වසර 100 කට පසු හොල්මන් කරන තුතන්කාමන් සාපය



ඊජිප්තුව පුරාණයේ හැඳින්වූයේ මිසරය යන නමිනි. මිසර රජවරුන් පුරාවන් යනුවෙන් හැඳින්වෙයි. මේ පාරාවන් අතරින් වඩාත් ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය තැනැත්තා තුතන්කාමන්ය. මීට වසර 3,000 කට පෙර තුතන්කාමන් රජු මිසරය පාලනය කළේය. ඒ, ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය.

තුතන්කාමන් ‘ළමා රජ්ජුරුවෝ’ යන නමින් ද හැඳින්වෙයි. ඊට හේතුව රජකම ලබද්දී, ඔහුගේ වයස අවුරුදු 10 ක් බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් අනාවරණය කරනු ලැබ තිබීමය.

රජකම ලැබීමෙන් පසු තුතන්කාමන් සිය බිසව කරගත්තේ ඔහුගේ අඩ සොයුරියකි. (පාරවන්ගේ විවාහ සිදුවූයේ සොයුරු සොයුරියන් අතරේය.) තුතන්කාමන්ගේ බිසව වූයේ අන්ක්හිසෙන්පාතෙන් කුමරියයි. ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනකු උපන් නමුත්, උපතේදීම ඔවුන් මියගොස් ඇත.

තුතන්කාමන් වයස අවුරුදු 19 දී මියගියේ අබිරහස් අන්දමින්. ඇතැමුන්ගේ අදහස නම්, තුතන්කාමන් ඝාතනයට ලක් වුණු බවය. එය අත්වැරදීමකින් හෝ හදිසි අනතුරකින් සිදුවුණු මරණයක් යැයි සමහරු කියති.

තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැම්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 වසරේදීය. ඒ, එම ස්ථානය හැඳින්වෙන්නේ ‘තුත් අක්හ් අමුන්’ යන නමිනි. තුතන්කාමන්ගේ දේහය සහිත රනින් කළ ඒ, මිනී පෙට්ටිය, දැන් ගීසා පිරමීඩ ඇති ස්ථානයට නුදුරින් අලුතින් ඉදිකළ ‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ වෙත රැගෙන යෑම සිදුවෙයි.

තුතන්කාමන්ගේ මිනී පෙට්ටිය පමණක් නොව, ඔහුගේ සොහොනේ ඇති කෞතුක වස්තූන් රැසක් ද නව කෞතුකාගාරයට මාරු කෙරේ. ගැටලුව වන්නේ තන්කාමන්ගේ සොහොන් ගැබ සහ එය විවර කිරීම සම්බන්ධයෙන් පවතින සාපයයි.

‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ ගීසා පිරමීඩවලට නුදුරින් ඉදිකිරීම ආරම්භ වූයේ මීට පහළොස් වරසකට පෙරය. ඒ, ජපන් රජයේ ආධාර සහ අනුග්‍රහය යටතේය. එය ලබන වසරේ එනම් 2020 දී විවෘත කෙරෙනු ඇත.

තුතන්කාමන්ගේ මිනීපෙට්ටිය තැම්පත් කළ සොහොන් ගැබ සොයා ගනු ලැබුවේ බි්‍රතාන්‍ය පුරාවිද්‍යාඥ හවඞ් කාටර් විසිනි. ඒ, 1922 දී, ලුක්සෝර් හි ‘රජුන්ගේ නිම්නය’ නමින් හැඳින්වෙන පළාතෙනි.

සොහොන් ගැබ තුළ මිනී පෙට්ටිය පමණක් නොව, කෞතුක භාණ්ඩ 5,000 කට වැඩියෙන් ඇත. කාටර්, වැළලී ගොස් තිබුණු තුතන්කාමන්ගේ සොහොන් ගැබ සොයා ගනිමින් විවෘත කළ අවස්ථාවේදී, බියක් පැතිර ගියේය. තුතන්කාමන්ගේ සාපය නිසාය.

සොහොන් ගැබ කෙළසීම හේතුවෙන් ඊට සම්බන්ධ වූ සැවොම සාපයට ලක් වෙනවා යැයි පැවසිණි. සොයා ගැනීමට සම්බන්ධ වූවන් එකිනෙකා පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල අය පවා අබිරහස් අන්දමට මිය යන්න විය. සමහරු හිතා ගැනීමටවත් අමාරු විදියේ රෝගවලින් මිය යද්දී, සමහරු හදිසි අනතුරුවලට ගොදුරු වූහ.

මේ මරණ අහඹු සිදුවීම් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. තුතන්කාමන්ගේ සොහොනේ ඇති මිනී පෙට්ටිය සහ අනෙක් කෞතුක භාණ්ඩ ඒවා ඇති ‘තුත් අක්හ් අමුන්’ සොහොන් ගැබෙන් ඉවත් කර, ගීසා හි නව කෞතුකාගාරයට මාරු කිරීමේදී යළිත් වරක්, එනම් වසර 100 කට පෙර කවුරුත් බිය ගැන්වූ සාපය ගැන අලුත් බියක් හටගෙන ඇත.

තුතන්කාමන්ගේ සොහොන් ගැබ විවර කළේ 1922 නොවැම්බර් 19 වැනිදාය. මේ එහි සාපයට ගොදුරු වී මියගිය පුද්ගලයන්ගේ ලැයිස්තුව මෙන්න.

කානර්වොන් ආදිපාදවරයා 1923 අප්‍රේල් 23 වැනිදා මියගියේය. කාටර්ගේ ගවේෂණයට මුදල් යෙදවූයේ මොහුය. මියගියේ මදුරු දෂ්ටනයකිනි.

ජෝර්ජ් ජේ ගෝව්ල්ඞ් මියගියේ 1923 මැයි 16 වැනිදාය. මොහු සොහොන් ගැබ විවර කළ අවස්ථාවේදී ඊට ඇතුළු වූ අයෙකි. මියගියේ උණක් හේතුවෙනි.

අලී කමෙල් ෆහ්මී බේ කුමරු, 1923 ජූලි 10 වැනිදා මියගියේ බිරිඳ කළ වෙඩි තැබීමකිනි. මොහු ඊජිප්තු කුමාරයෙකි.

කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරු කර්නල් ඕබ්රි හර්බට් 1923 සැප්තැම්බර් 26 මියගියේ දතක් පිරවීමෙන් පසු සිදුවුණු විස වීමක් හේතුවෙනි.

ශ්‍රීමත් ආචිබෝල්ඞ් ඩග්ලස් රේඞ් 1924 ජනවාරි 15 වැනිදා මියගියේය. තුතන්කාමන් දේහය සහිත මිනීපෙට්ටියේ එක්ස් කිරණ ඡායාරූප ගත්තේ විකිරණවේදීයා මොහුය. මියගියේ අබිරහස් රෝගයකිනි.

ශ්‍රීමත් ලී ස්ටැක් 1924 නොවැම්බර් 19 වැනිදා මියගියේය. මොහු සුඩානයේ ආණ්ඩුකාරවරයා විය. ඊජිප්තුවේ කයිරෝ අගනුවර වෙත මෝටර් රියකින් යද්දී ඝාතනය විය.

එම්.ඒ. මැකේ මියගියේ 1928 අප්‍රේල් 6 වැනිදාය. මොහු කාටර්ගේ ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකි. මියගියේ ආසනික් විසවීමෙනි.

මර්වින් හර්බට් මියගියේ 1929 මැයි 26 වැනිදාය. මොහු ද කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරෙකි. මියගියේ මැලේරියාව රෝගයෙනි.

කැප්ටන් රිචඞ් බෙතෙල් මියගියේ 1929 නොවැම්බර් 15 වැනිදාය. මොහු හවඞ් කාටර්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය. මේෆෙයාර් සමාජ ශාලාවේ මරණය සිදුවුණේ අබිරහස් අන්දමින්ය.

රිචඞ් ලුට්රෙල් පිල්කිංග්ටන් බෙතෙල් යනු රිචඞ් බෙතෙල්ගේ පියාය. මොහු මියගියේ 1930 පෙබරවාරි 20 වැනිදාය. මහල් නිවාසයෙන් පැන දිවි නසා ගත්තේය.

හවඞ් කාටර් මියගියේ 1923 පෙබරවාරි 16 වැනිදාය. තුතන්කාමන් සොහොන් ගැබ විවර කළේ කාටර්ය. හොඞ්ජ්කිං රෝගය වැළඳී තුතන්කාමන් මියයද්දී, ඔහුගේ වයස අවුරුදු 64 ක් විය. කාටර්ගේ වැඩිමල් සොයුරු විලියම් ද එම වසරේ මියගියේය.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS