මොකක්ද මේ ‘ආර්ටිකල් 370’ ?



බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවට නිදහස හිමිවූයේ 1947 වසරේ ය. ඒ වනවිට ඉන්දියාව නමැති සුවිසල් රාජ්‍යය ප්‍රාන්ත 560 කින් සමන්විත විය. නිදහස හිමිවීමත් සමඟ මුස්ලිම්වරුන් වෙනුවෙන් උතුරෙන් වෙනම රාජ්‍ය්‍යක් නිර්මාණය වූයේ පාකිස්තානය ලෙසය.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා වෙන් කිරීමේදී හිමාල අඩවියට අයත් කාශ්මීරය ගැටලුවක් ඇති කිරීමට සමත් විය. මුස්ලිම් බහුතරයක් වාසය කරන කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීර් යන පළාත් පාලන කළ මුස්ලිම් ප්‍රදේශීය නායකයා, පාකිස්තානය සමඟ එක්වීම වෙනුවට ඉන්දියාව සමඟ එක් විය.

ඒ අනුව, කාශ්මීරයේ ජම්මු සහ කාශ්මීර් පමණක් නොව ලඩාක් යන පළාත ද ඉන්දියාවේ පාලනයට නතුවිය. කාශ්මීරයේ සෙසු පළාත් පාකිස්තානයට නතු විය.

ඉන්දියාවත් පාකිස්තානයත් කාශ්මීරය වෙනුවෙන් අයිතිය ඉල්ලීම ආරම්භ වූයේ ඊට එරෙහිව නැගී ආ විරෝධයත් සමඟය. කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාවත් පාකිස්තානයත් අවස්ථා ගණනාවකදී යුද වැදුණි. සටන් විරාම සහ සාම ගිවිසුම් ඇති කර ගැනුණි. ජම්මු කාශ්මීරයේ පාකිස්තාන හිතවාදී බෙදුම්වාදීහු වසර 30 ක් පුරාවට ඉන්දීය රජයට එරෙහිව සන්නද්ධ අරගලයක නියැලුණාහ.

ඉකුත් අගෝස්තු පළමු වැනිදා යළිත් වරක් ඉන්දු කාශ්මීරය ‘අසාමාන්‍ය අයුරින්’ නොසන්සුන් වීමට පටන් ගත්තේය. ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්, ඉන්දීය මධ්‍යම රජය අමතර සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් 35,000 කට වැඩි පිරිසක් කාශ්මීරයට යැවීය. කාශ්මීරයේ වන්දනා ගමන්වල යෙදෙන හින්දු බැතිමතුන් සහ කාශ්මීරයට යෑමට සූදානම් වූ හින්දු බැතිමතුන් වහා ආපසු හරවා එවනු ලැබුණි. සංචාරකයන් ද ආපසු හැරවීම සිදුවිය. ජර්මනියත්, මහා බි‍්‍රතාන්‍යයත් ඉන්දියාවට පැමිණෙන සංචාරකයන්ට අනතුරු ඇඟවූයේ ඉන්දු කාශ්මීරයට නොයන ලෙසටය.

අගෝස්තු 4 වැනිදා ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ දුරකතන සහ අන්තර් ජාල සේවා නවතා දැමුණි. සිදුවන්නේ කුමක්දැයි කාශ්මීර වැසියන්ට සිතාගත නොහැකි විය. ඒ සමඟම කාශ්මීරයේ හිටපු මහ ඇමැතිවරුන් සහ කැපී පෙනෙන මුස්ලිම් දේශපාලනඥයන් නිවාස අඩස්සියට පත් කෙරුණි. තමන් නිවාස අඩස්සියට ගන්නේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්න කරද්දී, ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂා, රාජ්‍ය සභාවේදී (පාර්ලිමේන්තුවේ) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය බල රහිත කිරීමේ නියෝගයකට අත්සන් කළ බවය.

ඉන්දියාවේ ප්‍රාන්ත 29 කි. ඒ අතරින් ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 370 වැනි වගන්තිය යටතේ ඉන්දියාවට අයත් කාශ්මීරයට වෙනම ව්‍යවස්ථාවක් හිමි වී තිබුණි. කාශ්මීරයේ දේශපාලනඥයකු හා ජනතා නියෝජිතයකු ලෙස ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවට පිවිසිය හැක්කේ, කාශ්මීර පුරවැසියකුට පමණක් විය. කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීමට හෝ ආයෝජන ඇති කරගැනීමට හෝ වෙනත් ප්‍රාන්තවල වැසියන්ට කළ නොහැකි විය. ඉඩම් දේපොළ මිලදී ගැනීමට අවසරය ඇත්තේ කාශ්මීර වැසියන්ට පමණන් විය. දැන් 370 වගන්තිය බල රහිත කිරීමත් සමඟ මේ සියලු බලතල අහිමි වී යයි.

ඒ අනුව දැන් ජම්මු සහ කාශ්මීරයත්, ලඩාක් පළාතත් ඉන්දීය මධ්‍යම රජය අතට පත් වී අවසන්ය.  ඉන්දීය මධ්‍යම රජය පෙන්වා දෙන අන්දමට මෙය හොඳ දෙයකි. පසුගිය වසර 70 ක කාලය පුරාවට ජම්මු කාශ්මීරයේ වැසියන් කිසිදු දියුණුවක් ලබා නැත. යටිතල පහසුකම්, අධ්‍යාපනික පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ජම්මු කාශ්මීර වැසියන්ට ලැබී නැත. වෛද්‍යවරුන් පවා කාශ්මීරයට යෑම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බෙදුම්වාදී ගැටුම් නිතර සිදුවන බැවිනි. ඉන්දීය මධ්‍යම රජයේ නව ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරියේ දී  ජම්මු සහ කාශ්මීර් පළාත් වෙන් වෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක් බවට පත් කෙරෙනු ඇත. ලඩාක් පළාත ඉන්දීය රජය යටතේ පාලනය වනු ඇත. ලඩාක් ඉතා සුන්දර පළාතක් වන අතර, කාශ්මීරයේ සුන්දරම පළාත වන්නේ ද මෙයයි. මෙම පළාතේ ජනගහනය අඩුය.

ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝදි සැලකෙන්නේ ජාතිකවාදී නායකයකු ලෙසය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයකි. මෝදි පළමුවෙන් ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූයේ 2014 වසරේ ඉන්දීය මහ මැතිවරණයෙනි. එම අවස්ථාවේදී මෝදිගේ ඡන්ද පොරොන්දුවක් වූයේ ඉන්දු කාශ්මීරය ඉන්දීය මධ්‍යම රජය යටතට ගැනීමට තමන් පියවර ගන්නා බවය.

කෙසේ නමුත් දැන් මෝදි එම ඡන්ද පොරොන්දුව ඉටු කර තිබෙන්නේ මෙම 2019 පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී අති විශිෂ්ට ජයක් දිනා ගැනීමෙන් පසුවය. ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය 370 වගන්තිය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයත් කනස්සල්ලත් පළ කරයි. කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂයත්, ඊට සහාය දක්වන සෙසු දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ නායකයන් ද පෙන්වා දී ඇත්තේ අගමැති මෝදි ඉන්දියාව නව යුගයක් කරා ගෙන යෑමට සූදානම් වෙන බවය.

ලුසිත ජයමාන්න
විදෙස් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS