දිනෙන් දින ඔඩුදුවන කාශ්මීර අර්බුදය



ඉන්දීය රජය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට පාලනය යටතේ තිබෙන කාශ්මීර ප්‍රදේශයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට ඉකුත් දා පියවර ගත්තේය.

මෙම තත්ත්වයත් සමඟ මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ද හටගෙන ඇත. 

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් කාශ්මීරයට එම විශේෂ තත්ත්වය ලබා දී තිබිණි. ඒ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීර ප්‍රාන්තයට විශේෂිත ස්වයං පාලනයක් ලබා දී තිබිණි.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ කැරැලි හා ගැටුම් පවතී.

අසල්වැසියන් මෙන්ම න්‍යෂ්ටික බලවත්හු වන ඉන්දියාව සහ පාකිස්තානය 1947 වසරේ සිට කාශ්මීරය වෙනුවෙන් දෙවරක් යුද වැදුණු අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති කරගත්හ.

කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ තත්ත්වය අවලංගු කිරීමට ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී යැයි ද ඊට එරෙහිව හැකි සෑම පියවරක්ම ගන්නේ යැයි ද පාකිස්තානය පවසයි.

“ඉන්දියාව භයානයක සෙල්ලමක් කරනවා. එයින් කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට දරුණු බලපෑමක් කරනවා” යැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂී පැවැසීය.

1947 වසරේදී ඉන්දීය උප මහද්වීපය බෙදා වෙන් කෙරුණු අතර මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ පාකිස්තානයට හිමිවිය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශ හිමි වූවා සේ කාශ්මීරය ද පාකිස්තානයට හිමිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.

එහෙත් කුමර රාජ්‍යයේ පාලකයාට ජම්මු සහ කාශ්මීරය ස්වාධීන පාලනයක් සහිත ප්‍රදේශයක් බවට පත් කිරීමට අවශ්‍ය විය. පාකිස්තාන ගෝත්‍රිකයන්ගෙන් ජම්මු සහ කාශ්මීරය බේරාගැනීමට අවශ්‍ය නිසා ඔහු අවසානයේදී ඉන්දියාව හා එක්විය.
අවසානයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාශ්මීරය බෙදා වෙන් කෙරුණි.
කාශ්මීරය එතැන් සිට ලොව වඩාත්ම හමුදාකරණය වූ කලාපයකක් ලෙස පවතී. එමෙන්ම කාශ්මීරය හේතුවෙන් සහ කාශ්මීරය මුල් කරගනිමින් දශක හයක් මුළුල්ලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදිකම් පවතී.

1949 වසරේදී ජම්මු සහ කාශ්මීරයට ස්වංපාලන අයිතිය ලබාදෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්තියක් ඇතුළත් කරන ලදි. එය 370 වගන්තිය ලෙස හඳුන්වයි. එම වගන්තියට අනුව ජම්මු හා කාශ්මීරයට වෙනමම ව්‍යවස්ථාවක් පවත්වා ගත හැකි අතර වෙනම කොඩියක් ද භාවිත කළ හැකිය. විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදනය හැර අනෙකුත් කටයුතුවලදීද ස්වාධීනව කටයුතු කිරීමට අදාළ වගන්තියෙන් ජම්මු සහ කාශ්මීරයට ඉඩ සැලැසී තිබේ. ඉන්දීය ආණ්ඩුව ඉකුත් දා (5) අවලංගු කරන ලද්දේ ඉහත කී 370 වගන්තිය යි.

කාශ්මීරය යනු ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තයයි. එය ඉන්දියාවේ ප්‍රාන්ත තුළ දක්නට ලැබෙන විශේෂ ජනවිකාශ හා ජනගහන ලක්ෂණයකි.

හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ගත් මෙම පියවර හේතුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළ යම් නොසන්සුන් තත්ත්වයක් ද ඇතිවිය. ආණ්ඩුවේ තීරණය නිසා ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය තුළ ද බෙදීමක් ඇති විය. කොංග්‍රසයේ ඇතැම් පිරිස් එම තීරණයට පක්ෂ වූ තවත් පිරිසක් ඊට විරුද්ධ වූහ.

ආණ්ඩුව ගත් මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එල්ල වූ ප්‍රහාරයක් යැයි ඇතැම් නීති විශාරදයෝ ද ප්‍රකාශ කළහ.  
ඉන්දීය ආණ්ඩුව ගත් මෙම තීරණය හේතුවෙන් ඉන්දියානු පාලනය යටතේ තිබෙන ජනවිකාශ හා ජනගහන සංයුතිය වෙනස් වනු ඇතැයි ද ඇතැම් විශ්ලේෂකයෝ සහ විචාරකයෝ පෙන්වාදෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ රටේ අනෙක් ප්‍රාන්තවල පිරිස්වලට ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයේ ස්ථීර පදිංචියට යා හැකි අතර එහි දේපළ මිලදී ගැනීමට ද හැකියාව ලැබේ.

“ඔවුන්ට ඕනේ අපේ ඉඩම් අල්ලාගන්න. මුස්ලිම් බහුතරයක් ජීවත් වෙන අපේ ප්‍රාන්තය අල්ලාගෙන මුස්ලිම් ජනතාව සුළුතරය බවට පත්කර අප මත බලය මුදා හරින්න ඔවුන් උත්සාහ කරනවා” යැයි කාශ්මීරයේ හිටපු මහ ඇමැති මෙහ්බූබා මුෆ්ති පැවැසුවාය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ජනතාවට දුන් ත්‍යාගයක් නොව එය ඉන්දීය පාර්ලිමේන්තුව මගින් ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ දුන් ඇපවීමක් යැයි ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේ දුන් ආරක්ෂාවක් යැයි ද ඇය කීවාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ඉවත් කරන බවට භාරතීය ජනතා පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී පොරොන්දුවක් දුන්නේය. එම විශේෂ බලතල ඉවත් කර කාශ්මීරය ඉන්දියාව හා සම්බන්ධ කරන බවට භාරතීය ජනතා පක්ෂය පොරොන්දු දුන්නේය. මැයි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයක් ලැබීය.
ආණ්ඩුව ගත් පියවර නිසා ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා සහ ආදායම් ලැබෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයකු සහ හිටපු මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි සඳහන් කළේය.

“වෙනම තත්ත්වයක් වෙනම ප්‍රාන්තයක් බෙදුම්වාදයට මුල පුරනවා. ඓතිහාසික වරදක් අද නිවැරැදි කළා” යැයි ද ඔහු සඳහන් කළේය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අවලංගු කරන ලද අතර එය නීතියක් බවට පත් කිරිමේ ලියවිල්ලට එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉකුත් දා අත්සන් තැබීය. ප්‍රාන්තය කොටස් දෙකකට බෙදා වෙන් කිරීම සඳහා ද මේ වනවිට නව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය වෙනස් කිරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩුවේ අනුමැතිය ද අවශ්‍ය වන අතර එහෙත් පසුගිය ජූනි මාසයේ සිට ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය පවතින්නේ ආණ්ඩුකාරවරයකුගේ පාලනය යටතේය.

ප්‍රාන්තයේ පැවැතියේ සන්ධාන ආණ්ඩුවකි. ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (පී.ඩී.පී) සමඟ එක්ව භාරතීය ජනතා පක්ෂය සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීය. පසුගිය ජූනි මාසයේදී භාරතීය ජනතා පක්ෂය එම සන්ධානයෙන් ඉවත් විය. එතැන් පටන් ප්‍රාන්තයේ පාලනය පවතින්නේ ආණ්ඩුකාරවරයකු යටතේය.

මේ අනුව ප්‍රාන්තය පාලනය වන්නේ ආණ්ඩුකාරවයකු හරහා වන අතර ආණ්ඩුකාරවරයා සිටින්නේ දිල්ලියේ. ඔහු අදාළ නියෝග, පනත් කෙටුම්පත්වලට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව 370 වගන්තිය අවලංගු කිරීමට දින කිහිපයකට පෙර ජම්මු හා කාශ්මීරයේ ආරක්ෂාව දැඩි කළ අතර යම් සිදුවීමක් වීමේ ලක්ෂණ ඉන් පෙන්නුම් කෙරුණි. මේ වනවිට දින කිහිපයක් මුළුල්ලේ ජම්මු සහ කාශ්මීරය ඇඳිරි නීතිය පනවා තිබෙන අතර දුරකතන ජාල, අන්තර්ජාල සහ සන්නිවේදන ජාල සියල්ල ද නවතා දමා ඇත.

370 වගන්තියට අමතරව ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ ජනතාවට විශේෂ වරප්‍රසාද ලබා දී තිබූ 35ඒ වගන්තිය ද අවලංගු කරනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි. එහෙත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව 370 වගන්තිය සම්පූර්ණයෙන්ම අවලංගු කළේය. දශක හතක් මුළුල්ලේ ඉන්දියාව සහ කාශ්මීරය අතර පැවැති සංකීර්ණ සබඳතාවයට පදනම් වූයේ මෙම වගන්තියයි. කාශ්මීරයේ බොහෝ පිරිසකට ඉන්දියාවේ කොටසක් බව කීමට සහ ඉන්දියාව හා සම්බන්ධ වීමට තිබූ එකම සාධාරණ හේතුව වූයේ ඉහත කී 370 වගන්තියයි. කෙසේ නමුත් කාශ්මීරයේ බොහෝ දෙනා ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් සිටින්නේ නොසතුටෙනි.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරය මිලියන 12කට නිවහන වන අතර එම ප්‍රාන්තය මේ වනවිට පවතින්නේ හුදෙකලා තත්ත්වයකය.

ඇඳිරි නීතිය පනවා ඇති අතර සිවුදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක් රැස්වීම යනාදිය වළක්වාලමින් නියෝග ක්‍රියාත්මක කර ඇත. 

ඉන්දීය හමුදාවේ දහස් ගණනක් ජම්මු සහ කාශ්මීරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති අතර ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් පිටවෙන්නැයි සංචාරයකයන්ට උපදෙස් දී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. ඇසුරිනි / ඡායාරූප
ඒ.එෆ්.පී. සහ රොයිටර්ස්

RECOMMEND POSTS

RELATED POSTS