ජිහාද්වාදීන් අන්තවාදයට ගෙනයන අධ්‍යාපන ආයතන



ඉරාකයේ බන්ධනාගාර නැවත වරක් ජිහාද්වාදීන් අන්තවාදයට ගෙනයන “අධ්‍යාපන ආයතන” බවට පත්වෙමින් තිබෙන බව විශේෂඥයෝ අනතුරු අඟවති.

අයි.එස්. සංවිධානයට බැඳුණු බවට චෝදනා ලැබූ ඉරාක වැසියන් සහ විදේශිකයන් දහස් ගණනකින් එරට සිර මැදිරි පිරී ඇත.

බන්ධනාගාර ජිහාද්වාදීන්ගේ ප්‍රමුඛතම ස්ථානයක් බවට  පත්ව තිබිණි. එම තත්ත්වය නැවත ඇතිවෙමින් තිබෙන බව ද විශේෂඥයෝ අනතුරු අඟවති. අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩී ද අන්තවාදී ජිහාද් මතවාදවලට පෙළඹුණේ සිරභාරයේ සිටියදී යැයි පැවසේ. අයි.එස්. සංවිධානය ප්‍රකාශයට පත් කළ කලීෆාව මාර්තු මාසයේදී පරාජයට පත්වුවත් අයි.එස්. සංවිධානය සිය උත්තරීතර නායකයා ලෙස සලකන බැග්ඩෑඩීගේ බලපෑම තවමත් අවසන් වී නැත.

ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු දිග ඉරාකයේ කාන්තාර ප්‍රදේශයක ‘බුකා’ නමින් රැඳවුම් කඳවුරක් පවත්වාගෙන ගිය අතර බැග්ඩෑඩී එම කඳවුරේ රඳවා තැබුණි. ජිහාද් නායකයකු ලෙස කලඑළි බසින්නට මත්තෙන් බැග්ඩෑඩී මෙම කඳවුරේදී අන්තවාදීන් හා ජිහාද්වාදීන් හා මුසුවෙමින් එම මතවාදවලින් පෝෂණය වූ බව පැවසේ.

“එවැනි කණ්ඩායම්වල ජිහාද්වාදීන්ට සිරගෙවල් යනු ජිහාද්වාදයේ එක් අවධියක් පමණක්” යැයි ඉරාකයේ ජිහාද් ව්‍යාපාර හා ක්‍රියාකාරකම් පිළිබඳ විශ්ලේෂකයකු වන හිෂාම් අල් හෂේමී පැවැසීය.

ඔවුහු සිරමැදිරි තුළ සිටිමින් ආගමික අධ්‍යයන පාඨමාලා පවත්වාගෙන යති. සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවල සැලසුම් සකසති. ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීමට අණදෙති.

“සිරමැදිරි ජිහාද්වාදීන්ගේ අධ්‍යාපන ආයතන බවට පත්වෙලා. අන්තවාදී අදහස් තිබෙන එක සිරකාරයෙක් වුණත් ඇති. ඔහුට අනෙක් පිරිස ඔහුගේ පැත්තට නම්මාගන්න පුළුවන්” යැයි හෂේමි ප්‍රංශ පුවත් සේවයට කීවේය. 

අයි.එස්. සංවිධානයට සම්බන්ධ වූ බවට චෝදනා කරමින් තම වැසියන් මෙන්ම විදේශිකයන් දහස් ගණනකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට ඉරාකය පියවර ගෙන ඇත.

මෑතකදී සිරියාවෙන් එවන ලද ඉරාක ජාතිකයන් 900ක් සම්බන්ධයෙන් ද නඩු විභාග කිරීමට ඉරාකය පියවර ගත්තේය. එමෙන්ම නෛතික තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති විදේශිකයන් සම්බන්ධයෙන් නඩු විභාග ආරම්භ කෙරුණි.

කෙසේ නමුත් ඉරාකයේ බන්ධනාගාර දැඩි විවේචනවලට ලක්ව තිබේ.

ඉරාක අංශ නිශ්චිත සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් ඇතැම් පිරිසක් රඳවාගෙන ඇතැයි විවිධ සංවිධාන චෝදනා කරයි. වදහිංසා පමුණුවමින් ඔවුන්ට අවශ්‍ය දේ ඇතැම් සිරකරුවන් ලවා පාපොච්චාරණය කරවාගන්න බව ද නීතිඥයකු ලැබීමට ඇති අහිමි වූ සැකකරුවන් දහස් ගණනකගෙන් බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇතැයි ද එම සංවිධාන චෝදනා කරයි.

විසිදෙනකු සඳහා ඉදි කර ඇති සිර මැදිරිවලට 50 දෙනකු පුරවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ගවලින් කියැවිණි. පවුලේ ඥාතීන් හෝ බිරින්ඳෑවරුන් මාර්ගයෙන් ජිහාද්වාදීන් පිටතට තොරතුරු යවන බවත් ඔවුන් මාර්ගයෙන්ම සිරමැදිරිවලට ජංගම දුරකතන ගෙන්වා ගන්නා බවත් එම ආරංචිමාර්ගවලින් කියැවිණි.
සුළු වැරැදිවලට අත්අඩංගුවට ගත් පිරිස් ද රඳවා ඇත්තේ දැඩි මත දරන ජිහාද්වාදීන් සමඟය. එවැනි ජිහාද්වාදීන් සමඟ සිටීමෙන් සාමාන්‍ය පිරිස් අන්තවාදයට යොමුවන බව ආරක්ෂක විශ්ලේෂකයකු වන ෆදෙල් අබු රගීෆ් පැවැසීය.

“රඳවාගෙන සිටින බෝහෝ දෙනා ඉස්ලාමීය නීතිවේදීන් සහ චින්තකයන්. ඔවුන්ට තර්ක කරන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් සාමාන්‍ය අයගේ මොළ සුද්ද කරන්න. තමන්ගේ මතවාදයට අනෙක් අය නම්ම ගන්න ඔවුන්ට පුළුවන්” යැයි රගීෆ් කීවේය.

බන්ධනාගාරවල සිටින බොහෝ දෙනා ඉගෙන ගන්නේ සාම්ප්‍රදායික ආගමික විශ්වාස හෝ ඇදහීම් නොව හිංසනය යැයි අබු රගීෆ් කීය.

ඇමෙරිකා ප්‍රමුඛ හමුදා 2003 දී සදාම් හුසේන් පාලනය පෙරළා දැමීමෙන් කැරැලිකාර කණ්ඩායම්වලට ඔවුන් නොවැදගත්කොට සහ නොසලකා හැරියේ යැයි හැඟීමක් ඇතිවිය. ඔවුන්ගෙන් බොහෝ සුන්නි මුස්ලිම් ජාතිකයෝ වූහ. නොසලකා හැරීම සහ නොවැදගත් කොට සැලකීම යන කරුණු හේතුවෙන් සුන්නි මුස්ලිම් තරුණියන් ජිහාද් සංවිධානවලට එක්වීම වැළැක්විය නොහැකි තත්ත්වයක් බවට පත්විය.

අවුරුදු 15කට පසු නැවත වරක් එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇතැයි නිරීක්ෂකයෝ බිය පළ කරති.

“මර්දනය සිදුවුණා. එහෙත් සුන්නි ප්‍රජාවලට දුක් ගැනවිලිවලට විසඳුම් ලැබුණේ නැහැ” යැයි නිව්යෝක් නුවර පදනම් කරගෙන ක්‍රියාත්මක අධ්‍යයන ආයතනයක් වන සුෆාන් මධ්‍යස්ථානය සඳහන් කළේය.
අයි.එස්. ත්‍රස්ත සංවිධානයෙන් බේරාගත් සුන්නි බහුතරයක් වෙසෙන ප්‍රදේශවලට යොදා ඇත්තේ ඉරාක රජයේ අනුග්‍රහය ලබන ෂියා හෂීද් අල් ෂාබී සන්නද්ධ බලඇණිය. මේ හේතුවෙන් එම ප්‍රදේශවල සුන්නි මුස්ලිම්වරුන් අතර නිකායවාදී ප්‍රතිවිරෝධයක් ඇති වී තිබේ. එම ප්‍රදේශවල සුන්නි මුස්ලිම්වරුන්ගෙන් ෂියා මුස්ලිම් බලඇණිවලට දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි සුෆාන් මධ්‍යස්ථානය වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරමින් සඳහන් කළේය.

සුන්නි මුස්ලිම්වරුන් අතර ඇතිවෙමින් තිබෙන කෝපය නිසා 2000 වසර මැදදීත් ඉන් පසු වසරවලදීත් ඇති වූ තත්ත්තවයට සමාන තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

“බුකා කඳවුරේදී එවැනි දේවල් සිදුවුණා. මේ කඳවුරු සහ රැඳවුම් මධ්‍යස්ථාන අන්තවාදය ව්‍යාප්ත කරන මධ්‍යස්ථාන බවට පත්වුණා” යැයි ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඉරාක රජය රැඳවුම් මධ්‍යස්ථානවල සහ සිර කඳවුරුවල කොතරම් පිරිසක් සිටිනවාද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම කොතරම් පිරිසකට ත්‍රස්තවාදී හෝ ඊට සම්බන්ධ චෝදනා එල්ල වී තිබේද යන්න ප්‍රකාශයට පත් කිරීමට ඉරාක රජය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත් කරන ලද අධ්‍යයනවලට අනුව අයි.එස්. සංවිධානය සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනා මත 20,000කට ආසන්න පිරිසක් එම මධ්‍යස්ථානවල සිටින බව ඇස්තමේන්තු කර ඇත.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඇතැම් රැඳවුම් මධ්‍යස්ථාන වසා දැමිණි. උදාහරණයක් ලෙස ඇමෙරිකානු හමුදා ඉරාකයේ සිටි කාලයේදී සිරකරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත් බවට ප්‍රසිද්ධියට පත්වූ අබු ග්‍රයිබ් නමැති රැඳවුම් සංකීර්ණ වසා දමා ඇත.

ඇතැම් බන්ධනාගාර, රැඳවුම් කඳවුරු සහ සිර කඳවුරු කැරැලිවලට ගොදුරු වී ඇත. ඇතැම් ඒවායෙන් ත්‍රස්තවාදී චෝදනා ලැබූ සැකකරුවන් පැන ගොසිනි.

දැනටමත් ඉඩ නොමැති බන්ධනාගාරවලට සහ රැඳවුම් මධ්‍යස්ථානවලට මෑතකදී අල්ලා ගත් සටන්කාමීන් ගෙන එන බව පැවසේ.

“මාරුකරන කරන දහස් ගණනක් දෙනා රඳවා තැබීමට බන්ධනාගාරවල හෝ සිර කඳවුරු හෝ රැඳවුම් මධ්‍යස්ථාන ප්‍රමාණවත් නැහැ. මේ සියල්ල දැනටමත් සිරකරුවන්, සැකකරුවන්ගෙන් පිරිලා” යැයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ බෙල්කිස් විලී පැවැසුවාය.

අධිකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය වැඩි කරන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බව විලී කීවාය. කෙසේ නමුත් ඉරාක බලධාරීන්ගේ මනසේ තිබෙන්නේ වෙනත් යමක් යැයි ද ඇය කීවාය.

“බලධාරීන් ඉතා හොඳින් දැනුවත් වී සිටිනවා. අබු ග්‍රයීබ් හෝ බුකාවල හෝ සිදු වූ නැවත ඉඩ නොදෙන්න ඔවුන් වගා බලාගනිමින් ඉන්නවා” යැයි ඇය ප්‍රංශ පුවත් සේවයට සඳහන් කළාය.

“බොහෝ සිරකරුවන් මරණ දඬුවමට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වෙලා. ඉරාක බලධාරීන්ගේ අරමුණ වෙලා තියෙන්නේ මේ කාටවත් එළියට එන්න ඉඩ නොදීම” යැයි ද ඇය කීවාය.  

හර්ෂණ තුෂාර සිල්වා
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි    


RECOMMEND POSTS

RELATED POSTS