය පරාජය කර වසර 11 ක් සැපිරීම නිමිත්තෙනි. ජාතික රණවිරු දින සැමරුම් උළෙල පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගැන්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සැමරුමට එක් විය. රණ විරුවන්ට චෝදනා නගමින් රණ විරුවන්ගේ කීර්ති නාමය කෙළසීමට කිසියම් ජාත්‍යන්තර සංවිධානයක්, ආයතනයක් හෝ පාර්ශ්වයක් උත්සාහ ගන්නේ නම් තමන් ඊට විරෝධය දක්වන බවත්, රණ විරුවන්ගේ ගෞරවය වෙනුවෙන් සහ රටේ ගෞරවය වෙනුවෙන් එවැනි ආයතන හෝ සංවිධාන සමඟ පවතින සාමාජිකත්වයෙන් ඉවත් වීමට පවා තමන් පසුබට නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදී සංවිධානය යුදමය වශයෙන් පරාජය කර අප ලැබූ විජයග්‍රහණයට වසර 11 ක් සපිරේ. 30 වසරක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වූයේ නන්දිකඩාල් කලපුවේ දී එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟය. විජයග්‍රහණය වෙනුවෙන් කළ ඒ අවසන් මහ සටන, ලොව දැවැන්තම මානුෂීය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වී අවසන්ය.

එදා එම මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන්නේ ජනාධිපති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ය. එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. අදවනවිට එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය පරාජය කර වසර 11 ක් සපිරෙද්දී, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ කටයුතු කරන අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරයි. යුද හමුදාවේ සේනාධිනායකයන් ලෙස මානුෂීය මෙහෙයුමේ පෙරමුණ ගත් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ය. ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් හමුදාපතිවරයා ය. ත්‍රස්තවාදය පරාජය කර වසර 11 ක් සපිරෙද්දී, අද අප අදිසි සතුරකුට මුහුණ දෙමින් සිටී. අප පමණක් නොව, මේ අදිසි සතුරා මුළුමහත් ලෝකවාසීන්ට ම තර්ජනයකි.  ඒ සතුරා ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි. වයිරසය පාලනය වැලැක්වීමට සෞඛ්‍ය අංශ උපදෙස් මත, සෞඛ්‍ය අංශ සමඟ එක් වෙමින් අප ත්‍රිවිධ හමුදාව, පොලිසිය කරන මෙහෙවර සහ කැප කිරීම අතිමහත්ය.

අප රටේ වාර්ගීක ප්‍රචණ්ඩ ක්‍රියා ඇරැඹුණේ, 1956 වසරේ ගල්ඔය නිම්නයෙනි. සිදුවුණු ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස දෙමළ වැසියන්ගේ ජීවිත 150 ක් පමණ අහිමි විය. ඉන්පසු වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් හටගත්තේ නිදහසින් පසු වසර දෙකකිනි. වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා යළි 1960 දශකයේ දී ඉස්මතු වූ අතර, 1970 වන විට ඒවායේ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ වනවිට තමන් වෙනම ජාතිකක් යන හැඟීමෙන් දෙමළ ජනතාව පෙළෙන්න වූ අතර, යුද මානසිකත්වයෙන් යුත් දෙමළ තරුණයෝ එකමුතු වූහ. 1975 දී, යාපනය නගරාධිපති වූ ඇල්ෆ්‍රඞ් දොරේ අප්පා ඝාතනය කෙරුණි. මෙය එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ පළමු දේශපාලන ඝාතනය ලෙස සැලකෙයි. එතැන් පටන් එල්ටීටීඊ ත්‍රස්තයෝ උතුරේ පමණක් නොව දකුණේ ද ජන ජීවිතය අවුල් කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන්න වූහ.

1983 වසරේ කළු ජූලියත් සමඟ එම ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න විය. එකල බලයේ සිටි එජාප ආණ්ඩුවට එල්ටීටීඊ ත්‍රස්තයන් අභියෝගයක් විය. වසර ගණනක් එකදිගට යුද කරමින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට එකල හමුදා නායකයෝ ශක්තිමත්ව කටයුතු කළහ. අසල්වැසි ඉන්දියාවේ සහාය පවා එල්ටීටීඊය ට හිමිවෙද්දී, එකල පාලකයන්ට එල්ටීටීඊය සමඟ හුදෙකලා සටනක් ගෙන යෑමට සිදුවිය. සාම සාකච්ඡා පවත්වමින් ඔඩුදුවන්න වූ අර්බුදයට විසඳුම් සෙවීමට උත්සහ ගත් නමුත් එල්ටීටීඊය ඊට එකඟ වූයේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ එක් දෙයකි. ඒ උතුරු සහ නැගෙනහිර වෙනම පාලනයකි. පාලකයෝ ඊට එක හෙලා විරෝධය පළ කළහ. එහි ප්‍රතිඵලය වූයේ යුද්ධයයි.

1987 වසරේ වඩමාරච්චි සටනේදී ප්‍රභාකරන්ගේ අවසානය තීන්දු කිරීමට නියමිතව තිබුණත්, ඉන්දියාවේ මැදිහත් වීමෙන් සියල්ල වෙනස් විය. අවසන් විසඳුමකට යන්නැයි ඉන්දීය රජය බල කළේය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පළාත් සභා ක්‍රමය පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරන්න විය. 1988 දී ඉන්දු ලංකා ගිවිසුම හරහා උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුමක් සෙවීමට ඒ අනුව කටයුතු යෙදුණි. කෙසේ නමුත් පැහැදිලි විසඳුමක් ලැබුණේ නැත. 1994 වසරෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිතුමිය ද උතුරු නැගෙනහිර ගැටලුව විසඳීමට උත්සාහ ගත්තාය. බලය බෙඳීමේ යෝජනාවලිය සහ සාම සාකච්ඡා හරහා විසඳුම් සෙවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ අතර, යුද ගැටුම් දිනෙන් දින ඇවිලෙන්න පටන් ගත්තේය.

1994-96 කාලයේ පැවැති සටන්වලදී, යාපනය අලිමංකඩ සහ කිලිනොච්චි යන නගර අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදා සමත් විය. ‘ඒ 9’ මාර්ගය මුදා ගැනීමේ සටන් සඳහා අනෙක් ප්‍රදේශවල සිටි හමුදා යොදා ගැනීමත් සමඟ හමුදා ග්‍රහණයේ පැවැති නගර සහ පළාත් යළි ත්‍රස්තයන් අතට පත් විය. නැගෙනහිර පළාතේ මුදා ගත් ප්‍රදේශ රැසක් ද එල්ටීටීය යළි අත්පත් කර ගත්තේය. 2001 වසරේ දී බලයට පැමිණියේ එජාප ආණ්ඩුවය. සාම ගිවිසුමක් හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් සෙවීම එජාප ආණ්ඩුවේ අරමුණ විය. කෙසේ නමුත්, සාම කතා බිඳ වැටුණු අතර, සාම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධතා හටගත්තේය. එජාප ආණ්ඩුවට එරෙහිව එල්ල වුණු විරෝධතාවල අවසන් ප්‍රථිඵලය වූයේ 2003 දී එජාප ආණ්ඩුව පරාජය වී, එජනිස ආණ්ඩුවක් බලයට පත්වීමය. මේ වනවිට කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් වී සිටියේය.

යුද්ධය උණුසුම් වූයේ 2006 වසරෙන් පසුවය. සියලු සාම ගිවිසුම්, සාම කතා පසෙකලා එල්ටීටීඊයට එරෙහිව දැවැන්ත මානුෂීය මෙහෙයුමක් ඇරැඹුණි. ඒ, බලයට පත්වුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊට පෙර දුන් ප්‍රතිඥාවක් ඉටු කරමිනි. එල්ටීටීඊයට එරෙහිව මෙම මානුෂීය මෙහෙයුම ඇරැඹුණේ මාවිල්ආරු සටනින්ය. මාවිල්ආරු සොරොව්ව පිහිටියේ නැගෙනහිර පළාතේය. ඒ, සෝමාවතී චෛත්‍යයේ සහ අභය භූමියේ සිට කිලෝ මීටර් 20 ක් පමණ උතුරිනි. මෙම ප්‍රදේශය 1985 වසරේ පමණ සිට එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පැවැති අතර, මෙම ප්‍රදේශය එල්ටීටීඊයට ඉතා වැදගත් විය. 2006 වසරේ ජූනි මාසයේ එල්ටීටීඊ ත්‍රස්තයෝ මාවිල්ආරු සොරොව්ව වසා දැමූහ. ඒ අනුව, දෙහිවත්ත, තෝප්පූර්, පාලතෝප්පූර්, කල්ලාරු, කිලිවෙඞ්ඩි සහ සාම්පූර් යන ප්‍රදේශවල ජනතාව ජලය නොමැතිව පීඩාවට පත් වූහ. මාවිල්ආරු සොරොව්ව අත්පත් කර ගැනීම සඳහා මානුෂීය සටන ඇරැඹුණි. වසර ගණනක් එල්ටීටීඊය සතුව පැවැති මෙම ප්‍රදේශ 2006 අගෝස්තු මාසය වෙද්දී, යළි අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදා සමත් විය.

සාම්පූර් ප්‍රදේශය ආරක්ෂක හමුදා විසින් අත්පත් කර ගනු ලැබුවේ 2006 සැප්තැම්බර් 4 වැනිදාය. එම මෙහෙයුම් සඳහා යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක් වී කටයුතු කළේය. කට්ටපරිච්චාන් කඳවුර අත්පත් ගැනීමෙන් පසු සාම්පූර් නගරය අත්පත් ගැනීම සිදුවිය. ඉන්පසු ආරක්ෂක හමුදා විසින් තොප්පිගල ප්‍රදේශය ත්‍රස්තයන්ගේ ග්‍රහණයෙන් මුදා ගනු ලැබුණි. ඒ අනුව මුළු නැගෙනහිර පළාතම ආරක්ෂක හමුදා ග්‍රහණයට නතු විය. ඉන්පසු සිවිල් පරිපාලන කටයුතු ඇරැඹුණු අතර, පළාත් පාලන සහ පළාත්සභා ඡන්දය පැවැත්විණි. මන්නාරම, වවුනියා, වැලිඔය, ප්‍රදේශවල සිට උතුරට හමුදා මෙහෙයුම් ආරම්භ වූයේ ඉන්පසුවය. කොටි බුද්ධි අංශ නායක චාල්ස්, මන්නාරම කොටි පාලන ප්‍රදේශයකදී මියගියේ විශේෂ කාර්ය බලකා සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකිනි. ඒ, 2008 ජනවාරි 5 වැනිදාය. එය ආරක්ෂක අංශ ලැබූ පළමු ජයග්‍රහණයයි. යාපනය 55 සහ 53 වැනි සේනාංක ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඔබ්බට මෙහෙයුම් ඇරැඹීය. ගුවන් හමුදාවේ සහාය ද මානුෂීය මෛහෙයුමට නොඅඩුව හිමිවිය. එල්ටීටීඊ ගුවන් පථය පිහිටි ස්ථානයට මෙන්ම ප්‍රභාකරන් සැඟවී සිටි ඉරණමඩු ප්‍රදේශයේ හඳුනාගත් ඉලක්ක කීපයකට ද, කිලිනොච්චි සෙල්වනගර් කොටි රථවාහන අංශයට ද ගුවන් ප්‍රහාර එල්ල කෙරුණි.

2008 ජනවාරියේ 58 වැනි සේනාංකයේ නායකත්වයෙන් ඇරැඹුණු  මන්නාරම් ප්‍රදේශ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් තවත් පුළුල් වෙද්දී,  පෙබරවාරි 8 වැනිදා වනවිට හමුදාවෝ අඩම්පන් වැව දකුණු ප්‍රදේශය අත්පත් කර ගත්හ. මාන්තෙයි, සින්න උඩුරිප්පු යන ප්‍රදේශ අත්පත් කර ගත්හ. මේවනවිට 58 වැනි සේනාංකයට අමතරව, 56,57 සහ 2,3,4 කාර්ය බලකා මගින් ද සිවුදෙසින් මෙහෙයුම් ආරම්භ කර තිබුණි. ඒ අනුව, උවියන්කුලම, උතුරු ප්‍රදේශය අඩම්පන් ලීමා තුන කඳවුර කොටි ත්‍රස්තවාදීන්ට අහිමිවිය. මඩු පුදබිම ආරක්ෂක හමුදා බේරා ගැණුනි. වසර නවයක් තිස්සේ ත්‍රස්ත ග්‍රහණයේ පැවැති මෙම පූජා භූමිය බේරා ගත්තේ 57 වැනි සේනාංකයයි. ඒ, 2008 අප්‍රේල් 24 වැනිදාය. මෙය අප ලැබූ තවත් ජයග්‍රහණයකි. මේ වනවිට 58 වැනි සේනාංකය, අඩම්පන් ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගෙන තිබුණි. 2008 මැයි 29 වැනිදා මුණගම්බේස් කඳවුර විනාශ කරමින් 59 වැනි සේනාංකය ඉදිරියට ඇදෙන්න වූයේ වැලිඔබ ප්‍රදේශයෙනි.

ආරක්ෂක හමුදා මෙසේ ජයග්‍රහණ ලබද්දී, පරාජයෙන් වියරු වැටුණු එල්ටීටීඊ ත්‍රස්තවාදීහු බෝම්බ පුපුරුවද්දී, ආරක්ෂක හමුදා නොසැලී ඉදිරියට ඇදෙන්න වූයේ පෙරියමඩු වැව ප්‍රදේශය සහ පෙරියමඩු ගම්මානය ග්‍රහණයට ගනිමිනි. ඒ අනුව, එල්ටීටීඊ ප්‍රධාන මුරකපොල්ලක් අත්පත් කර ගැනීමට හමුදාවෝ සමත් වූහ. මේ අතරේ වැලිඔය ප්‍රදේශයේ දරුණු සටන් ඇවිලෙමින් තිබුණි. ‘ඒ 1’ සහ ‘ඒ 2’ කඳවුර, මිචෙල් කඳවුර වැලිඔය ප්‍රදේශයේ ප්‍රධාන කොටි කඳවුරු වූ අතර, ඒවා විනාශ කර දැමීමටත් අත්පත් කර ගැනීමටත් 59 වැනි සේනාංකය සමත් විය. 58 වැනි සේනාංකය, කොටි ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පැවැති මන්නාරම ප්‍රදේශ අත්පත් කර ගත්තේ එල්ටීටීඊය දරුණු ලෙස පරාජය කරමිනි. ඒ අනුව, කිලෝ මීටර් 120 ක ප්‍රදේශයක බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදා සමත් විය.

වවුනියා ප්‍රදේශයෙන් ඉදිරියට ඇදුණු 57 වැනි සේනාංකය ප්‍රධාන එල්ටීටීඊ කඳවුරක් වූ වෙඞ්ඩිකුලම අල්ලා ගත්තේ ජූනි 26 වැනිදාය. මුලතිව් හි කොටි ත්‍රස්තයන්ගේ ප්‍රධාන පුහුණු කඳවුර වූ ‘මයිකල් බේස්’ අත්පත් කර ගත්තේ 59 වැනි සේනාංකයයි. තුනුකායි, උයිලන්කුලම්, මල්ලාවි දකුණු කොටස, සිවම් කෝවිල්, නැදුන්කණ්ඩාල් ප්‍රදේශ අල්ලා ගත්තේ 57 වැනි සේනාංකයයි. විශේෂ කාර්ය බලකායේ භටයෝ ඔවුන්ට සහාය දුන්හ. මල්ලාවි නගරය අල්ලා ගැනීම සිදු වූයේ පැය 9 ක් තිස්සේ පැවැති දරුණු සටන්වලින් පසුවය. මුලතිව් හි කල්විලාන්, මුලන්කාවිල්, අක්කරායන්කුලම්, දකුණු තන්නිමුරිප්පුකුලම් ජලාශ බැම්මේ මීටර් 800 ක ප්‍රදේශය සහ ඉලන්කුලම අත්පත් කර ගැනීමට හමුදාව සමත් වූයේ 2008 ජූලි මාසය අවසානයේ ය. එම වික්‍රමය කළේ 57 වැනි සේනාංකයයි. වැලිඔය ප්‍රදේශයේ මිචෙල් කොටි කඳවුර, 22 කොටි කඳවුර, සුගන්දර් කඳවුර, වැලිඔය පුංචි කඳවුර, උක්කුවෙල් කඳවුර, ජීවන්, කට්මාන්, තන්නිමුරිප්පුකුලම් වැව් බැම්ම, උලත්තුවේලි සහ තන්නිමුරිප්පුකුලම්  කඳවුර සියතට ගැනීමට 59 වැනි සේනාංකය සමත් විය. 58 වැනි සේනාංකය වෙල්ලන්කුලම් ප්‍රදේශය අත්පත් කර ගත්තේය.

එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන කඳවුරු රැසක් මේ වනවිට ආරක්ෂක හමුදා විසින් අත්පත් කර ගනු ලැබ අවසන්ය. ත්‍රස්තවාදීන්ට ගොඩබිමින්, ගුවනින් පමණක් නොව, මුහුදින් ද ප්‍රහාර එල්ල විය. ඒ අනුව පසුබැසීම හැර ත්‍රස්තවාදීන්ට වෙන කළ හැකි දෙයක් නොවීය. 57 වැනි සේනාංකය අක්කරායන්කුලම් සිට තෙරුමුරුකන්ඩිය තෙක් පැවැති කොටි ආරක්ෂක වළල්ල සිය ග්‍රහණයට ගත්තේය. මෙම ආරක්ෂක වළල්ල මඩ ගොහොරුවකින් සමන්විත අගලකි. එමෙන්ම මෙය දිග පස් වැටියකි. මේ අතර, ප්‍රභාකරන් සැඟවී සිටින බව පැවැසුණු වට්ටකච්චි නිවස පිළිබඳ බුද්ධි තොරතුරු ලැබුණි. ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එම නිවසට බෝම්බ දැමුවත්, ප්‍රභාකරන් එහි නොසිටි බව පසුව දැන ගන්න ලැබුණි. පේසාලේ මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීම හමුදාව ලැබූ තවත් ජයග්‍රහණයකි. එය සිදුවූයේ 2008 සැප්තැම්බර් 22 වැනිදාය. එල්ටීටීඊයට ආයුධ සහ ආහාර ගෙනා ප්‍රධාන මුහුදු මාර්ගය ඒ අනුව අවහිර කිරීමට නාවික හමුදාව සමත් විය.

ආරක්ෂක හමුදා කිලිනොච්චි දිස්ත්‍රික්කයට පිවිසීමේ මෙහෙයුම් ආරම්භ කළේ 2008 සැප්තැම්බරයේ සිටය. සැප්තැම්බර් 2 වැනිදා, මල්ලාවි ප්‍රධාන කොටි කඳවුර අල්ලා ගනිමින් ප්‍රදේශයේ බලය තහවුරු කරගත් 57 වැනි සේනාංකය, කරන්තන්කුලම් ජලාශය, නාච්චිකුඩා මාර්ගය, අක්කරායන්කුලම් මුරුක්කන්නි මාර්ගය, කොටි ගුවන් පථය, මුරුක්කන්නි දුම්රිය පොළ අත්පත් කර ගත්තේය. කිලිනොච්චි නගරයට ප්‍රහාර එල්ල කරමින්, චාල්ස් ඇන්තනි හා කොටි කොටි කාන්තා බළකා මූලස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කෙරුණේ ඔක්තෝබර් පළමු වැනිදාය. මේ අවස්ථාව වනවිට 59 වැනි සේනාංකයේ මුලතිව් නීලවන් කඳවුර අත්පත් කරගත් අතර, 57 වැනි සේනාංකය මන්නියක්කුලම්, පණ්නිවෙඞ්ඩිකුලම් යන ජලාශ සහිත ප්‍රදේශ අත්පත් කර ගත්තේය. 58 වැනි සේනාංකය කිරන්චි ප්‍රදේශය අත්පත් කර ගත්තේය. යුද හමුදා ප්‍රහාර හමුවේ කොටි ත්‍රස්තයන්ට වැලිඔය ගජබාපුර කඳවුරත්, නාච්චිකුඩාහි මුහුදු කඳවුරත් අහිමි විය.

58 වැනි සේනාංකය මාඩම් ප්‍රදේශය මුදා ගැනීම සිදුවූයේ 2008 නොවැම්බර් 1 වැනිදා ය. පද්දරුයාල්විල්ලුවේ කොටි ත්‍රස්තවාදීන් ඉදි කර තිබුණු කිලෝ මීටර් දෙකක බංකර් පද්ධතිය විනාශ කර දැම්මේය. ඉන්පසු පලාවිකිරංචි, වල්ලෙයිපාඩු මුදා ගැනීම සිදුවිය. වසර 15 කට පසු පුනරීන් ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමට හමුදා සේනාංකය සමත් වීම අප ලැබූ තවත් ජයග්‍රහණයක් ලෙස සැලකෙයි. එල්ටීටීඊයේ කොකාවිල් පණිවුඩ සම්ප්‍රේෂණ කුලුන අත්පත් කර ගත්තේ 57 වැනි සේනාංකයයි. වසර 9 ක් තිස්සේ කොටි ත්‍රස්තයන් සතුව පැවැති මාන්කුලම් ප්‍රදේශය තුන්වැනි කාර්ය සාධක බලකාය විසින් අත්පත් කර ගනු ලැබුණි. 59 වැනි සේනාංකය, කුමුලමුණේ ප්‍රදේශය මුදා ගැනීම සිදු කළේ 2008 නොවැම්බර් 17 වැනිදාය. මේ අතර යාපනයේ කළ මෙහෙයුම්වලදී, 53 සහ 55 සේනාංක එල්ටීටීඊ මුල්පෙළ ආරක්ෂක වළල්ල බිඳ දැමීම සිදු කළේ නොවැම්බර් 19 වැනිදාය. මේ අතර තුන්වන කාර්ය සාධක බලකාය ඕලුමඩු ප්‍රදේශය මුදා ගත්තේය. මුලතිව් පිහිටි මුහුදු කොටි බළකොටු අත්පත් කර ගැනීමට හමුදා සමත් වෙද්දී, එල්ටීටීඊ සංවිධානය තවත් අඩපණ විය.‘ඒ 9’ මාර්ගයේ කනකරායන්කුලම් ප්‍රදේශය තෙක් අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදා සමත් වීමත් සමඟ එල්ටීටීඊ සංවිධානයට මාර්ග පහසුකම් අහිමිවිය. ඕමන්තේ සිට කොකාවිල් තෙක් ‘ඒ 9’ මාර්ගයේ කිලෝ මීටර් 48 ක දුරක් මේ වනවිට හමුදා ග්‍රහණයේ පසුවිය.

58 වැනි සේනාංකයේ භට පිරිස් කිලිනොච්චි පරන්තන් දක්වා මෙහෙයුම් ආරම්භ කළේ වොරින්කුලම් මෙන්ම උතුරු දෙසින් පිහිටි ප්‍රදේශවල ද බලය අල්ලා ගනිමිනි. 2008 දෙසැම්බර් 15 වනවිට, තුන්වන කාර්ය සාධක බලකාය මුලතිව් අම්පකාමම් කොටි බලකොටුව විනාශ කළේය. සේනාංක හතරක භට පිරිස් එක් වෙමින්, කිලිනොච්චි පරන්තන් සහ යාපනයේ කොටි ත්‍රස්තයන්ගේ ආරක්ෂක වළලු බිඳ දමමින්, කිලිනොච්චි නගරයට ඇතුළු වූයේ දෙසැම්බර් 16 වැනිදාය. මේ අතර, සිවුවැනි කාර්ය සාධක බළකායේ මූලිකත්වයෙන් මුලතිව් නැනැන්කර්නි කොටි කඳවුර අත්පත් කර ගැනීමට හැකිවිය. 58 වැනි සේනාංකයේ භටයන් පරන්තන් පුනරීන් මාර්ගයේ සින්න පරන්තන් ප්‍රදේශය මුදා ගනිමින්, කිලිනොච්චි අල්ලා ගැනීමේ මෙහෙයුමට ඉඩ සලසා දුන්නේය.

2009 නව වසර උදා වූයේ යුද උණුසුම මැදය. ජනවාරි පළමු වැනිදා වනවිට හමුදාව පරන්තන් ප්‍රදේශය අත්පත් කර ගත්තේය. එදින රාත්‍රියේ ක්‍රියාත්මක වූ මෙහෙයුම අවසන් වෙද්දී, කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීමට 57 වැනි සහ 58 වැනි සේනාංක සහ එම සේනාංක යටතේ ක්‍රියාත්මක වූ කාර්ය සාධක බළකා සමත් විය. කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීමෙන් පසු, 55 වැනි සේනාංකය නාගර් කෝවිල් මූහමාලේ සිට චුන්ඩිකුලම් හරහා වලෙයි දෙසට ගමන් ඇරැඹුවේය. 58 වැනි සේනාංකය නල්ලූර්, කිලිනොච්චි, පරන්තන් හරහා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් මුලතිව් දෙසට ගමන් කළේය. 57 වැනි සේනාංකය, කිලිනොච්චි විශ්වමඩු සිට ඉදිරි ආරක්ෂක වළල්ල ශක්තිමත් කළේය. ‘කාර්ය සාධක බළකා දෙක’ භට පිරිස් කනකරායන්කුලම් උතුරු දෙසටත්, ‘කාර්ය සාධක බළකා හතර’ භට පිරිස් ඔඞ්ඩුසුඩාව් සිට උතුරු දෙසටත් ආරක්ෂක වළල්ල ශක්තිමත් කරන්න විය. 59 වැනි සේනාංකය වැලිඔය ආම්පිල් සිට මුලතිව් දක්වා මෙහෙයුම් ඇරැඹුවේය. 53 වැනි සේනාංකය, පුදුකුඩුඉරිප්පු සිට වෙල්ලමූලිවයික්කාල් ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිමින් ඉදිරියට ගමන් කළේය. මොවුන්ට ‘කාර්ය සාධක බළකා අටේ’ භට පිරිස් සහාය ලබා දුන්හ.

57 වැනි සේනාංකය මෙහෙයවනු ලැබුවේ මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙනි. 2009 ජනවාරි 2 වැනිදා කිලිනොච්චි ජයග්‍රහණයට 57 වැනි සේනාංකය ද දායක විය. 57 වැනි සේනාංකය, රාමන්තපුරම් හි බලය තහවුරු කර ගත්තේ ජනවාරි 27 වැනිදාය. ජනවාරි 28 වැනිදා 59 වැනි සේනාංකය, විශ්වමඩු නගරයට ඇතුළු විය. ඉදිරි ආරක්ෂක වළල්ල ශක්තිමත් කළේත්, මුදාගත් ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කළේත් 57 වැනි සේනාංකයයි. බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වය දුන්නේ 58 වැනි සේනාංකයටය. ජනවාරි පළමු වැනිදා පරන්තන් නගරයත්, ජනවාරි 8 වැනිදා මුරසුමඞ්ඩියි ප්‍රදේශයෙත් ඉන්පසු ජනවාරි 15 වැනිදා ධර්මපුරම් ප්‍රදේශයේත් බලය තහවුරු කර ගත්තේ 58 වැනි සේනාංකයයි. ජනවාරි 28 වැනිදා වනවිට විශ්වමඩු නගරය ද, පෙබරවාරි 20 වැනිදා වනවිට තෙවිපුරම් ප්‍රදේශය ද 58 වැනි සේනාංකය සතුවිය. කොටි ත්‍රස්තවාදීන්ගේ ආයුධ රැසක් 58 වැනි සේනාංකය විසින් අත්පත් කර ගනු ලැබ තිබුණි. ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ, ත්‍රස්තයෝ මිනිස් පළිහක් ලෙස සිවිල් ජනතාව යොදා ගන්න වූහ. ඒ අනුව සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ඔවුන් ආරක්ෂා කරමින් ප්‍රහාර එල්ල කිරීමට හමුදාවට සිදුවිය. මාර්තු 17 වැනිදා 58 වැනි සේනාංකය, ඉරණපල්ලි නගරයට ඇතුළු වූයේ එසේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කරමිනි. අප්‍රේල් පළමු වැනිදා වනවිට පච්චමුල්පුඩෛයි නගරය ද අප්‍රේල් 5 වැනිදා පුතුකුඩුඉරිප්පු නගරය ද අත්පත් කර ගැනීම සිදුවිය. කොටි ත්‍රස්තවාදීන් සතුව තිබුණු ගුවන් යානා සැලැසුම්, නවීන අවි ආයුධ කිමිඳුම් කට්ටල ආදිය හමුදාවට සොයා ගැනීමට හැකිවිය.

මෙම අවස්ථාව වනවිට හමුදා ප්‍රහාර හමුවේ ත්‍රස්තයන් පසුපසින්න වූ අතර, ඔවුන්ගේ ග්‍රහණයේ සිටි සිවිල් වැසියන්,පණ බේරා ගනිමින් හමුදා පාලන ප්‍රදේශවලට පැමිණෙන්න වූහ. එසේ පැමිණි පිරිස ලක්ෂ තුනකට වැඩිය. වැලිඔයට උතුරු දෙසින්, නැදුන්කර්නි සහ අලම්පිල් ප්‍රදේශ හරහා මුලතිව් දෙසට ගමන් කළ 59 වැනි සේනාංකය, මුලතිව් නගරයේ බලය තහවුරු කර ගනු ලැබුවේ 2009 ජනවාරි 25 වැනිදාය. එතැන් සිට 58 සහ 59 සේනාංක, අට වැනි කාර්ය සාධක බළකාය ද සමඟ එක් වෙමින්, මෙහෙයුම් ඉදිරියට ගෙන යන්න විය. බි්‍රගේඩියර් නන්දන උඩවත්ත මහතාගේ නායකත්වය 59 වැනි සේනාංකයට ලැබුණි. මුලතිව් සිට උතුරට ගමන් ඇරැඹූ 59 වැනි සේනාංකයට සිවිල් වැසියන් මුදා ගැනීම අභියෝගයක් විය. ඒ සඳහා ඔවුන් විශේෂ මානුෂීය මෙහෙයුමක් ඇරැඹුවේය. එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ පසුබෑම මෙසේ සිදුවෙද්දී, ජාත්‍යන්තරයෙන් අප රටට බලපෑම් එල්ල වීමට පටන් ගත්තේය. ඒ සියලු බාධක මැද හමුදා සේනාංක ඉදිරියට ඇදුණේය.

බි්‍රගේඩියර් කමල් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් 53 වැනි සේනාංකය, මාර්තු 12 වැනිදා පුතුකුඩුඉරිප්පු රෝහල අත්පත් කර ගත්තේය. පුතුකුඩුඉරිප්පු රෝහලට හමුදාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිවිල් ජනතාව අනතුරේ දමනවා යැයි කොටි ත්‍රස්තවාදීන් ජාත්‍යන්තරයට ගෙන ගිය අසත්‍ය ප්‍රචාර බිඳ දැමීමට  53 වැනි සේනාංකයට හැකිවිය. අප්‍රේල් පළමු වැනිදා, පච්චමුල්මුඩායි නගරය අල්ලා ගැනීම සිදුවිය. 58 සහ 53 වැනි සේනාංක එක් වී, අප්‍රේල් 5 වැනිදා, පුතුකුඩුඉරිප්පු නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම අප ලැබූ තවත් ජයග්‍රහණයක් විය. පුතුකුඩුඉරිප්පු සටනේදී එල්ටීටීඊයට ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන සහ නිවාස අහිමිවිය.  නාගර්කෝවිල් සිට චුණ්ඩිකුලම් හා චලෙයි දක්වා පැමිණි 55 වැනි සේනාංකය බලය තහවුරු කර ගැනීම සිදු කළේ පෙබරවාරි 5 වැනිදාය. 55 වැනි සේනාංකය මෙහෙයවීම කළේ බි්‍රගේඩියර් ප්‍රසන්න සිල්වා මහතාය. මොවුන්ගේ ප්‍රධාන මෙහෙයුම වූයේ ‘ඒ 9’ මාර්ගය මුදා ගැනීමය. එය සාර්ථක විය. 55 වැනි සේනාංකයට මේ සඳහා 58 සේනාංකයේ ද සහාය ලැබුණි.

දෙවන කාර්ය සාධක බලකාය පණ්ඩිසුරිච්චාන් සිට පුලියන්කුලම කනගරායන්කුලම සිට උතුරු දෙසට ගමන් ඇරැඹුවේ බි්‍රගේඩියර් රෝහණ බණ්ඩාර මහතාගේ නායකත්වය යටතේය. මොවුන් 2008 ජූලි 11 වැනිදා නවාවි ගම්මානය අත්පත් කරගෙන තිබුණි. ඉන්පසු දෙසැම්බර් 4 වැනිදා පුලියන්කුලමත්, දෙසැම්බර් 5 වැනිදා කනගරායන්කුලමත් අත්පත් කරගෙන තිබුණි. උඩයකට්ටුකුලම් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම සිදුවූයේ ජනවාරි 21 වැනිදාය. තුන්වැනි කාර්ය සාධක බලකාය මාන්කුලම්, ඕලුමඩු සහ ආඩිපකමම් හි බලය තහවුරු කර ගනිමින් ඉදිරි ආරක්ෂක වළල්ල ශක්තිමත් කරන්න පටන් ගත්තේය. මෙම භට පිරිස් ඉදිරියට ඇදෙන්න වූයේ ‘ඒ9’ මාර්ගය ආරක්ෂා කරමිනි.

අක්කරයන්කුලම සිට මාන්කුලම හරහා ඉදිරියට ඇදෙන්න වූයේ සිවුවැනි කාර්ය සාධක බලකායයි. මෙම බලකාය මෙහෙයවීම කරනු ලැබුවේ කර්නල් නිශාන්ත වන්නිආරච්චි මහතාය. 2008 දෙසැම්බර් 28 වැනිදා නැදුන්කර්නි ප්‍රදේශයේ බලය ද ජනවාරි 4 වැනිදා ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ බලය ද තහවුරු කර ගැනීමට සිවුවැනි කාර්ය සාධක බලකායට හැකිවුණු අතර ජනවාරි 12 වැනිදා කෙරිඩට්ටඩු ප්‍රදේශය අත්පත් කරගැනීමට හැකිවිය. මේ වනවිට 53 වැනි සේනාංකය, අට වැනි කාර්ය සාධක බලකාය එක් වී, මුහුදු තීරයේ බලය තහවුරු කර ගනිමින් තිබුණි. වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට පැති තුනකින් භට පිරිස් ඇතුළු වීම ඇරැඹීය. 58 සහ 59 සේනාංක මෙහිදී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත්තේය.

පැති කිහිපයකින් ඉදිරියට ඇදෙන්න වූ 53 වැනි සේනාංකය සහ අට වැනි කාර්ය සාධක බලකාය, 58 සහ 59 සේනාංක සමඟ එකතු වීම සිදුවූයේ ‘යුද්ධය අවසන් වෙනවා’ යැයි බලාපොරොත්තු ඇති කරවමිනි. දශක තුනකට ආසන්න කාලයක් මෙරට සමාජ, දේශපාලනික, ආර්ථික, මෙන්ම සංස්කෘතික ප්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත්‍රස්තවාදය, 2009 මැයි 19 වැනි දින යුධමය වශයෙන් පරාජය කෙරුණි. ඒ, 2009 මැයි 18 වැනිදා එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ ය. අප ලැබූ විජයග්‍රහණය එයයි. ගුවන් හමුදාව සහ නාවික හමුදාව ද මෙම විජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක නිරත විය. ඒ, යුද හමුදාවට අවශ්‍ය සහාය සහ ශක්තිය ලබා දෙමිනි.

2009 මැයි මස ලංකාදීප පුවත්පතේ
ලිපි සහ විශේෂාංග ඇසුරින්


RECOMMEND POSTS

RELATED POSTS