නාසා හඳට යන්න අදිමදි කරනවා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසකට අනුව, තව වසර පහකින් යළිත් වරක් මිනිසුන් සඳට යැවීමට තමන් සූදානම් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ප්‍රතිඥාවක් ලබා දුන්නේ පසුගිය ජූලි 20 වැනිදාය.

ඒ, සඳ ගමනේ 50 වැනි සැමරුම  වෙනුවෙන් ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදීය. එම චන්ද්‍ර මෙහෙයුම ‘ආටිමිස්’ යනුවෙන් නම් කරන බවත්, ගගනගාමියකු පමණක් නොව, මෙවර ගගනගාමිනියක ද සඳට යැවීමට පියවර ගන්නවා යැයි නාසා ප්‍රධානී ජිම් බ්‍රයිම්ස්ටයින් පැවැසුවේ මහත් ආඩම්බරයෙනි.

කෙසේ නමුත් දැන්, ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ, සැලසුම් කළ පරිදි, 2024 වසරේ දී, සඳ තරණය සිදු නොවන බවය. නාසා ආයතනය යළි සඳට යෑම අදිමදි කරන්නේ ඇයි? මීට අවුරුදු 50 කට පෙර තාක්ෂණයේ මහා දියුණුවක් නොතිබුණු යුගයක නාසා ආයතනය සඳට ගගනගාමීන් යැවුවා නම්, අදතාක්ෂණයෙන් පරතෙරට ගොස් ඇති යුගයක, නාසා ආයතනයට ගගනගාමීන් සඳට යැවීමට තිබෙන බාධාව කුමක්ද? 2024 සඳ ගමන ප්‍රමාද ඇයි? මීට අවුරුදු 50 කට පෙර, 1969 ජූලි 20 වැනිදා නාසා ආයතනය ඇත්තටම ගනගාමීන් සඳට යැවුවාද? නැතිනම් ඇතැමුන් පෙන්වා දෙන අන්දමට එය හොලිවුඞ් චිත්‍රාගාරයක කළ බොරු රඟපෑමක්ද? රැවටිල්ලක්ද?

සැලැසුම් කළ පරිදි 2024 දී යළි සඳට යෑම කළ නොහැකි බවත් එම සඳ ගමන තව වසර කීපයක් ප්‍රමාද වනු ඇති බවත් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) විශේෂ කමිටුවක් හමුවේ පෙන්වා දුන්නේ නාසා ගගන මෙහෙයුම් බාර කීනත් බොවර්සොක් ය. අද වනවිට ඇමෙරිකන් නාසා ආයතනයේ ප්‍රධානියකු ලෙස දැන් කටයුතු කළත්, බොවර්සොක් නාසා ෂටල මෙහෙයුම් බාර නියමුවකු මෙන්ම අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම් බාර ප්‍රධාන නිලධාරියකු ලෙසත් කටයුතු කර තිබේ. එහෙයින් අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඔහුට දැනුමක් ඇත.

‘මීට වසර පනහකට පෙර, තාක්ෂණයේ මහා දියුණුවක් නැති යුගයක ඇපලෝ 11 මෙහෙයුම යටතේ නීල් ආම්ස්ට්‍රෝන්, එඞ්වින් ඕල්ඩී්‍රන් සහ මයිකල් කොලින්ස් (මයිකල් කොලින්ස් සඳ මත පය තැබුවේ නැත. මවු යානය හසුරුවමින් සඳුගේ කක්ෂයට වී සිටියේය.) සඳ බලා ගොස් පැය කීපයක් සඳ මතුපිට ගත කර යළි නිරුපද්‍රිතව පොළොවට පැමිණියා. වසර 50 කට පෙර එවැනි මහා වික්‍රමයක් කළා නම්, තාක්ෂණයෙන් දියුණුව ලබා තිබියදී දැන් අපට එම වික්‍රමය යළි කරන්න බැරි ඇයි? විශේෂ කමිටුව, බොවර්සොක්ගෙන් විමසීය.

‘මුලින්ම කියන්න ඕනෑ අපට මූල්‍යමය ගැටලු තිබෙනවා. වසර 50 කට වඩා අද පවතින තත්ත්වය වෙනස්. ඇමෙරිකා රජයට අභ්‍යවකාශ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් යොදවන්න බැහැ. නාසා අප දැන් පෞද්ගලික අංශයේ සහාය ලබා ගන්නවා අභ්‍යවකාශ කටයුතුවලට. එය අපට ශක්තියක්. ගගනගාමීන් උඩු ගුවනට ගෙනියන්න, සඳට ගෙනියන්න, සඳට ගොඩබස්සන්න සහ ආපසු පෘථිවිට නිරුපද්‍රිතව ගන්වා ගන්න යානා අවශ්‍යයි. ඒවා තවමත් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ දේවල් හදිස්සි කරන්න බැහැ. නොයෙක් අලුත් අදහස් ඉදිරිපත් වෙනවා. ඒවාට කන් දෙන්නත් ඕනෑ. යැයි බොවර්සොක් පැහැදිලි කරයි.

ඇපලෝ 11 මෙහෙයුමට පසු තවත් සඳට යෑමේ මෙහෙයුම් පහක් සිදුවිය. ඒ, ඇපලෝ 12, 14, 15, 16 සහ 17 ආදී වශයෙනි. ඉන්පසු මිනිසුන් සඳට ගියේ නැත. නාසා සඳ තරණ මෙහෙයුම් නම් කළේ ‘ඇපලෝ’ යනුවෙනි. 2024 වසරේ සිදු කරන බව කී සඳ තරණ මෙහෙයුම නම් කර ඇත්තේ ‘ආටිමිස්’ යනුවෙනි. ග්‍රීක දේව පුරාණයට අනුව, ‘ඇපලෝ’ හිරුට අධිපති දෙවියාය. ‘ඇපලෝ දෙවියන්ට නිවුන් සොහොයුරියකි. ඇය ‘ආටිමිස්’ ය. ආටිමිස් දඬයමට අධිපති දෙවඟනය.

2024 දී ගගනගාමීන් සහ ගගනගාමිනියක් සඳට ගෙන යෑමට අති ප්‍රබල රොකට්ටුවක් නාසා ආයතනය අත්හදා බලමින් තිබෙන බව ද පැවැසෙයි. මේ රොකට්ටුව ‘ස්පේස් ලොන්ච් සිස්ටම් යනුවෙන් හැඳින්වෙයි. කෙටියෙන් ‘එස්.එල්.එස්. රොකට්ටුව’ යකුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි. මේ රොකට්ටුවට රැගෙන යන යානය නම් කර ඇත්තේ ‘ලූනා ගේට්වේ’ (චන්ද්‍ර දොරටුව) යනුවෙනි. ගගනගාමීන් සඳුගේ කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ මෙම යානයෙනි.

මෙම යානය මවු යානයක් ලෙස ක්‍රියාත්මක වෙයි. ගගනගාමීන් සඳ මතුපිටට ගෙනයෑමත්, සඳ මතුපිට සිට ආපසු මෙම මවු යානයට ගෙන යෑමත් සිදු කරනු ලබන්නේ ‘ඔරියන් නමැති ගගන කැප්සියුලයෙනි. ඒ අනුව, ගගනගාමියකු සහ ගගනගාමියකු සඳ මත පය තැබීම සිදුවන්නේ අභ්‍යවකාශ තරණයේ පමණක් නොව, සඳ තරණයේ ද නව පරිච්ඡේදයක් අරඹමිනි. මේ ගගනගාමී යුවල පය තබනු ඇත්තේ සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකටය. මිදුණු ජලය ඇතැයි පැවැසෙන්නේ සඳුගේ මෙම කලාපයේය. පසුගිය දා ඉන්දියාව ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 2’ ගවේෂණ මෙහෙයුම යටතේ ‘වික්‍රම්’ නමැති යානය යැවුවේ ද සඳේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණයටය. ‘චන්ද්‍රයාන් 2’ අවසන් අදියරේදී අසාර්ථක විය. ‘වික්‍රම්’‘ රොබෝ ගවේෂණ යානය සඳට කඩා වැටුණි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS