තමිල්නාඩු ඡන්දයේ අලකලංචි



ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස ඉන්දීය මහ මැතිවරණය සැලකෙයි. අදියර හතක් යටතේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය පසුගිය අප්‍රේල් 11 වැනිදා ආරම්භ විය.

ලෝක් සභා මැතිවරණයේ දෙවැනි අදියර පසුගිය 18 වැනිදා ආරම්භ වූ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණ කටයුතු ද දෙවැනි අදියර යටතේ පැවැත්විණි. තමිල්නාඩුවේ වෙල්ලූර් ආසනය වෙනුවෙන් ද ඡන්දය පැවැත්වීමට නියමිත වුවත්, අවසන් මොහොතේ එය අවලංගු කිරීමට තමිල්නාඩු මැතිවරණ කොමිසම තීරණය කළේය. ඒ, ඩී.එම්.කේ හෙවත් ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ අපේක්ෂකයකුට අයත් ගොඩනැගිල්ලක තිබී ඉන්දීය රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් සොයා ගැනීම මුල්කොට ගනිමිනි.

තමිල්නාඩු ආදායම් බදු නිලධාරීන් කළ වැටලීමකින් සඟවා තිබූ මෙම මුදල් සොයා ගැනීම සිදුවූයේ සිමෙන්ති ගබඩාවකිනි. මේ සිමෙන්ති ගබඩාව ඩී.එම්.කේ. පක්ෂයේ භාණ්ඩාගාරික දුරායි මුරුංගන්ට අයත් එකකි. වෙල්ලූර් ආසනය වෙනුවෙන් තරග කිරීමට නියමිත මුරුංගන්ගේ පුත්‍රයා වන කතීර් ආනන්ද්ය. ආදායම් බදු නිලධාරීන් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ හමුවුණු එම මුදල් ඩී.එම්.කේ පක්ෂ භාණ්ඩාගාරික දුරායි මුරුංගන්ට පමණක් නොව, ඩී.එම්.කේ නායක බූන්ජොලායි ශ්‍රීනිවාසන් අයත් බවය. පක්ෂ නායක ශ්‍රීනිවාසන්ගේ සමීපතමයා ලෙස සැලකෙන්නේ මුරුංගන් ය.

ආදායම් බදු නිලධාරීන් මේ බව තමිල්නාඩු මැතිවරණ කොමිසමට දැන්වූ අතර, තමිල්නාඩු මැතිවරණ කොමිසම ඒ බව ඉන්දීය මැතිවරණ කොමිසමටත්, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ටත් දන්වා යවා ඇත. ආදායම් බදු නිලධාරීන්ගේ පරීක්ෂණ අවසන් වනතුරු මැතිවරණ කටයුතු නොපවත්වන්නැයි ද තමිල්නාඩු මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, ජනාධිපති රාම්නාත් කෝවින්ද්, ඉන්දීය මැතිවරණ කොමිසමට පවසා ඇත්තේ වෙල්ලූර් ආසනය වෙනුවෙන් මැතිවරණය නොපවත්වන ලෙසය.

තමිල්නාඩු මැතිවරණය පැවැත්වෙන්නේ, ප්‍රධාන පක්ෂ දෙක වන ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් සහ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් අතරේය. තමිල්නාඩු මැතිවරණ කොමිසම මැදිහත් වී, ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් සහ වංචා දූෂණ සම්බන්ධයෙන්, අවසන් මොහොතේ මැතිවරණ කටයුතු අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවෙයි.

2016 වසරේ දී, තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී තංජුවාර් සහ අරවකුරීචි ඡන්ද කොට්ඨාශවල ඡන්දය පැවැත්වූයේ නැත. ඡන්ද කටයුතු අවසන් මොහොතේ අවලංගු කෙරුණේ, ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් සහ අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂය ඡන්ද දායකයන්ට අල්ලස් ලෙස මුදල්, රන් භාණ්ඩ ආදී වටිනා බඩු බාහිරාදිය බෙදා දීම නිසාය. 2017 වසරේ ආර්කේ නාගර් ආසනය වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණය ද අවසන් මොහොතේ අවලංගු කෙරුණි. ඒ එවකට තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස කටයුතු කළ මහ ඇමැතිනී ජයලලිතාට එල්ල වූ අල්ලස් චෝදනා මුල්කොට ගනිමිනි.

පසුගිය 11 වැනිදා ආරම්භ වූයේ 17 වැනි ලෝක් සභා මැතිවරණයයි. පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙයි. පසුගිය 11 වැනිදා ආරම්භ වුණු මැතිවරණය අවසන් වන්නේ මැයි 19 වැනිදාය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ මැයි 23 වැනිදාය. ලෝක්සභා මැතිවරණයට සමගාමීව, මැතිවරණ ක්‍රියාවලියේ දෙවැනි අදියර යටතේ, තමිල්නාඩුවේ ඡන්ද කොට්ඨාශ 18 ක අතුරු මැතිවරණ ද පැවැත්විණි. තමිල්නාඩුවේ ඇති ලෝක්සභා ඡන්ද කොට්ඨාශ 39 කි. වෙල්ලූර් හි ඡන්ද කටයුතු අවලංගු වූ බැවින්, මැතිවරණය පැවැත්වූයේ ඡන්ද කොට්ඨාශ 38 ක පමණි. ලෝක්සභා මැතිවරණ ප්‍රතිඵලවලට සමගාමීව තමිල්නාඩු අතුරු මැතිවරණයේ ප්‍රතිඵල ද ලබන මැයි 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව තමිල්නාඩු මැතිවරණ කොමිසම පවසා ඇත.

මැතිවරණයේ දෙවැනි අදියර පැවැත්වූයේ ඇසෑම්, බිහාර්, චතිස්ගාර්, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, මනීපූර්, ඔඩිෂා, තමිල්නාඩු, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය සහ පුදුචෙරි යන ප්‍රාන්තවලය. ජම්මු කාශ්මීරයේ ද මැතිවරණය පැවැත්වීමට නියමිත වුවත්, පවතින දේශපාලනික අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැති බව පැවැසෙයි. ජම්මු කාශ්මීර පවතින්නේ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේය. ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක් පුරා ඡන්ද කොට්ඨාශ 91 ක ඡන්ද පැවැත්වෙන අතර ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව කෝටි 90 කට වැඩිය. ඉන්දියාවේ පැවැත්වෙන විශාලම මැතිවරණ ක්‍රියාදාමය පමණක් නොව, මෙය  ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ක්‍රියාදාමය ද වෙයි. 2014 වසරේ දී අතිවිශිෂ්ඨ බහුතර බලයකින් බලයට පත් වුණු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යළි බලයට ඒමට අපේක්ෂා කරයි.

ඡන්ද පොළට පැමිණෙන න්ද දායකයන් පොළොඹවා ගනිමින්, තම තමන්ගේ පක්ෂය වෙත හරවා ගැනීමේ අරමුණින්, දේශපාලනඥයන් ඔවුන්ට තෑගි වශයෙන් බෙදා දීමට සූදානම් වූ ඉන්දීය රුපියල් කෝටි 2,626 කට වැඩි මුදලක්, මත්පැන්, රත්තරන් ඇතුළු වෙනත් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනිමට මේ වනවිට තමන්ට හැකිවී ඇති බව ඉන්දීය මැතිවරණ කොමිසම පවසා තිබේ. ඊට අමතරව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා වේ. මැතිවරණයේ පළමු අදියර යටතේ ද ඇසෑම්, බිහාර්, චතිස්ගාර්, මහාරාෂ්ට, බටහිර බෙංගාලය, උත්තර ප්‍රදේශ්, ඔඩීෂා සහ මනීපූර් හි මැතිවරණ කටයුතු පැවැත්විණි. ඊට අමතරව මැතිවරණය පැවැත්වූයේ ලක්ෂාද්වීප්, අන්දමන් සහ නිකෝබාල් දූපත්, උත්තරකාන්ද්, ත්‍රීපුර, තෙලංගානා, සික්කිම්, මේඝාලය, මිසෝරාම් යන ප්‍රාන්තවලය. මැතිවරණයේ පළමු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඡන්ද පොළවලිනි. ගැටුම් හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවත් වාර්තා විය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS