තහනම් ග්‍රහලොවක් හමුවෙලා



අප සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් එසේත් නැතිනම් 8 වැනි ග්‍රහයා වන්නේ නෙප්චූන්ය. 9 වැනි ස්ථානයේ ඇති ප්ලූටෝ කුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන බැවින්, ග්‍රහලෝක අතරට වැටෙන්නේ නැත. විෂ්කම්භය අතින් අප සෞරග්‍රහ මණ්ඩලයේ සිවුවැනි විශාලතම ග්‍රහයා වන්නේ නෙප්චූන්ය.

තාරකා විද්‍යාවේ ‘නෙප්චූන් ඩෙසර්ට්’ යනුවෙන් හැඳින්වෙන්නේ, තරුවක් කිට්ටුවෙන් ඇති කලාපයකි. මේ කලාපයේ විකිරණශීලීත්වය බෙහෙවින් වැඩිය. ඒ, තරුවක් ආසන්නයේ පිහිටි මෙම කලාපයේ නෙප්චූන් ග්‍රහයාට සමාන නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමාණයෙන් යුත් ග්‍රහයන් පිහිටන්නේ නැත. හේතුව, අධික විකිරණශීලීත්වය නිසාය. පිහිටන්නේ පාෂාණ කැබලි සහ පාෂාණ කොටස් පමණි. ‘නෙප්චූන් ඩෙසර්ට්’ යන නමින් මෙම කලාපය හැඳින්වෙන්නේ ඒ නිසාය.

‘නෙප්චූන් ඩෙසර්ට්’ යනුවෙන් හැඳින්වෙන කලාපයක පිහිටි ග්‍රහයකු ගැන අපූරු තොරතුරු රැසක් මේ වනවිට ආනාවරණ වී ඇත. අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඉතා ඈතින් පිහිටා ඇති තාරකා මණ්ඩලයක ‘නෙප්චූන් ඩෙසර්ට්’ කලාපයේ ‘තහනම් ග්‍රහලොවක්’ ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තාරකා භෞතික විද්‍යාවට අනුව, මෙම ග්‍රහලෝකය පිහිටා ඇති ස්ථානයේ, ග්‍රහලෝකයක් පිහිටිය නොහැකිය. අධික විකිරණශීලීත්වය නිසා මෙම ග්‍රහලොවට මනුෂ්‍යයකු ගියොත් අසුරු සැනින් වාෂ්ප වී විනාශ වනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘තහනම් ග්‍රහලොව’ යන නමින් මෙම නව සොයා ගැනීම නම් කර ඇත්තේ එහෙයිනි.

‘මේක නම් වෙන්න බැරි දෙයක්. මේ ග්‍රහලෝකය පිහිටා තිබෙන තැන, ග්‍රහලෝකයක් පිහිටා තියෙන්න විදියක් නැහැ. ඒත් ග්‍රහලෝකයක් තිබෙනවා. ඒක බොහොම ශක්තිමත් ග්‍රහයෙක් වෙන්න ඕනෑ’ මෙසේ පැහැදිලි කරන්නේ වෝවික් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ රිචඩ් වෙස්ට් ය. මෙවැනි අමුතු විදියේ ග්‍රහයෙක් සොයා ගැනීමට හැකිවුණු පළමු අවස්ථාව මෙය යැයි ද විද්‍යාඥ රිචඩ් වෙස්ට් වැඩිදුරටත් කියා සිටී.

බාහිර් ග්‍රහයන් ලෙස හැඳින්වෙන්න්, අපේ සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් වෙනත් තාරකා මණ්ඩලයක තරුවක් වටා ගමන් කරන ග්‍රහයන්ටය. එය හරියට පෘථිවිය හිරු වටා ගමන් කරනවා වැනිය. හිරු ද තරුවකි. මේවා තාරකා දුරේක්ෂවලින් දැක ගැනීමට නොහැකිය. ඒ, මෙම තාරකා මණ්ඩල වල ඇති තරුවේ දීප්තියෙන් මෙම ග්‍රහයන් සැඟ​වී යන බැවිනි. නාසා කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයට යවා ස්ථානගත කර තිබේ. ඒ, පෘථිවිය හා සමාන ප්‍රමාණයෙන් යුත් ග්‍රහයන් විශ්වයේ ඇති දැයි සෙවීමටය. ඒ අනුව, මේ වනවිට බාහිර් ග්‍රහයන් 4,000 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පෘථිවි විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. ඉදිරියේ දී තව තවත් ග්‍රහයන් හමුවනු ඇත. ඇතැම් ග්‍රහයන් පෘථිවියට ​බෙහෙවින් සමාන බවත් ඒවායේ ජීවීන් සිටිය හැකි බවත් අනුමාන කෙරේ. ඒ බව තහවුරු කිරීමට හැකියාවක් ලැබී නැත.

කෙප්ලර් පමණක් නොව, අභ්‍යවකාශයේ රඳවා ඇති ‘හබල්’ සහ ‘ස්පිලිට්සර්’ වැනි අභ්‍යවකාශ දුරේක්ෂවලින් ද ග්‍රහයන් සොයා ගැනෙයි. එය සිදුවන්නේ මෙම දුරේක්ෂවලට සවි කර ඇති අති ප්‍රබල මෙන්ම අති සන්වේදී දුරේක්ෂවල ආධාරයෙනි. ඉතා කුඩා ආලෝක චලනයක් වුවද හසුකර ගැනීමේ හැකියාව මෙම කැමරාවටල ඇති බව පැවැසෙයි.මෙම කැමරා මෙගා පික්සල් 95 ට වඩා වැඩි යැයි ද පැවැසෙයි. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසුබිම් කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකියාව ලැබේ. අලුත් ග්‍රහයින් සොයා ගැනීම සිදුවන්නේ මෙලෙසය.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS