වළලු නැතිවෙන්නයි යන්නේ



සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා කුමක්දැයි ඇසුවොත්, කාගේත් සිහියට නැගෙන්නේ සෙනසුරු ය. ඊට හේතුව සෙනසුරු වටා දීප්තිමත් වර්ණවලින් සමන්විත වළලු පිහිටීමය. මෙම වළලු ප්‍රධාන වශයෙන් යුගල දෙකකි. ඉංග්‍රීසි A සහ B යනුවෙන් මේවා නම් කර තිබේ.

යුගල අතරේ බෙදීමක් පවතී. මෙය හැඳින්වෙන්නේ ‘කැසිනි බෙදීම’ කියාය. ඊට හේතුව ඉතාලි තාරකා විද්‍යාඥ ජෝන් (1625-1712) කැසිනි විසින් 1675 දී එය සොයා ගැනීමය. 1850 දී ක්‍ යනුවෙන් නම් කළ තවත් වළල්ලක් සෙනසුරුට ළංව පිහිටා ඇති බව සොයා ගන්නා ලදී. 1980 දශකයේදී වොයේජර් ඇතුළු වෙනත් ගවේෂණ යානා තහවුරු කළේ සෙනසුරු වටා තවත් ප්‍රධාන වළලු රැසක් පමණක් නොව, කුඩා වළලු 10,000 ක් පමණ ඇති බවය. ඇතැම් වළලු මීටර් 10 ක් පළල බව ද තහවුරු විය. ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් පසුගිය දා අනාවරණය කළේ සෙනසුරුගේ අනන්‍යතාව වන මෙම දීප්තිමත් වළලු සෙමින් සෙමින් අතුරුදන් වෙමින් පවතින බවය.

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම ග්‍රහයා සෙනසුරුය. විශ්කම්භය කිලෝ මීටර් 120,000 කි. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් 764 ක් විශාලය. හිරු වටා යෑමට සෙනසුරුට ගතවන කාලය අවුරුදු 29.5 කි. සෙනසුරුගේ එක අවුරුද්දක් පෘථිවි අවුරුදු 29.46 කි. දැවැන්තයකු වුවත් සෙනසුරු සැළකෙන්නේ වායු ග්‍රහයකු ලෙසය. වායු ග්‍රහයකු යැයි කීවත් සෙනසුරු නිර්මාණය වී ඇත්තේ වායුවලින් සහ ද්‍රවවලිනි. සෙනසුරු මුළුමනින්ම පාහේ සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහ හීලියම්වලිනි. ඝන දෙයකට ඇත්තේ සෙනසුරුගේ හරි මැද පිහිටි අරය පමණක් යැයි විශ්වාස කරේ.

සෙනසුරුගේ ඝනත්වය කොතරම් අඩුදැයි කීවොත්, එය ජලයට දැම්මොත් පාවී යනු ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් වේගයෙන් කැරැකෙන ග්‍රහයකු ලෙස සෙනසුරු හැඳින්විය හැකිය. සෙනසුරු අභ්‍යන්තරයේ පීඩනය ඉතා වැඩිය. එම පීඩනය කොතරම්දැයි කීවොත්, ඊට හයිඩ්‍රජන් වායුව ද්‍රව බවට පත් කිරීමට හැකියාව ඇත. රෝම දේව පුරාණයට අනුව, අස්වැන්නට අදිපති දෙවියන් සිහිගන්වමින්, ඉංග්‍රීසි බසින් සෙනසුරු හැඳින්වෙන්නේ ‘සැටර්න්’ යනුවෙනි. සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගෙන් වෙනස් වන්නේ සෙනසුරුට වර්ණවත් මෙන්ම දීප්තිමත් වළලු ඇති නිසාය.

අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි මෙසේ වළලු ආකාරයට පිහිටන්නේ, සෙනසුරුගේ ගුරුත්වාකර්ශණ බලය හේතුවෙනි. අයිස්, දූවිලි අංශු සහ පාෂාණ කැබැලිවලි සෙනසුරුගෙන් පිටතට (අභ්‍යවකාශයට) යෑමට උත්සාහ ගනී. සෙනසුරු ඒවා තම ගුරුත්ව බලයෙන් තමා දෙසට ඇද ගැනීමට උත්සාහ ගනී. එකිනෙකට විරුද්ධව එල්ල වන මෙම බලය සමබරව පවතින තැන වළලු නිර්මාණය වී ඇත. අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලිවලින් සමන්විත වළලු ජල අංශුවලින් පිරී පවතී. සෙනසුරුගේ චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය වර්ධනය වෙද්දී, අයිස්, දූවිලි සහ පාෂාණ කැබැලි සියල්ල සෙනසුරු වෙත ඇදී යනු ඇත. එහි අවසානය වන්නේ වළලු අතුරුදන් වීමය.

තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, තව අවුරුදු මිලියන 100 ක් යද්දී, මේ වළලු මුළුමනින්ම අතුරුදන් වනු ඇති බවය. මේ බව මුලින්ම තහවුරු වී ඇත්තේ 70 දශකයේ විශ්වය ගවේෂණයට යැවූ වොයේර් 2 යානය සෙනසුරු පසු කළ අවස්ථාවේදීය. නමුත් හරියටම වසර මිලියන 100 ක් යද්දී වළලු මුළුමනින්ම අතුරුදන් වේවි යැයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ සෙනසුරු සම්බන්ධයෙන් ලබා ගත් නවතම වාර්තා සහ දත්ත පාදක කර ගනිමිනි.

දීප්තිමත් වරණවලින් පෙනෙන සෙනසුරුගේ වළලු නිර්මාණය වී ඇත්තේ අයිස් කුබලි, දූවිලි අංශු සහ කුඩා ප්‍රමාණයේ පාෂාණ කැබැලිවලිනි. සෙනසුරුගේ සමකය වටේ වළලු ලෙස මේවා විසිරී පවතී. හිරු එළිය මේ වළලුවලට පතිත වෙද්දී ඒවා දීප්තියෙන් දිදුළයි. සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේදී, අසල පිහිටි චන්ද්‍රයකු සෙනසුරුගෙන් ගැටීමෙන් විසුවුණු සුන්බුන්වලින් වළලු නිර්මාණය වන්න ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනුමාන කරති.

සෙනසුරු ග්‍රහයා වටා යම් දීප්තිමත් දෙයක් ඇති බව මුලින්ම දුටුවේ ගැලීලියෝ ගැලීලීය. ගැලීලියෝ (1564-1642) ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකි. ඒ 1610 වසරේදීය. ඒවා මොනවාදැයි ගැලීලියෝ දැන සිටියේ නැත. කෙසේ නමුත්, සෙනසුරු වටා වළලු ඇති බව ලොවට අනාවරණය කරනු ලැබුවේ ලන්දේසි තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියන් හයිගන්ස් විසිනි. ඒ, 1659 දීය. 

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS