ට්‍රම්ප්ට මොකක් හරි වුණොත් ?



කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් අගනුවර හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර සිටී. ඇමෙරිකාවේ සිටින අති දක්ෂ වෛද්‍යවරුන් පැය 24 පුරා ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිබද විමසිල්ලෙන් පසුවන බව වර්තා වේ.

වයස යනු ඉලක්කමක් පමණක් වුවත්, කොරෝනා වයිරසයට වයස වැදගත් වෙයි. අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට කොරෝනා මාරක වන බව පැහැදිලිය. අද ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ මියගිය බොහෝ දෙනා වැඩිහිටියන්ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස අවුරුදු 74 කි. නොවැම්බර් තුන්වෙනිදා ට්‍රම්ප් යළි සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී.

ඇමෙරිකන් ජනාධිපතිවරයා, ඇමෙරිකාවේ සේනාධිනායකයා ද වෙයි. යම් හෙයකින්, ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එම ධුරය හොබවන ඔහුට හෝ ඇයට හෝ නියමිත ආකාරයට රාජකාරී කරගෙන යෑමට නොහැකි වුවහොත්, ඇමෙරිකානු ව්‍යවස්ථාවේ, 25 වැනි සංශෝධනයට අනුව, ජනපති බලතල හිමිවන්නේ ජනපතිගේ දෙවැනියා වන උප ජනාධිපතිවරයාටය.

ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා වන්නේ මයික් පෙන්ස්ය.

ට්‍රම්ප් සහ මෙලානියා කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන් බව තහවුරු වෙද්දී, මයික් පෙන්ස් ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී සනාථ වූයේ පෙන්ස් කොරෝනා ආසාදිතයකු නොවන බවය. ‍

ඇමෙරිකා උප ජනපතිවරයාට යම් අනතුරක් වුවහොත් හෝ ඔහුට රාජකාරී කිරීමට නොහැකි තත්ත්වයක් හටගත්තොත්, ඊළඟට ජනපති ධුරයට හිමිවන්නේ, පහළ මන්ත්‍රී මණ්ඩලයේ එසේත් නැතිනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායකයාටය. ඇමෙරිකන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ කොංග්‍රසය යනුවෙනි. එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි.

මේ වනවිට සෙනට් මණ්ඩලයේ බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව වන්නේ ජනපති ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කරන නැන්සි පෙලෝසි ය.

මේ මොහොතේ තවත් ගැටලුවක් පවතී.  ට්‍රම්ප් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ, නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දින 32 ක් තිබියදීය.

රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත්වීමට සූදානම් වන්නේ සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙනි. ට්‍රම්ප් ට සිය රාජකාරි නිසි ලෙස කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත්, රිපබ්ලිකන් පක්ෂයට ජනපති ධුරයට තරග කිරීමට සුදුසු අපේක්ෂකයකු තෝරා පත් කර ගැනීමට සිදුවෙයි. එය වන්නේ රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුව රැස්වීමෙන් පසුවය.

ජනපති අපේක්ෂකයා ලෙස උප ජනාධිපතිවරයාගේ නම යෝජනා කිරීමට පක්ෂ ජාතික කමිටුවට හැකියාව ඇත. නව අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවන්නේ, රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ ප්‍රධාන සාමාජිකයන් 168 දෙනා රැස්වී ඒ සම්බන්ධයන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත්වීමෙනි.

කෙසේ නමුත් උප ජනාධිපති ධුරයට පක්ෂය තුළින් සුදුස්සකු තෝරා ගැනීම කරන්නේ ජනපති අපේක්ෂකයාය. ඉන්පසු ඔහුට හෝ ඇයට අනුමැතිය හිමිවෙයි. යම් හෙයකින්, රිපබ්ලිකන් පක්ෂය මයික් පෙන්ස් ජනපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළොත්, පෙන්ස් ට උප ජනපති ධුරය සඳහා සුදුස්සකු සොයා ගැනීමට සිදුවනු ඇත.

ලෝකයට ලොක්කා ඇමෙරිකන් ජනාධිපතිවරයාය. මහා බලගතු නායකයා වන්නේ ද ඔහුයි. එහෙයින්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය ඉතා වැදගත්ය. තම ජනාධිපතිවරයාගේ කායික මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇමෙරිකානුවෝ නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවෙති.

ධුරය හොබවන ඇමෙරිකන් ජනාධිපතිවරයකු රෝහල් ගත කෙරුණේ වසර 39 කට පසුව යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

මීට පෙර ධුරය හොබවමින් සිටිද්දී රෝහල්ගත කෙරුණේ රොනල්ඩ් රේගන් ය. ඒ 1981 මාර්තු 30 වැනිදාය. එය සිදුවූයේ වොෂින්ටන් හිල්ටන් හෝටලය ඉදිරිපිට දී රේගන් වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් පසුවය. ජනාධිපති රේගන් ඝාතනය කිරීමට වෙඩි තැබූ වෙඩික්කරු ජෝන් හින්ක්ලි ජූනියර් (කනිෂ්ඨ) ය. වෙඩි උණ්ඩය ජනාධිපතිවරයාගේ පෙනහල්ලක් සිදුරු කළේය. අභ්‍යන්තර රුධිර වහනයකට එය හේතුවක් විය.

රොනල්ඩ් රේගන්

රේගන් වෙඩි ප්‍රහාරයට ලක් වී

ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂා කරන ජනපති ආරක්ෂක අංශය හැඳින්වෙන්නේ සීක්‍රට් සර්විස් යනුවෙනි. සීක්‍රට් සර්විස්  නිලධාරීන්, තුවාල ලැබූ රේගන් කඩිනමින් ජෝර්ජ් වොෂින්ටන් රෝහලට ගෙන යනු ලැබුණි. රෝහල පිහිටියේ සැතපුමක දුරකිනි.

කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූ අවස්ථාවේදී, ජනපති ආරක්ෂක අංශය මැදිහත් වී ට්‍රම්ප් ගෙන යනු ලැබූ වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වොෂින්ටන් අගනුවර සිට සැතපුම් 9 ක් දුරිනි.

කෙසේ නමුත්, රේගන් තුවාල ලබා රෝහල් ගත කර, සැත්කමකට භාජන වෙද්දී, 25 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවූයේ නැත. උප ජනපතිට බලය පැවැරීමක් සිදු නොවිණි.

එදා උප ජනපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය. ජනපති රේගන් තුවාල ලබද්දී, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ටෙක්සාස් ජනපදයේ සංචාරයකට ගොස් යළි වොෂින්ටනය බලා පැමිණෙමින් සිටියේය.

අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුවත් ජනපති රේගන් ඒ බව ජනතාවට දැනගන්න ඉඩ තැබුවේ නැත. වෙඩි තැබීමට පසු දින ඔහු රෝහලේ සිට රාජකාරි කරන බව ජනතාවට පෙන්වන්න විය. රේගන්, දින 12 ක් රෝහලේ සිටියේය. යළි ධවල මන්දිරයට පැමිණියේ 1981 අප්‍රේල් 11 වැනිදාය.

1985 වසරේ, උප ජනපති ධුරය හෙබවූ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ට උදෑසන 11.28 සිට රාත්‍රී 7.22 දක්වා ජනපති ධුරය හිමිවිය. ඒ, මහබඩවැල් ආශ්‍රිත පිළිකා තත්ත්වයන් හේතුවෙන්, රේගන් රහසේ සැත්කමකට ලක් කෙරුණු බැවිනි. රහසේ එම සැත්කම කළේ වෛද්‍ය පහසුකම්වලින් යුත් සුඛෝපබෝගී නැවකය.

2002 දී ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවන්න වූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය.  මහබඩවැල් ආශ්‍රිත වෛද්‍ය පරීක්ෂණයකට බුෂ් ට යොමු වීමට සිදුවිය. ඔහු රෝහල් ගත වූයේ උප ජනපති ධුරයේ කටයුතු කළ ඩික් චෙනී ට ජනපති බලතල පවරා දෙමිනි.

2002 ජූනි 29 වැනිදා උදෑසන 7.16 සිට උදෑසන 9.21 දක්වා ඩික් චෙනී ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේය.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS

RELATED POSTS