මිනිසා ඇත්තටම හඳට ගියාද ?



මීට පනස් වසරකට පෙර එනම්, 1969 ජූලි 20 වැනිදා පළමු මිනිසා ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තැබුවේය. එය මිනිසා කළ මහා පෙරැළියකි. තව නොබෝ දිනකින් සඳ ගමනට පනස් වසරක් සපිරෙද්දී, ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සව පැවැත්වීමට ද නියමිතය. මිනිසා සඳ මත පය තබා වසර වසර 50 ක් ගත වෙද්දී, තවමත් මිනිසා සඳ තරණය කළේ යැයි විශ්වාස කරන්නේ නැත. ඔවුන් සිතන්නේ සඳ තරණය ලොකු බොරුයක් කියාය.

නිරවි යුද සමයේ, අවි අමෝරා ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය එකිනෙකාට තර්ජනය කර ගත්තේය. අභ්‍යවකාශය සහ අවසානයේ දී සඳ ජය ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති තරගය අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ 1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් දෙදෙනා සඳට යැවීමෙන් පසුවය.  ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් දෙදෙනා සඳ මත ඇවිද්ද හැටි, ලොව මිලියන 650 ක පිරිසක් රූපවාහිනී තිරයට දෑස් දල්වා ගනිමින් නැරැඹූහ.

මේ සියල්ල මහ බොරුවක් බව ලොවට නොබියව පවසන්න ඉදිරිපත් වූයේ එක් මිනිසෙකි. ඔහු ද ඇමෙරිකානුවෙකි. සඳ ගමන මහ බොරුවක් බවටත්, මුළු ලොවම මුලා කළ මුසාවක් බවටත් නොබියව හඬ නගන්න වූයේ බිල් කේසිංග් නමැත්තා ය. ඇත්තම කීවොත්, ඇමෙරිකා අභ්‍යවකාශ වැඩසටහනට ද බොහොම සුළු වශයෙන් බිල් කේසිංග් දායක වූ අයෙකි. ඒ, ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳට ගෙන යෑමට උපකාරී වුණු ‘සැටර්න් වී’ රොකට්ටුවේ ඇන්ජිම නිර්මාණය කළ සමාගමේ සේවකයකු ලෙසය.

ආම්ස්ට්‍රෝං සඳ මත පය තබා වසර 16 ක් ගත වෙද්දී, එනම්, 1976 දී බිල් කේසිංග් පත්‍රිකාවක් එළිදැක්වීය. ‘අපි සඳට ගියේ නැහැ’ එහි සිරස්තලය විය. ‘සඳ ගමන ඇමෙරිකන් ඩොලර් බිලියන 30 ක් වියදම් කරමින් කළ මහ බොරුවක්’ යැයි පවසමින්, ලියන ලද එම පත්‍රිකා​වේ, සඳ ගමන බොරුවක් සහ කුමන්ත්‍රණයක් බව පෙන්වා දෙන ලිපි රැසක් ඇතුළත් විය. එම පත්‍රිකාවට ඇතුළත් ලිපි සහ තොරතුරු තවමත් විශ්වාස කරන බොහෝ දෙනෙක් වෙති. බිල් කේසිංග් පත්‍රිකාවේ සඳහන් වන පරිදි, සඳට ගියා යැයි කළේ රංගනයකි. එය රහසේ චිත්‍රාගාරයක රඟ දක්වනු ලැබූවකි.

මහත් ආන්දෝලනයක් සහ කාගේත් සිතේ සැකයක් ඇති කිරීමට සමත් වූ බිල් කේසිංග් මියගියේ 2005 වසරේදීය. ඒ වනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. කෙසේ නමුත් සඳ ගමන බොරුවක් යැයි කේසිංග් ඉදිරිපත් කළ තර්ක, අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධියට පත්විය. ඒවා පහසුවෙන් බැහැර කළ නොහැකි තත්ත්වයට පත් වුණැයි පැවැසෙයි.

නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් දෙදෙනා සඳ මත සිටිද්දී ගත් ඡායාරූපවල තරු දකින්න නැත. කේසිංග් මේ ගැන තර්ක කරයි. චිත්‍රාගාරයක් තුළ සඳ ගමන රඟ දැක්වූයේ යැයි කේසිංග් තර්ක කිරීමට එක් හේතුවක් වන්නේ තරු දකින්න නොලැබීමය. තවත් කරුණක් නම්, වායු ගෝලයක් නොමැති සඳේ සිටවූ ඇමෙරිකන් ධජය ලෙලදීමය.

ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් දෙදෙනා සඳට ගොඩබෑවේ, ඊගල් චන්ද්‍ර යානයේ ආධාරයෙනි. ඊගල් යානයට අමතරව, තවත් සෙවනැලි කීපයක් ඡායරූප සහ වීඩියෝ දසුන්වල දකින්න ලැබේ. එම සෙවනැලි චිත්‍රාගාරයේ කොටස් යැයි කේසිංග් පවසා තිබේ. එපමණක් නොව ඊගල් චන්ද්‍ර යානය සඳ මත පතිත කරද්දී, සදේ එය පතිත කළ බවට කිසිදු සලකුණක් හෝ ආවාටයක් හෝ නිර්මාණය වී නැති බව ද කේසිංග් පැහැදිලි කරයි.

සඳ ගමන සිදුවන අවදියේ දී ජේම්ස් බොන්ඩ් චිත්‍රපට අතිශය ජනප්‍රිය විය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලින් එකක් වන්නේ ‘ඩයමන්ඩ්ස් ෆෝ එවර්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ ​ජේම්ස් බොන්ඩ්ගේ චරිතය රඟ දැක්වූයේ එම චරිතය පළමුනේම රඟ දැක්වූ අසහාය නළු ෂෝන් කොනරිය. ‘ඩයමන්ඩ්ස් ෆෝ එවර්’ චිත්‍රපටයේ ද සඳට යන දසුන් පෙළක් ඇත. සඳ ගමන චිත්‍රාගාරයක කළ රංගනයක් යැයි ඒත්තු ගැන්වීමට මෙම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය හේතුවක් විය.

මහත් ආන්දෝලනයක් ඇති කළ තර්ක විතර්ක බැහැර කිරීමට නාසා ආයතනය පමණක් නොව ප්‍රමුඛ පෙළේ විද්වත්හු රැසක් ඉදිරිපත් වී සිටිති. ඇපලෝ 11 යට​තේ පමණක් නොව, ඉන්පසු සිදු කළ ඇපලෝ මෙහෙයුම් යටතේ සඳට ගිය ගගනගාමීන් ද හිස් අතින් ආවේ නැත. ඔවුහු චන්ද්‍ර පාෂාණ සහ පස් සාම්පල ද රැගෙන ආහ. එපමණක් නොව, චන්ද්‍ර කක්ෂයට යැවූ නාසා චන්ද්‍ර ගවේෂණ යානය ඡායාරූප ලබා ගෙන ඇත. ඒ අනුව මිනිසා සැබැවින්ම සඳට ගිය බව නාසා පෙන්වා දෙයි.

ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳ මත සිටිද්දී ගත් ඡායාරූපවල තරු දකින්න නැත්තේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් නාසා ආයතනය මෙසේ පැහැදිලි කරයි. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳට ගොඩබැස ඇත්තේ සඳු​ගේ දිවා කාලයේදීය. නිවැරදිව කීවොත් සඳුගේ උදෑසනය. ගගනගාමීන් භාවිතා කර ඇත්තේ ෂටර් වේගය වැඩි කැමරා ය. එහෙයින්, කුඩා දීප්තියෙන් යුත් තරු ඡායාරූපවල සටහන් වී නැත.

ඊගල් චන්ද්‍ර යානය සඳ මතුපිටට පතිත කරද්දී ආවාටයක් හෝ සලකුණක් හෝ ඇති නොවුණේ, යානය ගොඩබෑවේ සඳුගේ පාෂාණ ස්ථරයක් මත වීම නිසාය. එපමණක් නොව, සඳුගේ ගුරුත්ව බලය අඩුය. ආවාටයක් නිර්මාණය නොවීමට එය ද හේතුවක් විය.

සෙවනැලි කීපයක් ලෙස ඊගල් චන්ද්‍ර යානයේ සෙවනැල්ල දකින්න ලැබුණේ සඳගේ මතුපිට එකම හැඩයකින් නොතිබීම නිසාත්, හිරු එළිය අඩු ප්‍රමාණයකින් ලැබීම නිසාත් යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ලුසිත ජයමාන්න
ද සන් අසුරිනි

RECOMMEND POSTS

RELATED POSTS