නිදි නැති රැයක කළ පැතුමකින් මතු වූ ජාතික ගීය



අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක් ද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරය එක ම නමකි. ඒ ආනන්ද සමරකෝන් ය. එහෙත් ඒ නම එසේ නොවන්නට තරම් හේතු කාරණා සිදු වූ බව එහි අතීත කථාව විමසා බලන විට පෙනේ.

ලෝකයේ රටවල් හැම එකකට ම පාහේ ජාතික ගී තිබේ. ඒ ජාතික ගී හැම එකකට ම රසවත් පසුබිම් කථාවක් තිබේ. එයින් ඉන් ඉන්දියාවේ ජාතික ගීයත් බංග්ලාදේශයේ ජාතික ගීයත් සුවිශේෂීය. එය ගයන්නේ එකම බසකිනි. එනම් බෙංගාලි බසෙනි. එරට අනෙක් භාෂා කතා කරන අය ඊට විරෝධය පාන්නේ නැත. ඒ දෙකෙහිම රචනය, තනුව හා මුල් ගායනය එකම අයකුගේය. ඒ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ගේය.

රටවල් දෙකකටම ජාතික ගී සම්පාදනය කරන්නට තරම් එතුමා භාග්‍යවන්ත විය. ඒ වාගේ ම මාලදිවයින් ජාතික ගීයත් අපට සුවිශේෂය. ඒ එහි තනුව ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවගේ නිසාය. මාලදිවයින් ජාතික ගීයේ වදන්පෙළ එරට සුප්‍රකට කවියකු හා දේශපාලනඥයකු වූ මුහමද් ජමීල් ඩිඩී ගේය.

මෙක්සිකෝ රාජ්‍යයේ ජාතික ගීය බිහි වුණේ පෙම්වතියක් පෙම්වතකුට පැනවූ සිරදඬුවමක් හේතුවෙනි. එරට ජාතික ගීයක් තැනීම වෙනුවෙන් තරගයක් පවත්වනු ලැබීය. ෆ්‍රැන්සිස්කෝ ගොන්සාලිස් බොකනෙග්‍රා නම් කවියාගේ දේශානුරාගී පෙම්වතිය ඒ සඳහා ඉදිරිපත් වන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළාය. ඔහු එය එක්වරම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඇය නැවත නැවතත් කළ ඉල්ලීම නොපිළිගත් නිසා ඇය අවසානයේදී කළේ මෙක්සිකෝවේ විවිධ රූප හා දර්ශන රැසක් සමඟ ඔහු කාමරයකට දමා සිරකර තැබීමය. පැය ගණනාවකට පසුව පේළි දහයක කවියක් දොරට යටින් ආවේය. ඔහු කාමරයෙන් එළියට ගත් ඇය එය තරගයට යැව්වාය. අවසානයේ දී එය ජාතික ගීය ලෙස තේරුණේය. ඇය ඔහුගේ බිරිඳ බවට පත් විය.

මැලේසියාවේ ජාතික ගීය එසැණ බිහි වූවකි. එරට සුල්තාන්වරයා එංගලන්ත මහ රැජනගේ ඇරයුමෙන් එංගලන්තයට ගිය අවස්ථාවේදී ඔහු පිළිගැනීම සඳහා වාදනය කිරීමට ඔවුන්ගේ ජාතික ගීයේ ස්වර මාලාව උත්සව සංවිධායකයෝ ඉල්ලා සිටියහ. එහෙත් එවැන්නක් ඒ වන විට තිබුණේ නැත. ඒ බව කියා තම සුල්තාන්වරයා අපහසුවට පත් කිරීමට අකමැති වූ සුල්තාන්වරයාගේ නියෝජිතයෙක්  ඒවේලේ තමන්ගේ මතකයට ආ සීෂෙල්ස් රටේ ජනප්‍රිය ගීතයක තාලය එංගලන්තයේ සංගීත කණ්ඩායමට මිමුණුවේය. ඒ සමගම එම වාදනය සිදු කරන විට නැඟී සිටින ලෙස සුල්තාන්වරයාත් දැනුවත් කරන ලදී. සියල්ල හොඳින් සිදු විය. ඒ වාදනයට වචන යොදා පසුව එය එරට ජාතික ගීය ලෙස පිළිගනු ලැබීය.

සයිප්‍රසයට ඔවුන්ගේම කියා ජාතික ගීයක් නැත. ඔවුන් ගයන්නේ යාබද රාජ්‍යයන් වන ග්‍රීසිය හා තුර්කිය යන රටවල ජාතික ගීවල එක්කොට තනා ගත් ගීයකි. අසල්වැසියන්ට ගරු කොයිතරම් හොඳ දෙයක් ද?
නෙදර්ලන්තයේ ජාතික ගීය අක්ෂර බන්ධනයකි. එය නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ ජාතික වීරයකු වූ විලියම් වැන් නාසේගේ නමෙහි අකුරු මුලට යොදා ගෙන සැකසූ පැදි පේළි පහළොවකිනි.
දකුණු අප්‍රිකාවේ ජාතික ගීය භාෂා පහක වදන්වලින් සැකසුණු එකකි. එය ගයන්නේ පිළිවෙළින් ක්ෂෝශා, සුලු, සෙතෝතෝ, ඇෆ්‍රිකානස් හා අවසාන පේළිය ඉංග්‍රීසි ආදී වශයෙනි.

ස්පාඤ්ඤයට දැන් ගයන්න ජාතික ගීයක් නැත. කලින් පද වැලක් තිබුණද ඒවා ඉවත් කර 1970 සිට ඉදිරිපත් කරන්නේ තනුව පමණය.

පැරණි චෙකොස්ලොවැකියාවට ජාතික ගීයක් තිබුණේය. එරට චෙක් ජනරජය හා ස්ලෝවැකියාව යනුවෙන් බෙදී වෙන්වී යද්දී ඒ ජාතික ගීයද දෙකට බෙදා ගනු ලැබීය. අද චෙක් ජනරජය එහි මුල් කොටස ගයන අතර ස්ලෝවැකියාව එහි අග කොටස ගායනා කරයි.

ලෝකයේ කෙටිම හා පැරණිම ජාතික ගීය ඇත්තේ ජපානයේ ය. ‘කිමිගායෝවා‘ කියා හැඳින්වෙන එයට ඇත්තේ පැදි පේළි හතරකි. එයට පදනම් වී ඇත්තේ 10 වැනි සියවසේ ලියන ලද කර්තෘ අඥාත වූ වකා පද්‍ය සම්ප්‍රදායයට අයත් පද්‍යයකි. සියවස් ගණනක් තිස්සේ ජාතික ගීය ලෙස සම්මතයෙන් පැවත ආ එය 1880 දී හයාෂි හිරිමෝරි විසින් සංගීතවත් කරන ලදී. එයට නිල වශයෙන් නීතිමය පිළිගැනීමක් ලැබුණේ 1999 දීය. අනෙක් කුඩාම ජාතික ගීය ඇත්තේ උගන්ඩාවටය. එය පිට පිට දෙවරක් ගායනය කිරීමෙන් ඒ අඩුව සපුරා ගැනීමට එරට සමත් වී තිබේ.

ලෝකයේ දිගම ජාතික ගීය ඇත්තේ ග්‍රීසියටය. එහි පැදි පේළි 158ක් තිබේ. රචනය දියෝනිසියෝස් සොලොමොස් විසිනි. තනුව නිකොලෝස් මන්ටිසාරෝස් ගෙනි. උත්සවවල දී ගයන්නේ ඉන් මුල් පැදි දෙක පමණය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ගීයේ පසුබිම් කතාවට අනුව එය ලියන ලද්දේ එක්සත් ජනපදයත්, බ්‍රිතාන්‍යයත් අතර පැවැති යුද්ධයට මැදි වූ ඇමරිකන් සිරුකරුවකු විසිනි. ඔහු ෆ්‍රැන්සිස් ස්කොට් කී නම් නීතිවේදියෙකි. යුද්ධයට විරුද්ධ මතධාරියකු වු නිසා ඔහු අතින් එවැන්නක් ලියැවෙතැයි එකල කිසිවෙක් නොසිතූහ. ඔහුට යුද්ධය පැවති අතරතුර තවත් අයකු සමඟ සතුරු පක්ෂය වූ බ්‍රිතාන්‍යය ට අයත් යුද නැවකට යන්නට සිදු වූයේ එහි සිටි යුද සිරකරුවන් මුදා ගැනීමටය. ඇමරිකාවේ මේරිලන්ඞ්හී බැල්ටිමෝර් බළකොටුවට  පහර දීමට පැමිණි බ්‍රිතාන්‍ය යුද නැව් සමූහයෙන් එකක් වූ ඒ නැවේ කපිතන් ඔවුන් දෙදෙනා නැවේ සිරකර තබා ගෙන රාත්‍රිය පුරාම බළකොටුවට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළේය. පසුවදා පහන් වී කවුළුවෙන් බලන විට බළකොටුවට බරපතල හානි සිදුවී තිබුණත් ඇමරිකන් ධජය බළකොටුව මුදුනේ පුරුදු පරිදි ලෙළ දෙමින් තිබෙනු දැක ඔහු තුළ වෙනදා නොතිබූ දේශානුරාගයක් පහළ විය. ඔහු කවියකු ද වූ නිසා  කවි සිතිවිල්ලක් ද පහළ විය. එය ඔහු පැදි පේළි කිහිපයකින් සටහන් කළේය. එහි ගායන රිද්මයට යොදා ගත්තේ ලන්ඩනයේ බීම සාදවලදී බහුලව ගැයෙන ගීයක තාලයයි. ඔහු ඒ ගීය නිර්මාණය කළේ 1814 සැප්තැම්බර් 14 වැනිදාය. ඉන් වසර 127කට පසු  1931දී ‘තරු දිලිහෙන ධජය‘ නමින් ඇමරිකාවේ ජාතික ගීය බවට පත් වූයේ ඒ කවි පන්තියයි. ඊට යොදා ඇමරිකන් සංගීතයක් නොවේ; රතාන්‍ය සංගීතයකි.

ජාතික ගීවල පසුබිම් කථා අතරින් වඩාත් අනුවේදනීය කථාව ඇත්තේ අපේ ය. ඒ කතාව ඇරඹෙන්නේ 1948 පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමත් සමඟය. ඒ වන විට අපට ජාතික ගීයක් තිබුණේ නැත. ඒ නිසා ජාතික ගීයක් තැනීමේ අවශ්‍යතාව මතු විය. එය මතු කරන ලද්දේ එවකට මුදල් ඇමතිව සිටි දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. ඒ නිසා ඊට අවශ්‍ය කටයුතු කිරීම ඇමති මණ්ඩලය ඔහුට ම බාර කළේ ය. ජනතාව අතරින් නිර්මාණ කැඳවා ඒවායින් වඩාත් සුදුස්ස තෝරා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරිණ. ලැබුණු නිර්මාණ අතරින් හොඳම නිර්මාණය ලෙස කමිටුව තෝරාගත්තේ සංගීතඥයකු මෙන්ම පාලි, සංස්කෘත හා සිංහල භාෂාත්‍රයෙහිම නිපුණයකු වූ ගම්පළ පි. බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමි පැබඳූ ගීතයයි. එහෙත් එතුමා තමන් පත් කළ කොමිටියේ සාමාජිකයකු වූ නිසා ඒ තේරීම සාධාරණ නැතැයි තීරණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ කමිටු නිර්දේශය ප්‍රතික්ෂේප කර ඒ ගැන යළි විමසීමක් කරන්නට යෝජනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා‘ ගීතය තෝරා ගැනුණි. ඇමති මණ්ඩලය එය ජාතික ගීය කළ යුතු බවට අනුමැතිය දුන්නේ 1951 නොවැම්බර් 22 වැනිදාය. 1952 පෙරබරවාරි නිදහස් දින දා මුල්වරට වාදනය කරන ලද්දේ ඒ ගීතයයි.
ඒ ගීතයේ පදමාලාව ආනන්ද සමරකෝන්ගේ නමින් පළවූ ගීත පොතක පසුකවරයෙහි පළකර තිබුණි. එතුමා ලියූ ඒ ගීත එකතුව පළ කිරීමට දී තිබුණේ මරදානේ පී.කේ. ඩබ්ලිව්. සිරිවර්ධන නම් ප්‍රකාශකයකුටය. වරක් පොතේ මුද්‍රණය ගැන සොයා බලන්නට එහි ගිය ආනන්ද සමරකෝන් ඒ පොතේ කවරයේ පසුපස පාළුව මකාලන්නට ඒ ගීතයත් දමන්නයි කියා ලියා දී තිබේ.

ජාතික ගීය ලෙස එය තෝරාගත් පසු රජයෙන් ඊට ප්‍රදානයක් පිරි නැමිණ. මෙය තමා මුද්‍රණය කළ පොතේ පසුපස කවරයෙන් උපුටා ගත් බව දැනගත් ප්‍රකාශකයා ඒ ගීතයේ හිමිකරු තමා බවත්, ප්‍රදානය තමාට ලැබිය යුතු යැයි කියමින් උසාවි ගියේ ය. ඒ ගීතය පසුව එක්කළ එකක් බවත් ගිවිසුම් ප්‍රකාරව මුල් ගීතවලට අයත් නැතය යන්න උසාවිය පිළිගත්තේ නැත. ඒ නිසා ප්‍රදානයෙන් අඩක් ප්‍රකාශකයාට ගෙවන ලෙස සමරකෝන්ට නියම විය. වාසනාවට ගීතයේ හිමිකාරත්වය ප්‍රකාශකයාට දුන්නේ නැත.

ජාතික ගීය බවට පත් වූ එම ගීතය තමා රචනා කළ හැටි ගැන එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් 1951 නොවැම්බර් 25 වැනිදා, ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතට ‘නිදි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව’ නමින් ලිපියක් ලියමින් මෙසේ සඳහන් කර ඇත.

“ඉන්දියාව පුරා සැරිසැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැඟීමෙන් පිස්සෙකු වීමි. ඉන්දියාවේ සිට ලංකාව බලා එද්දී ඒ හැඟීම් යළි යළිත් බුර බුරා නැගුණි.

ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර ටී.ඩී. ජයසූරිය මහතා එවැනි ගීතයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. එදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇති වූ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රි 10 පමණ සිට පහන් නිවා කළුවරේම ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප්‍රබන්ධ වූ සැටියි.”

එහෙත් මෙම ගීය ඔහු ලියූවේ ජාතික ගීයක් ලෙස ඉදිරිපත් කිරීමට නොවේ. 1940 දී ඔහු අලූතින් පත්වීමක් ලැබ ගිය ගාල්ලේ මහින්ද විදුහලේ ළමයින්ට දේශානුරාගී ගීතයක් පුහුණු කරවීමේ අදහසිනි. එදා ඒ ගීතය ළමයින්ට පුරුදු කළ මහින්ද විදුහල් ශාලාව ඉදිරිපිට ඒ බව සඳහන් කළ නාම පුවරුවක් ද අද ස්ථාපිත කර තිබේ.

මේ ගිය නිර්මාණය කරන්නට මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ආභාසය නිසැකව ම ආනන්ද සමරකෝන්ට ලැබෙන්නට ඇත. ඒ එතුමාගේ මෙරට සංචාරයෙන් පසු ඇති වූ උද්යෝගය අනුව බෙංගාලයේ පිහිටි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට යන්නට තීරණය කළ මෙරට තරුණයන් අතරින් ඔහුද එක් අයකු වූ නිසයි. 1936 දී ඔහු ශාන්ති නිකේතනයට ගියේ චිත්‍රකලාව හදාරන්නටයි. එහිදී නන්දලාල් බෝස්ගෙන් චිත්‍රකලාවත්, රවීන්ද්‍ර සංගීතයෙහි නිපුණයකු මෙන්ම, ලේඛකයකු, ගායකයකු, නළුවකු හා නැටුම් ශිල්පියකු වූ සාන්තදේව් ගෝෂ්ගෙන් සංගීතය හා නැටුම් ආදියත් ඉගෙන ගත්තේය. එහෙත් මුදල් අගහිඟකම නිසා ඔහුට ඒ පාඨමාලා සම්පූර්ණ කරගත හැකි වූයේ නැත. 1937 දී ඔහු ආපසු ලංකාවට ආවේ මුලින් තිබූ නම වූ එගොඩහගේ ජෝර්ජ් විල්ප්‍රඞ් අල්විස් සමරකෝන් යන්න අත හැර ‘ආනන්ද සමරකෝන්’ යන නමිනුයි.
ආනන්ද සමරකෝන්ගේ ජීවිතයේ හොඳම සමය එළඹුණේ මේ කාලයේයි. ඔහු ගායකයකු, සංගීතඥයකු හා ගීත රචකයකු වශයෙන් නමක් දිනා ගත්තේත් මේ කාලයේ දීය. 1939 දී එච්එම්වී තැටියකට මුල් ම ගීතය ගැයූ ඔහුගේ ගීවලට එදා ග්‍රැමෆෝන් යුගයේ ලොකු ඉල්ලුමක් ඇති විය.

එතෙක් පැවති මිශ්‍ර සිංහල කඨෝර වදනින් ලියවුණු ගීත වෙනුවට සරල සිංහල වදන් යොදා පිටිසර ගැමි පරිසරය චිත්‍රණය කරන රචනාවලින් හා හින්දුස්ථාන හා කර්ණාටක තනු අනුකරණය කළ තාල වෙනුවට සරල ස්වරමාලාවන්ගෙන් යුත් ඔහුගේ ගීත සිංහල ගීතය නව මඟකට යොමු කළේය.

ජාතික ගීය නිර්මාණ කළාටත් වැඩි සේවාවක් ආනන්ද සමරකෝන්ගෙන් ඉටුවූ බව අද ජීවත් වන බොහෝ දෙනෙක් නොදනිති. ඒ අද අප හැම රස විඳින ගීත කලාවට ඔහුගෙන් වූ සේවයයි. මේ නව ගේය පද කලාවේ පුරෝගාමියා වූයේ ඔහුය. එසේ ම ඔහු නව යුගගී සම්ප්‍රදායක් ද බිහි කළේය. ඔහු සමග මුල් යුගගී ගැයූ ලීලාවතී අකාලයේ මිය යාම නිසා ඔහු ඊළඟට සහාය ගායිකාව ලෙස යොදා ගත්තේ ස්වර්ණා ද සිල්වායි. ඇය පසුකලෙක ප්‍රසිද්ධ සංගීතඥයකු හා බටනලාවාදකයකු වූ ඩන්ස්ටන් ද සිල්වාගේ සොහොයුරියකි. සමරකෝන් මුලින්ම ‘නමෝ නමෝ මාතා’ ගීතය ගායනා කළේ ද ඇය සමගය. ‘සිරි සරු සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ’ හා ‘පොසොන් පොහෝ දින පුන් සඳ පායා‘ ඇය සමඟ ඔහු ගැයූ තවත් ගීත දෙකකි.

සිය එකම පුතු පස් හැවිරිදි වියේ දී මිය ගියෙන් ඇති වූ ශෝකය දරා ගත නොහැකි වූ නිසා 1948 දී ඉන්දියාවට ගිය ඔහු හද සනසා ගන්නට චිත්‍ර ඇඳීමෙන් උත්සහ කළේය. දකුණු ආසියාවේ රටවල චිත්‍ර ප්‍රදර්ශන පැවැත් විය.
ඔහු ආපසු ලංකාවට ආවේ 1951 දීය. ගීත රචනයෙන් හා ගායනයෙන් ජීවත් වූ ඔහුට ගුවන් විදුලියේ පාසල් සේවයෙන් වැඩසටහනක් කිරීමටද පැවරුණි. ඒ කාලයේ චිත්‍රපට ගීත ලියන්නටත්, ගයන්නටත් අවස්ථාව සැලසුණේ ය.

1955 තිරයට ආ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ලතා මංගේෂ්කාර් ගයන ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී’ ගීතයේ රචනය හා තනුව ආනන්ද සමරකෝන්ගේය. ඉතා දිග ගීයක් එහි වදන් ඉන්දියාවේ දී ලතා මංගේෂ්කාර්ට පුහුණු කළේ ද ඔහුයි.

ඔහු 1957 දී ‘අමරණීය ලංකා’ නමින් ගීත හා නැටුම් ඇතුළත් ප්‍රසංගයක් ද නිර්මාණය කළේය. ‘පුදමු මේ කුසුම්’, ‘පුංචි සුදා සුදු කැටියා’ වැනි ගීත නැටුම් සමග ඉදිරිපත් කරමින් අද අප අතර බොහෝ ජනප්‍රිය ප්‍රාසාංගික අංගයට ආරම්භය දුන්නේ ඒ ප්‍රසංගයෙනි. එහෙත් එය අද මෙන් මුදල් ගරන ප්‍රාසාංගික අංගයක් නොවීය.
ස්ථිර රැකියාවක් නොවූ නිසා ඒ කාලයේදී ඔහුගේ ආර්ථිකය නරක අතට හැරුණේ ය. ඔහුට ජීවත්වීමට ආධාරයක් හැටියට එකල ‘ජනතා‘ පත්‍රයේ කාටූන් චිත්‍ර තීරුවක් දිනපතා අඳින්නට එහි ප්‍රධාන කර්තෘ පදවිය හෙබ වූ ඩෙන්සිල් පීරිස් විසින් ඉඩකඩ සලසා දෙනු ලැබීය. ඔහු ජීවිතයේ අවසාන වසර කීපය ගත කළේ කාටූන් චිත්‍ර ශිල්පියකු වශයෙනුයි.

මේ කාලයේදී ඔහුගේ සිත් කම්පා කරවන තවත් දෙයක් සිදු විය. 1960 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් මේ රටේ දියුණුවට බලපාන ප්‍රධාන බාධකයක් ලෙස ජාතික ගීයේ මුලින් යොදා ඇති වදන්වල ඇති ගණ දෝෂය හඳුනා ගනු ලැබීය. ‘නමෝ නමෝ මාතා’ ගීයේ ආරම්භක වදන් අසුබ ගණයක් වූ ජගණයෙන් යොදා තිබීමත්, එසේ ම එය අපායක්ෂරයකින් ආරම්භ වීමත්, නිසා ඒ දෝෂවල බලපෑමෙන් රටට කරදර බාධක ඇති වන බවත්, ජනතාවගේ උද්යෝගය අඩු වී ජනතාව තුළ නිද්‍රාශීලී ස්වභාවයක් ඇති වන බවත් කියා එය රටට අගුණ යයි ගෙනා තර්කයක් නිසා ඔහුටත් නොකියා එවකට පැවති රජය විසින් ඒ ගීතයෙහි ආරම්භභය ‘ශ්‍රී ලංකා මාතා’ යනුවෙන් වෙනස් කරනු ලැබීය. ඒ සඳහා දායකත්වය සැපයුවේ එවකට රජයේ සිටි ප්‍රබල ඇමතිවරයකු වූ ටී.බී. ඉලංගරත්න ය. එහෙත් එදා සුබ ගණයක් වූ මගණයෙන් ආරම්භ වන ලෙස ජාතික ගීය වෙනස් කළා කියා කිසිදු විශේෂ සෙතක් නොවූ අපි දැන් දනිමු. එහෙත් මේ සිද්ධිය ආනන්ද සමරකෝන්ගේ බලවත් සිත් තැවුලට හේතු විය.

අපේ ජාතික ගීය ආනන්ද සමරකෝන් නම අමරණීය කරන්නට සමත් වුණත් ඔහුගේ අකල් මරණය වළක්වන්නට එය සමත් වූයේ නැත. ඒ නිසා ලද සිත් තැවුලෙන් සිටි ඔහු 1962 අප්‍රේල් 5 වැනිදා නිදි පෙති පමණ ඉක්මවා ගැනීමෙන් මරණයට පත් විය. අපේ ජාතික ගීයේ පසුබිම් කඳුළු කතාව එතැනින් අවසන් විය.
එදා සිට අද වනතෙක් විවිධ පණ්ඩිතයන් ජාතික ගීයේ විවිධ දොස් දැක්කත් අපට සුදුසු වෙනත් ආදේශකයක් සොයා ගැනීමට ඒ කිසිවකුත් තවමත් සමත් වී නැත. ඒ නිසා නිදහස් ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ලෙස ඔහුගේ නම තවමත් අමරණීයව පවතියි.
 
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
පර්සි ජයමාන්න

RECOMMEND POSTS

RELATED POSTS