රහස් සොයන ඩ්‍රෝන යානය



වළලු සහිත සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා, ටයිටන්ය. ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන් අප හඳුන්වන්නේ ‘ස්වභාවික චන්ද්‍රිකා’ ලෙසිනි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දෙවැනියට විශාලතම ස්වාභාවික චන්ද්‍රිකාව වන්නේ ද ටයිටන්ය.

ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් අඩකි. මෙම චන්ද්‍රයා සොයා ගැනීම සිදුවූයේ 1655 වසරේ මාර්තු 25 වැනිදාය. චන්ද්‍රයා සොයා ගැනීම කරනු ලැබුවේ ක්‍රිස්ටියන් හයිජන්ස් විසිනි. ඝන වායු ගෝලයක් ඇති සෙනසුරුගේ එකම චන්ද්‍රයා වන්නේ ද ටයිටන්ය. වායුගෝලය ප්‍රධාන වශයෙන් නයිට්‍රජන්වලින් නිර්මාණය වී ඇත. නයිට්‍රජන්වලින් පිරුණු වායුගෝලයේ මීතේන් සහ ඊතේන් වායු වලා පමණක් නොව, නයිට්‍රජන් මුසු කාබනික මීදුම් පටල පවා දකින්න ලැබෙන බව විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇත. ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට සුළං පවතී. වැසි ඇද හැලෙයි. 

පෘථිවියේ මෙන් ගංගා, ඇළදොළ, වැව් පොකුණු ආදිය ඇත. ගලා යන ගංගා, ඇළදොළ නිර්මාණය වී ඇත්තේ මීතේන් සහ ඊතේන්වලිනි. පෘථිවිය නිර්මාණය වූ මුලික අවදියේදී ද මෙවැනි පාරිසරික තත්ත්වයන් තිබෙන්න ඇති බව තාරකා විද්‍යාඥයන්ගේ අදහසය. ටයිටන් චන්ද්‍රයාගේ රහස් අනාවරණය කර ගැනීමෙන් ජීවයේ ආරම්භය සිදුවූයේ කෙසේදැයි යන්න දැනගැනීමට හැකි වෙයි.

මේ අරමුණින්, ටයිටන්ගේ රහස් අනාවරණය කර ගැනීමට සුවිශේෂී හෙලිකොප්ටරයක් වැනි ඩ්‍රෝන යානයක්, ටයිටන් බලා යැවීමට ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සූදානම් වෙයි. නවීන තාක්ෂණයේ උපරිමය යොදා ගනිමින් නිර්මාණය වන මෙම නව ඩ්‍රෝන යානය ‘ඩ්‍රැගන්ෆ්ලයි’ යනුවෙන් ද මෙම මෙහෙයුම ‘ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම’ යනුවෙන් ද නම් කර ඇත. ‘ඩ්‍රැගන්ෆ්ලයි’ ඩ්‍රෝන යානය ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණ කටයුතු සිදු කරනු ඇත. නාසා ආයතනය අභ්‍යවකාශ ගවේෂණ කටයුත්තකට මෙවැනි ඩ්‍රෝන යානයක් භාවිත කරන පළමු අවස්ථාව මෙයයි. ඩ්‍රෝන යානයක් යනු නියමුවන් රහිතව දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන රොබෝ යානයකි. ජීවය නිර්මාණය වූයේ කෙසේදැයි සාක්ෂි සෙවීම පමණක් නොව, යම් හෙයකින් ටයිටන් ලොවේ පිටසක්වළ ජීවීන් (ක්ෂූද්‍රජීවීන් වැනි) සිටී නම් ඔවුන් සොයා ගැනීම පවා මෙම මෙහෙයුමේ අරමුණ යැයි පැවැසෙයි. කෙසේ නමුත් ජීවීන් හමුවේවි යැයි සිතිය නොහැකි බව නාසා පැහැදිලි කරයි.

නාසා ආයතනය ටයිටන් චන්ද්‍රයා ගවේෂණය කිරීමට සූදානම් වන්නේ ඔවුන්ගේ ‘නිව් ෆ්‍රන්ටියර්’ අභ්‍යවකාශ ගවේෂණ වැඩසටහනේ එක් අදියරක් ලෙසය. ඩ්‍රැගන්ෆ්ලයි ඩ්‍රෝන යානය රොකට්ටුවක සහ අභ්‍යවකාශ යානයක ආධාරයෙන් පෘථිවියෙන් පිටවනු ඇත්තේ 2026 දීය. 2034 වෙද්දී එය ටයිටන් චන්ද්‍රයා වෙත පැමිණෙනු ඇති බවය. ඒ වනවිට ඇමෙරිකාව යළි චන්ද්‍ර මෙහෙයුම් සිදු කර අවසන්ය. එපමණක් නොව, අඟහරු වෙත ගගනගාමීන් යැවීමට ද සූදානමින් සිටිනු ඇත.

කලින් සඳහන් කළ ආකාරයට ඩ්‍රැගන්ෆ්ලයි යනු හෙලිකොප්ටරයක් වැනි භ්‍රමණ යානයකි. මෙවැනි යානයක් මීට පෙර කිසිදු අවස්ථාවක අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුමකට යොදා ගෙන නැත. ‘අපි තාක්ෂණයේ උපරිමය මේ සඳහා භාවිතා කරනවා. ඒ වගේමයි, මිනිසාගේ දැනුම පුළුල් කර ගැනීමයි අපේ අරමුණ’ යැයි ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම ගැන පැහැදිලි කරමින් නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඞ්ස්ටයින් කියයි. ටයිටන්ගේ ඝන වායු ගෝලයේ සැතපුම් 100 ක් පියාසර කරමින් ගවේෂණය කරමින් දත්ත සහ ඡායාරූප රැස් කිරීමට ඩ්‍රැගන්ෆ්ලයි යානයට හැකිවනු ඇති බව ද නාසා ප්‍රධානියා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. ‘සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහවයන් සහ චන්ද්‍රයන්ට වඩා ටයිටන් චන්ද්‍රයාගේ තියෙනවා වෙනසක්. ටයිටන්ගේ පරිසරය අප පෘථිවියේ ආරම්භයට සමානයි. එහි ඇති කාබනික රසායන විද්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මගින් අපට පුළුවන් වෙනවා, පෘථිවියේ ජීවය පහළ වීම සිදුවූයේ කෙසේදැයි දැනගන්න’ යැයි ජිම් බ්‍රයිඞ්ස්ටයින් වැඩිදුරටත් කියා සිටී.

ටයිටන් චන්ද්‍රයා බුද ග්‍රහයාටත්, පෘථිවියේ චන්ද්‍රයාටත් වඩා ප්‍රමාණයෙන් විශාලය. ටයිටන් පිහිටා ඇත්තේ හිරුගේ සිට සැතපුම් මිලියන 886 ක් දුරිනි. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 179 ක් පමණය. මතුපිට පීඩනය පෘථිවියට වඩා සියයට 50 කින් වැඩිය. භ්‍රමණක අටකින් සමන්විත ඩ්‍රැගන්ෆ්ලයි යානය පහසුවෙන් යටිටන්ගේ වායුගෝලයේ පියාසර කරනු ඇත. ‘ටයිටන්ට සමාන කළ හැකි ලෝකයක් වෙන නැහැ. එහෙයින් ටයිටන්ගේ රහස් සොයන්න ආරම්භ වන ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම ද සුවිශේෂී එකක් වේවි’ යැයි ටයිටන් මෙහෙයුමට සම්බන්ධ ඉංජිනේරු තෝමස් සර්බූචෙන් කියයි.

ද සන් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS