තනි කකුලේ බැඩ්මින්ටන් ශූරිය



ඒ, 2011 වසරේ දෙසැම්බර් මාසයයි. එදා සිකුරාදා දිනයකි. 22 හැවිරිදි මනාෂී ජෝෂී, උදෑසන අවදි වූයේ වෙනදාටත් වඩා ප්‍රබෝදයකිනි. ඇය සිටියේ සතුටින් බලාපොරොත්තු දල්වා ගෙනය. මනාෂී ඇගේ උපාධිය හිමිකරගෙන තිබුණේ මීට දින කීපයකට පෙරය.

මනාෂී, ඉන්දියාවේ මුම්බායි පදිංචිකාරියකි. වෙනදාට වඩා ප්‍රබෝදයකින්, ඇය එදා අවදි වූයේ හේතුවක් ඇතිවය. මුම්බායි නුවර, පරිගණක මෘදුකාංග සමාගමක, මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස ඇය රැකියාවට යන පළමු දිනය එය විය.

මුම්බායි මනාෂීට ආගන්තුක නොවිණි. ඇය උපන්නේත් හැදී වැඩුණේත් මුම්බායි නුවරය. ඇගේ මාපියන්ගේ නිවස පිහිටියේ, ඇය රැකියාව සඳහා තෝරාගත් පරිගණක සමාගම පිහිටි ගොඩනැගිල්ලේ සිට කිලෝ මීටර් 7 ක් දුරිනි. එදා උදෑසන ඇය මවගේත් පියාගේත් ආශිර්වාදය ලබා ගනිමින්, රැකියාව බලා යෑමට යතුරු පැදියට ගොඩවූවාය. යතුරු පැදියෙන් රැකියා ස්ථානයට යන්නේ නම්, ඒ සඳහා ගතවන්නේ මිනිත්තු 7 කි. කාර්යබහුල උදෑසන වීදි මඟ හරිමින්, වාහන තදබදය මඟ හරිමින් ගුවන් පාලම යටින් යා යුතුයැයි සිතුවිල්ලක් පහළ විය. ඒ අනුව, මනාෂී, යූ ටර්න් එකකින්, ගුවන් පාලම යටින් වූ මඟට පිවිසුණාය. ඉදිරියෙන් වැරදි මාර්ගයේ වේගයෙන් ආ ලොරි රථය ඇයට පෙනුනේ නැත.

වේගයෙන් ආ ලොරියේ මනාෂිගේ යතුරු හැපුණි. මනාෂී විසිවී ගියේ ලොරිය යටටය. ලොරිය ඉදිරියට ගමන් කළේ ඇගේ වම් පාදය යට කරමිනි. ‘මට ඒක ලොකු කම්පනයක්. මම කෙළින් වෙන්න හැදුවා. ගැලවුණු හෙල්මට් එක ගන්න හැදුවා. එතකොටයි මට අමාරුව දැනෙන්න වුණේ. මා බරපතල ලෙස තුවාල ලබා සිටියා’ මනාෂී, ඒ වේදනාකාරී අත්දැකීම සිහිපත් කරමින් කියයි. මනාෂීගේ උදව්වට, අවට සිටි පිරිස පැමිණ ඇය වට කරගත්හ. ඒත් ඇගේ තුවාල දැකීමෙන් ඔවුන් සැවොම සිටියේ තැතිගෙනය. කළ යුත්තේ කුමක්දැයි කාටවත් වැටහුණේ නැත. බොහෝ දෙනකු සිතුවේ ඇය මියයාවි කියාය. ගිලන් රථයක් පැමිණෙන තුරු, ඇය රෝහලකට ගෙන යෑමට කිසිවකු හෝ ඉදිරිපත් වූයේ නැත. ඇගේ වම් පාදය ට්‍රක් රියට යටවී පොඩි පට්ටම් වී තිබුණි. අස්ථි බිඳී පොඩි පට්ටස් වී ගොසිණි. පාදය මස් ගොඩක් විය. මනාෂී සිටියේ ලේ විලක් මැදය.

අවසානයේ ගිලන් රථය පැමිණියේය. රථ වාහන හසුරුවන පොලිස් නිලධාරීන්ගේ ද උදව්වෙන් ඔසවා ගිලන් රථයට ගොඩ කෙරුණු මනාෂී, ළඟ පිහිටි රෝහලට ගෙන යන ලදී. මනාෂී ට සිදුවුණු තුවාලවලට ප්‍රතිකාර කිරීමට එම රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවිණි. ඇගේ එක් අතකට ද තුවාල වී තිබුණි. වම් පාදයේ තුවාලය බරපතල විය. තුවාලවලට ප්‍රතිකාර කිරීමට හෝ සැත්කමක් කිරීමට හෝ සුදුසු වෛද්‍යවරයකු රෝහලේ සිටියේ නැත. රෝහලේ සිටි වෛද්‍යවරුන් ඇය ඉන්දියාවේ වෙළෙඳ අගනගරය ලෙස ද සැලකෙන මුම්බායි නගර මධ්‍යයේ පිහිටි ‘සුපිරි’ රෝහලකට යැවීමට තීරණය කළත්, ඇය රැගෙන යෑමට ගිලන් රථයක් නොවීය. ගිලන් රථයක් පැමිණෙන තුරු වේදනාවෙන් මනාෂී ට බලා සිටීමට සිදුවිය. ‘මට කර කියා ගන්න බැරිවුණා. සෑහෙන වේලාවක් තිස්සේ ලේ යනවා නතර වෙන්නේ නැහැ.’ මනාෂී අතීත සිදුවීම් මතක් කරමින් කියයි. ‘මට කීප සැරයක් සිහි නැතිවුණා’

අවසානයේ රෝහලේ ගිලන් රථය පැමිණෙද්දී පැය ගණනක් ගත වී තිබුණි. එහෙත් එයට ගිලන් රථයක් යැයි කීමට නොහැකි විය. එය නිකම්ම නිකම් පරණ වෑන් රථයකි. කිලෝ මීටර් 15 ක දුරක් ගෙවා, ප්‍රතිකාර කිරීමට පහසුකම් ඇති රෝහලක් වෙත මනාෂී රැගෙන යෑම සිදුවිය. පැයකට ආසන්න කාලයක් තිස්සේ කළ ගමනේදී, මාර්ගයේ සෑම වලක්ම, සෑම ගොඩැල්ලක්ම ඇගේ වේදනාව තවත් වැඩි කළේය.

සියලු පහසුකම්වලින් පිරි මුම්බායි රෝහලකට මනාෂී ඇතුළත් කළේ සවස 5.30 ටය. ඒ, අනතුර සිදුවී පැය 9 කට පසුවය. වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛත්වය යොමු වූයේ ඇගේ වම් පාදය බේරා ගැනීම කෙරෙහිය. ඇය දින 45 ක් රෝහලේ සිටියාය. සෑම දින 5 කට සහ 10 කට වරක් ම ඇගේ පාදයේ සැත්කම් සිදු කෙරුණි. කිසිවක් සාර්ථක වූයේ නැත. වෛද්‍යවරුන්ට පරාජය බාර ගැනීමට සිදුවුණු අතර, මනාෂීගේ වම් පාදය කපා ඉවත් කෙරුණි.

පාසල් යද්දී, මනාෂී දක්ෂ සිසුවියක වූවාය. ප්‍රමුඛත්වය හිමිවූයේ අධ්‍යාපනයටය. මනාෂීගේ පියා රජයේ විද්‍යාඥයෙකි. රැකියාව කළේ මුම්බායි පරමාණු බලශක්ති පර්යේෂණ ඒකකයේය. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී, ඔවුන් හොඳ රැකියාවක් කරනු දැකීම ඔහුගේ සිහිනය විය. පරිගණක විද්‍යාව හදාරා, පරිගණක මෘදුකාංශ ඉන්ජිනේරුවරියක් ලෙස රැකියාවට යෑමට මනාෂී ට හැකි වූයේ ඇය දක්ෂ සිසුවියක වූ නිසාය. අධ්‍යාපන කටයුතුවල නියැලෙමින්, විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකින් ද දක්ෂතා පෙන්වීමට මනාෂී සමත් වූවාය. ‘මා පාසල් යද්දී ක්‍රීඩා රැසක් කළා. පා පන්දු, පැසි පන්දු සහ වොලිබෝල් ක්‍රීඩා කළා. සංගීතය හැදෑරුවා. ගීත ගායනා කළා. චිත්‍ර ඇන්දා. මාපියන් කැමතියි දරුවෝ හොඳින් ඉගෙන ගන්නවට. ඒ වගේමයි විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙනවාට’ මනාෂී කියයි. පාසලේ දී කළ ක්‍රීඩා අතරින් මනාෂී වඩාත් ප්‍රිය කළේ බැඞ්මින්ටන් ක්‍රීඩා කිරීමටය. මනාෂීගේ පළමු බැඞ්මින්ටන් පුහුණුකරු වූයේ ඇගේ පියාය. මනාෂී, බැඞ්මින්ටන් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ, වයස අවුරුදු 6 ක් තරම් කුඩා කාලයේ සිටය.

ඒ, 2019 අගෝස්තු මාසයයි. මනාෂී සිටියේ ස්විට්සර්ලන්තයේ බාසෙල් නුවරය. එදා, මනාෂීගේ ජීවිතයේ සුවිශේෂී දිනයක් විය. බිහිසුණු අනතුරින්, වම් පාදය ඉවත් කර වසර 8 කට පසු, මනාෂී ආබාධ සහිත බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ‘පැරා බැඞ්මින්ටන්’ ලෝක ශූරතා තරගාවලියේ අවසන් වටයට පිවිස සිටියාය. ඒ, ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමින්ය.

අවසන් තරගයේ දී ඇයට තරග වැදීමට සිදුවූයේ ද ඉන්දියානුවකු සමඟය. ඒ, තවත් පැරා බැඞ්මින්ටන් ශූරියක වන පෝලා පර්මා ට එරෙහිවය. මනාෂී, මීට පෙර, පෝලා පර්මා ට එරෙහිව තරග කර නොතිබුණි. එහෙත්, පෝලා ෂර්මා පරාජය කළ හැකි යැයි මනාෂී තුළ විශ්වාසයක් තිබුණි. පෝලා පර්මා, දකුණු ඉන්දීය ක්‍රීඩිකාවකි. ‘මා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවුණා. මගේ දෑත් හොඳින් ක්‍රියා කළා. කෘත්‍රිම පාදය සමඟ මට වේගයෙන් එහෙට මෙහෙට මාරු වෙන්න පුළුවන්කම තිබුණා. පදක්කමක් ගන්න පුළුවන් යැයි ලොකු විශ්වාසයකින් මා තරග වැදුණා’ මනාෂී කියයි. මනාෂී දක්ෂ ලෙස ක්‍රීඩා කළාය. ඇය සෙමින් සෙමින් ලකුණු ලබමින්, පෝලා පර්මා අභිබවා ගියාය. ඇය ඒ අවසන් තරගය ජයග්‍රහණය කළේ බොහොම පහසුවෙනි. පාදයක් අහිමි මනාෂී ලෝක ශූරියක ලෙස රන් පදක්කම දිනා ගත්තාය.

බිහිසුණු අනතුරින්, පාදයක් අහිමි වී, වසර අටකට පසු, පැරා බැඞ්මින්ටන් ලෝක ශූරීයක බවට පත් වුණු මනාෂීගේ කතාව විස්මිතය. පාදය අහිමි වුණා යැයි මනාෂී කිසිම අවස්ථාවක මානසිකව වැටුණේ නැත. දුක් වුණේ නැත. එය ජීවිතය යැයි ඇය අවබෝධ කර ගත්තාය. රෝහලේ සිටිද්දී, මනාෂීගේ පාසල් යෙහෙළියෝ නිතරම ඇයගේ සුවදුක් විමසා බැලන්න වූහ. ඔවුන් ඇය තනි කළේ නැත. මාස ගණනක් රෝහලේ සිටිද්දී, රෝහලේ හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඇගේ මිතුරු මිතුරියන් බවට පත් විය. සැත්කම් කාමරයට යන සෑම අවස්ථාවකදී පවා, නිර්වින්දන වෛද්‍යවරිය කටයුතු කළේ මනාෂීගේ ධෛර්යය හීන නොවන ආකාරයටය. ‘මට ලොකු අභාග්‍යයක් සිදුවුණැයි කිසිම අවස්ථාවක දැනුනේ නැහැ. රෝහලෙන් පිටවී, නිවසට පැමිණ කණ්ණාඩිය ඉදිරිපිටට ගියාට පස්සේ, මට මාව දකින්න ලැබුණා. එවිටයි, මට වැටහුණේ. අපොයි දෙවියනේ මා වෙනස් වෙලා. මට දුක දැනෙන්න වුණා. ඒත් මම හිත හදා ගත්තා. සිරුරේ තුවාල කැලැල් මම ගණන් ගත්තේ නැහැ. කකුලක් නැහැ. ඉතිං මොනවා කරන්නද? කමක් නැහැ. මම හිත හදා ගත්තා’ මනාෂී පැහැදිලි කරයි.

මනාෂිට කෘත්‍රිම පාදයක් සවි කිරීමෙන් පසු, ඇය එම පාදයට හුරු කරමින්, පුනරුත්ථාපනය වීමට සිදුවිය. එය බැඞ්මින්ටන් සඳහා යළි යොමු වූයේ ඒ අනුවය. ඇය වෙනදාටත් වඩා බැඞ්මින්ටන් ක්‍රීඩා කළේ සුවිශේෂී දක්ෂතා පෙන්වමිනි. ඒ දක්ෂතා නිසා, බොහෝ දෙනා ඇය දිරි ගන්වන්න වූයේ ඉන්දීය ජාතික පැරා බැඞ්මින්ටන් කණ්ඩායමට එක් වන ලෙසය. ඒ වනවිට, මනාෂී පැරා බැඞ්මින්ටන් තරග කීපයකට සහභාගී වී ජයග්‍රහණ දිනා සිටියාය. ජාතික කණ්ඩායමට ඇය තෝරා ගැණුනි. ස්පාඤ්ඤයේ පැවැති ජාත්‍යන්තර තරගයකට ඇය ඉන්පසු සහභාගී වූවාය. එදා ඇයට ජයග්‍රහණයක් හිමි වූයේ නැත. ඒත්, එම තරගයට සහභාගී වීම, ඇයට නව පන්නරයක් විය. ඇය බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑම ආරම්භ කළාය. ඇයට වඩා, ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සුවිශේෂී දස්කම් පෙන්වනු ඇයට දකින්න ලැබුණි. ඒ සෑම දෙනා, බැඞ්මින්ටන් ක්‍රීඩා කළේ බොහොම පහසුවෙනි. ඔවුහු හැමෝම එකිනෙකාට කරුණාවන්ත වූහ. ‘මා බැඞ්මින්ටන් ක්‍රීඩාවට යොමු වීම ගැන බොහෝ දෙනා මට සුබ පැතුවා. මම දක්ෂ බව මටත් වැටහෙන්න ගත්තා. ඒ අනුව පූර්ණ කාලීන පැරා බැඞ්මින්ටන් ක්‍රීඩිකාවක් වන්න මා තීරණය කළා’

පැරා බැඞ්මින්ටන් ක්‍රීඩිකාවක ලෙස දක්ෂතා පෙන්නුවත්, තරග ජය ගැනීමට නම්, එම දක්ෂතා ප්‍රමාණවත් වූයේ නැත. මනාෂීට, හොඳ පුහුණුවක් ලැබිය යුතු විය. ඒ වනවිට මනාෂී අහ්මදාබාද් නගරයේ බැංකුවක රැකියාව කරමින් සිටියාය. පොලේලා ගෝපිචාන්ද්, බැංකුවට පැමිණ සිටියේ බැංකු කටයුත්තකටය.  මනාෂීට, ඉන්දියාවේ විශිෂ්ඨතම බැඞ්මින්ටන් පුහුණුකරු වන පොලේලා ගෝපිචාන්ද් හමුවූයේ එලෙසිනි. අහම්බෙනි. එම හමුව, ඇගේ ක්‍රීඩා දිවිය වෙනස් කරන්න විය. ඉන්දියාව බැඞ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙනයෑමට පුරෝගාමී මෙහෙවරක් කළ පුහුණුකරුවෙකු ලෙස පොලේලා ගෝපිචාන්ද් හැඳින්විය හැකිය. පීවී සින්දු, සානියා නෙහ්වාල් යනු ගෝපිචාන්ද් යටතේ පුහුණුව ලැබූ බැඞ්මින්ටන් හපන්නුය. මනාෂී, බැංකුවට පැමිණ සිටි ගෝපිචාන්ද් හමුවීමට ගියාය. තමන් පුහුණු කරන්නැයි ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.


‘මම මුලින් කැමැති වුණේ නැහැ. මට එක පාරට හිනා ගියා. ඒත් ඇය සැබැවින්ම නිර්භීත කෙල්ලක්. ඇය ශක්තිමත්. ඇගේ කතාව ඇය මට කීවා. මම ඇය ගැන පැහැදීමක් ඇති වුණා. ඇය ක්‍රීඩා කරනවා බලන්න මා ගියා. ඇය පුහුණු කරන්න මා තීරණය කළේ ඇගේ දක්ෂතා හඳුනා ගැනීමෙන් පසුවයි.’ ගෝපිචාන්ද් අදහස් දක්වමින් කියයි. ඒත් ගැටලුවක් විය. ගෝපිචාන්ද් මීට පෙර, ආබාධිත ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයකුට හෝ බැඞ්මින්ටන් පුහුණු කර තිබුණේ නැත. මනාෂීට පුහුණුව දීම, ගෝපිචාන්ද් ට අභියෝගයක් විය. මනාෂීට පුහුණුව දීමට, ගෝපිචාන්ද් ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඞ්මින්ටන් ක්‍රීඩා කරන ආකාරය නැරැඹුවේය. අන්තර් ජාලයෙන් වීඩියෝ නැරැඹුවේය. ගෝපිචාන්ද් තනි කකුලෙන් බැඞ්මින්ටන් ක්‍රීඩා කර බලන්න විය. ඒ, මනාෂී ගැන අවබෝධයක් ලබා ගැනීමටය. ගෝපිචාන්ද්, මනාෂී ක්‍රීඩා කරන අයුරු බැලීමට හයිද්‍රාබාද් බැඞ්මින්ටන් ඇකඩමියට පවා ගියේය. ඒ වනවිට ඇයට පුහුණුව දෙන්න වූයේ හාරී නමැති පුහුණුකරුය. මනාෂීගේ කැපවීම ගෝපිචාන්ද්ගේ සිත් ගත්තේය. එපමණක් නොව, මනාෂී සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩිකාවක යැයි ඔහුට වැටහිණි. බොරු කකුළක් සහිත ක්‍රීඩිකාවක ලෙස ඇය ක්‍රියාශීලී විය. ඇය එල්ල කළ පහර වේගවත් මෙන්ම නිවැරදි විය. අවසානයේ, ඉන්දියාවේ දක්ෂතම බැඞ්මින්ටන් පුහුණුකරු ගෝපිචාන්ද්, මනාෂී පුහුණු කරන්න විය. මනාෂී, පැරා බැඞ්මින්ටන් ලෝක ශූරතා තරගයට සහභාගී වීමට මඟ සකස් වූයේ මෙලෙසිනි. ඇය බසෙල් නුවරදී පැරා බැඞ්මින්ටන් ලෝක ශූරිය වූවාය. රන් පදක්කම දිනා ගනිමින් ඉන්දියාවට අභිමානයක් වූවාය.

දිනූ පදක්කම්

ලැබූ එම ජයග්‍රහණයෙන් පසු, මනාෂී ජනප්‍රිය තරුවක් විය. ඉන්දියානුවන් ඇය ගැන කතා කරන්න වූයේ මහත් ආඩම්බරයෙනි. ‘සියල්ල වෙනස් වුණා. දැන් මා පාරේ යද්දී, මිනිස්සු මා හඳුනනවා.’ යැයි මනාෂී කියයි. එදා සිට අද දක්වා මනාෂී ජෝෂි දිනූ පදක්කම් බොහොමයකි. රන්, රිදී, ලෝකඩ පදක්කම් ඇය සතුය. ආසියානු පැරා බැඞ්මින්ටන් තරගාවලියෙන් ඇය ලෝකඩ පදක්කම දිනාගෙන තිබේ. රන් පදක්කම්ලාභියකු වුවත් තමන් වඩාත් ප්‍රිය කරන්නේ එම ලෝකඩ පදක්කම යැයි ඇය කියයි. ‘එදා අනතුර මගේ ජීවිතේ වෙනස් කළා. මට තියෙන්නේ එක කකුලයි. එදා එහෙම නොවුණා නම්, අද මා පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරියක්. ඒත් මගේ ජීවිතේ වෙනස් වුණා. අද මා බැඞ්මින්ටන් ශූරියක්. එහෙම වේවි කියලා මා හීනෙකින්වත් සිතුවේ නැහැ’ මනාෂී පවසන්නේ මහත් සතුටිනි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS