ජීව විශේෂ 6 ක් සමුගන්න ඔන්න මෙන්න



සොබා දහම සැරැකීම වෙනුවෙන් පෙනී සිටින International Union for Conservation of Nature හෙවත් ‘අයි.සී.යූ.එන්.’  රතු දත්ත වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි. සහ ශාක විශේෂ 27,000 ක් සඳහටම ලොවෙන් සමුගනු ගැනීමේ අවදානමක් පවතින බව එම වාර්තාවේ සඳහන්ය. එම 27,000 අතරින් සත්ව විශේෂ 6 ක් කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති අතර, අප ක්‍රියාත්මක නොවුණොත් අපේ ඇස්පනාපිටම මෙම සත්ව විශේෂ 6 ​ලොවෙන් සමුගනු ඇති බවත් එම රතු දත්ත වාර්තාව පෙන්වා දෙයි.

1. ජාවා රයිනෝ

අද ලොව ඉතිරිව සිටින්නේ ජාවා රයිනෝ සතුන් 60 ක් වැනි ප්‍රමාණයක් පමණි. ඒ සැවොම ඉන්දුනීසියාවේ ජාවා දූපතේ එක් ජාතික වනරක්ෂිතයකට සීමා වී සිටිති. රයිනෝ සුරැකීමේ ජාත්‍යන්තර අරමුදල සහ ඉන්දුනීසියාවේ රයිනෝ සුරැකීමේ සංවිධානය එක් වී, ජාවා රයිනෝ සතුන් සුරැකීමටත් ඔවුන්ගේ වාසභූමි ආරක්ෂා කිරීමටත් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. රයිනෝ සුරැකීමට ස්ථාපිත කළ විශේෂ වනජීවී කණ්ඩායම් අනවසර දඩයක්කරුවන්ගෙන් රයිනෝ සතුන් ආරක්ෂා කිරීමටත්, වනාන්තර​යේ අටවා ඇති උගුල් ඉවත් කිරීමටත් කටයුතු කරන බව වාර්තා වේ. ජාවා රයිනෝ වඳවීමේ තර්ජනයට ලක් වූයේ අං ලබා ගැනීම වෙනුවෙන් උන් මරා දැමීමත්, ජවා වනාන්තර දිනෙන් දින විනාශවීමත් නිසා යැයි පැවැසෙයි.

2. ගංගා තරණය කරන ගොරිල්ලෝ

ගංගා තරණය කරන ගොරිල්ලන් විශේෂය ද වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බව පැවැසෙයි. වන විනාශය නිසාත්, දඩයම් කිරීම නිසාත් මොවුන් වඳවීමේ තර්ජනයට ලක් වී සිටින බව පැවැසෙයි. අද ඉතිරි වී ඇත්තේ ගොරිල්ලන් 300 ක් පමණි. නයිජීරියාවට ආවේණික මෙම ගොරිල්ලන් නයිජීරියාවේ සිවිල් යුද සමයේ එනම් 1960 දශකයේ වඳවී ගියේ යැයි විශ්වාස කෙරුණි. කෙසේ නමුත් සත්ව විද්‍යාඥයන්ගේ සතුටට හේතුවක් වන පරිදි ගොරිල්ලන් ගහණය කෙමෙන් වැඩිවුණු නමුත් දැන් යළිත් එම ගහණය අඩු වීමට පටන් ගෙන ඇත. ලොව දුර්ලබ වානර විශේෂය ලෙස මෙම ගොරිල්ලන් සැලකෙයි. කැමරූන් රාජ්‍යයේ ද මෙම ගොරිල්ලන් දකින්න ලැබේ. නයිජරියා රජයත්, කැමරූන් රජයත් එක් වී, ගොරිල්ලන් ආරක්ෂා කිරීමට නව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

3. සයිබීරියානු ව්‍යාඝ්‍රයා

බිළාල පවුලට අයත් විශාලතම සාමාජිකයා ලෙස සැලකෙන්නේ සයිබීරියානු ව්‍යාඝ්‍රයාය. 1940 දී සයිබීරියානු ව්‍යාඝ්‍රයන් වද වී ගිය අතර අද වනවිට ඉතිරිවී ඇත්තේ 40 ක් පමණි. ව්‍යාඝ්‍රයන් වඳ වී ගියේ සම් ලබා ගැනීම සහ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් දඩයමට ලක් වුණු බැවිනි. රුසියාව සයිබීරියානු ව්‍යාඝ්‍රයා සුරක්ෂිත සත්වයකු ලෙස කම් කිරීමත් සමඟ ව්‍යාඝ්‍ර ගහණය සෙමින් සෙමින් වැඩි වන්න විය. ව්‍යාඝ්‍රයන් එසේ සුරැකීමට පියවර ගත් පළමු රට රුසියාව ය.

4. වැකිටා ප්‍රොපෝයිස් (Vaquita porpoise)

ලොව දුර්ලභ සාගර ක්ෂීරපායී සත්වයකු ලෙස වැකිටා හැඳින්වෙයි. ඩොල්ෆින් කෙනකුට පෙනුමින් සමාන නමුත් මේ ක්ෂීරපායී මාළුවා ඩොල්ෆින් කෙනෙකු නොවෙයි. පසුගිය වසර කීපයේ වැකිටා ප්‍රොපෝයිස් ගහණය බෙහෙවින් අඩුවිය. අද සාගරයේ දකින්න ලැබෙන්නේ වැකිටා ප්‍රොපෝයිස් මසුන් 30 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. 2009 වසරේ වැකිටා ප්‍රොපෝයිස් ආරක්ෂා කිරීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවිණි.

5. උකුසු හොටැති කැස්බෑවා

කටුවේ ඇති විශේෂ දුඹුරු වර්ණය හේතුවෙන් අනවසර දඩයක්කරුවන්ගේ ඇසට ලක් වී උකුසු හොටැති කැස්බෑවා වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. මේ කැස්බෑවන් වසර මිලියන 100  ගණනක් තිස්සේ පෘථිවියේ ජීවත් වූ උරග විශේෂ අතරට අයත් වෙයි. කැස්බෑවුන් ආරක්ෂා කිරීමට චන්ද්‍රිකා සහාය ලබා ගැනෙයි. අනවසර දඩයම් නැවැත්වීමට ද පියවර​ ගෙන තිබේ. ඉංග්‍රීසියෙන් හෝක්බිල් යන නමින් හැඳින්වෙන මෙම කැස්බෑවුන්ගේ බිත්තර වෙළෙඳාම තහනම් කර ඇත. ධීවරයන් අතින් ද අත්වැරදීම්වලින් මෙම කැස්බෑවුන් මරණයට පත් වෙයි.

6. අමූර් දිවියා

මහ බළල් පවුලේ හුදෙකලා සාමාජිකයෙකු ලෙස මෙම දිවියන් හැඳින්විය හැකිය. අද වනවිට වනගතව ජීවත් වන්නේ මෙම දිවියන් 90 ක් පමණි. පැටවුන් ලොකු මහත්වනතුරු අමූර් දිවියා ගැහැනු සතා අතහැර නොයයි. අඩි 19 ක් ඉහළට පැනීමේ හැකියාව ඇත. වන විනාශය මෙම දිවියන්ගේ අභාවයට හේතුවක් වී ඇත.

‘ද සන්’ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS