රහසේ ආ අමුත්තා



ධූමකේතු යන නමින් ද හැඳින්වෙන වල්ගා තරු සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් යැයි පැවැසෙයි. පෘථිවි අපට නිරන්තරයෙන් වල්ගා තරු දකින්න ලැබේ. වල්ගා තරු අතරින් කවුරුත් දන්නා හඳුනන වල්ගා තරුව හේලිගේ වල්ගා තරුව ය.

තාරකා විද්‍යාඥයන් ඔවුන් විසින් හඳුනාගත් වල්ගා තරු නම් කර, ලැයිස්තු ගතකර ඇත. එම වල්ගා තරු වරක් අපට දකින්න ලැබුණාට පසු යළි දකින්න ලැබෙන්නේ කවදාදැයි නිවැරදිව ගණන් බලා ඇත. කෙසේ නමුත්, තාරකා විද්‍යාඥයන්ට හොරා වල්ගා තරුවකට පෘථිවිය අසලින් ගමන් කළ නොහැකිය. පුදුමය නම්, තාරකා විද්‍යාඥයන් මවිත කරමින්, ඔවුන්ට හොරා වල්ගා තරුවක් පෘථිවිය අසලින් යෑමය.

‘සී/2017යූ1’ නමින් නම් කෙරුණු මෙම වල්ගා තරුව, පළමු වරට පසුගිය ඔක්තෝබර් 18 වැනිදා පෘථිවිය අසලින් ගමන් කළේය. නාසා ඇතුළු පෘථිවි තාරකා විද්‍යාඥයන් මවිත කළ ‘සී/2017යූ1’ වල්ගා තරුව තාරකා විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ පළමු වතාවටය. ඊට හේතුව, එය වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක සිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ නිසාය. ඒ අනුව, ‘සී/2017යූ1’ පිටසක්වළින් ආ අමුත්තෙකි.

‘සී/2017යූ1’ දකින්න ලැබුණේ හවායි දූපත්හි පිහිටුවා ඇති තාරකා විද්‍යා දුරේක්ෂයක් හරහාය. ඉන්පසු සතියක් ගතවනතුරු තාරකා විද්‍යාඥයන්ට, මෙම වල්ගා තරුව 34 වතාවක්, හොඳින් දකින්න ලැබුණු බව පැවැසිණි. වල්ගා තරුව ‘සී/2017යූ1’ යනුවෙන් නම් කිරීමෙන් පසු, එහි ගමන් මඟ කෙසේදැයි සෝදිසි කෙරුණි.

මීට පෙර මෙම වල්ගා තරුව, තාරකා විද්‍යාඥයන්ට දකින්න නොලැබුණේ සහ ඒ ගැන කිසිවක් දැන නොසිටියේ, ‘සී/2017යූ1’ විශ්වයේ ඈත වෙනත් ග්‍රහ මණ්ඩලයක සිට ආ නිසා බව තහවුරු විය. ‘සී/2017යූ1’ වල්ගා තරුවේ ගමන් මාර්ගය අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වැටී තිබුණත්, මෙම වල්ගා තරුව කැරැකෙන්නේ අප හිරු වටා නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දුන්නහ.

‘සී/2017යූ1’ පැමිණ ඇත්තේ ‘වීණාව’ තරු පංතිය දෙසිනි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වල්ගා තරුව පෘථිවි අපට දිස්වුණු පළමු මෙන්ම අවසන් අවස්ථාව මෙය වනු ඇති බවය. ‘වීණාව’ උතුරු අහස් ගෝලයේ දකින්න ලැබෙන තරු පංතියක් බව විද්‍යාඥයෝ කියති. මෙම තරු පංතියේ ප්‍රධාන තාරකාව වන්නේ ඇල්ෆා ලයිරාය. මෙම තරුව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 26 ක් ඈතිනි.

‘සී/2017යූ1’ සම්බන්ධයෙන්, මාධ්‍ය හමුවේ කරුණු කීවේ, ‘සවුතිවෙස්ට්’ තාරකා නිරීක්ෂණාගාරයේ ආචාර්ය සිමොන් පෝටර් ය. ‘මේ වල්ගා තරුව ආවේ හුඟක් ඈතින්. එහි ආරම්භය කොතැනදැයි අපට හරියටම කියන්න අමාරුයි. ‘සී/2017යූ1’ අපේ සෞරග්‍රහ මණ්ඩලට නොදන්වා පිටසක්වළින් ආ අමුත්තෙක්.’ යැයි ආචාර්ය පෝටර් වැඩි දුරටත් කියා සිටියේය. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහ වස්තූන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු සිදු කරන අංශය පෙන්වා දෙන්නේ ‘සී/2017යූ1’ වෙනත් තරුවක් වටා කරැකෙන බවය.

අභ්‍යවකාශය හරහා වේගයෙන් ගමන් කරන දිග වල්ගයක් ඇති දීප්තිමත් වස්තූන් වල්ගා තරු හෙවත් ධූමකේතු යන නමින් හැඳින්වෙයි. ඇදුණු ඉලිප්සීය කක්ෂයක වල්ගා තරු හිරු වටා ගමන් කරයි. වල්ගා තරුවක් තුනී වායු වැස්මකින් අන්තර්ගත ඉතාමත් කුඩා අංශුවලින් නිර්මාණය වී තිබේ. ප්‍රමාණයෙන් විශාල වල්ගා තරුවකට හිසක්, සංඝටක අඩංගු කොටස ලෙස සැලකෙන න්‍යෂ්ටියක් සහ පිටතට විහිදෙන වල්ගයක් අයත් වෙයි. වල්ගා නැති ධූමකේතු ද ඇත. ධූමකේතුවක වල්ගය සෑමවිටම හිරු දෙසට නොව හිරුගෙන් ඈතට විහිදෙයි. දීප්තියෙන් දිස්වුණත්, වල්ගා තරු යනු කිලෝ මීටර් කිහිපයක විශ්කම්බයක් සහිත අයිස්, වායු සහ දූවිලිවලින් සැදුණු බෝලයකි. වල්ගාතරුවලින් බොහොමයක් හිරු වටා යයි. කලින් සඳහන් කළ විදියට, හිරු වටා යන ගමන් මාර්ගය ඉතා දීර්ඝ එකක් වෙයි.

එහෙයින්, ඒවායේ ගමන් මාර්ගය සෞර ග්‍රහ මණ්ඩලය අද්දර දක්වා වැටී ඇත. වල්ගාතරුවක් අපට පෙනෙන්නේ, ඒවා හිරුට ළං වී දීප්තියෙන් දැල්වෙමින්, වල්ගය නිර්මාණය වන අවස්ථාවලදීය. හිරුට ළං වෙද්දී, සූර්ය සූළංවල තාපය හේතුවෙන් වල්ගාතරුවේ ඇති අයිස්, වායු සහ දූවිලි අංශු දියවී විහිදී යයි. ඒ, හිරුට ප්‍රතිවිරුද්ධ දෙසිනි. වල්ගයක් සේ දිස්වන්නේ ඒවාය.

වල්ගා තරුවක් අභ්‍යවකාශය හරහා ඇදී යන්නේ පැයට කිලෝ මීටර් මිලියන දෙකක වේගයකිනි. හිරුට ළංවෙද්දී වේගය වඩාත් වැඩිවෙයි. හිරුගෙන් ඈත් වී, ඈතට ගමන් කරද්දී, වල්ගා තරුවල වේගය පැයට කිලෝ මීටර් 1,000 තෙක් අඩුවෙයි. වරක් අපට දකින්න ලැබුණාට පසු, එය යළි වසර ගණනාවකින් දකින්න ලැබෙන්නේ එහෙයිනි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS