චීනය ස‍ඳ‍ෙන් පස් ගෙනාපු හැටි



චීනයේ ‘චැංග්ඊ5’ චන්ද්‍ර යානයට අයත් කැප්සියුලය, ස‍ඳ‍ෙන් පස් හා ගල් සාම්පල රැගෙන, පසුගිය 17 වැනිදා පෘථිවියට පැමිණියේය. කොරෝනා වසංගතය මැද, තම බලපුළුවන්කාරකම් ලොවට පෙන්වමින්, චීනය කළ මෙම හපන්කම ඇමෙරිකාවට අභියෝගයක් විය. මේ අයුරින්, පෘථිවි යානයක්, සඳට ගොස් පස් සහ ගල් සාම්පල රැගෙන ආවේ වසර 45 කට පසුවය. ඒ, අනුව ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට පසු ස‍ඳ‍ෙන් පස් හා ගල් සාම්පල රැගෙන ආ තෙවැනි රට වන්නේ ද චීනයයි. අවසන්වරට මෙවැනි වික්‍රමයක් කළේ සෝවියට් දේශයයි. ඒ, 1976 දීය‍. සෝවියට්වරුන් සඳට යවා පස් ගෙන්වා ගැනීම කළේ ‘ලූනා 24’ යානය මගිනි.

ආපසු ආ ගමනේ දී රාත්තල් 661 ක් බර මේ කැප්සියුලය ඇතුළු කොටස, පෘථිවියට ගොඩබෑම කළේ අදියර කීපයකිනි. කැප්සියුලය, කෙළින්ම පෘථිවි වායුගෝලයට ඇතුළු නොවිණි. කැප්සියුලයට උපදෙස් දී තිබුණේ අරාබි මුහුදට ඉහළින් පෘථිවි ගෝලයට සෙමින් ඇතුළු වීමටය. නියමිත අවස්ථාවේදී එසේ සිදුවිය.

පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ යානය වේගයෙන් පහළට ඇදී ආවේ ගිනි ගෙන දැවෙමින්, දිගු ආලෝක ධාරාවක් සහිත උල්කාපාතයක් ලෙසය. පෘථිවියට පතිත වීමට ඔන්න මෙන්න කියා තිබියදී පැරෂූට් දිග හැරිණි. ඒ අනුව, කැප්සියුලය සෙමින් සෙමින් චීනයේ උතුරු දෙසින් පිහිටි මොංගෝලියාවේ කාත් කවුරුවත් නැති පළාතකට පතිත විය. චීනය ඔවුන් විසින් උඩු ගුවනට යවා ගෙන්වා ගන්නා සියලු ගගන කැප්සියුල පතිත කිරීමට උපදෙස් දෙන්නේ මොංගෝලියාවට අයත් මෙම ප්‍රදේශයටය. සියල්ල සිදුවූයේ පෙර සැලසුම් කර තිබුණු අන්දමිනි. සිදු කළ ගණනය කිරීම් දශමයකින් හෝ වෙනස් වූයේ නම් මෙහෙයුම අසාර්ථක වීමට ඉඩ තිබුණි. කැප්සියුලය පතිත වන තුරු චීන අභ්‍යවකාශ විද්‍යාඥයෝ සහ හමුදා සොල්දාදුවෝ දෑස් දල්වා බලා සිටියහ.

කැප්සියුලය පතිත විය. පළමුවෙන් එය පරීක්ෂා කළේ චීන අභ්‍යවකාශ ආයතනයට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායමය. කැප්සියුලය තුළ වූ ස‍ඳ‍ෙන් ගෙනා පස් හා ගල් අඩංගු කොටස ඉවත් කර ගෙන, එය සුරක්ෂිතව චීනයේ බීජීං අගනුවරට රැගෙන යෑම ඉන්පසු සිදුවිය. චීනය ස‍ඳ‍ෙන් ගෙනා පස් සහ ගල් මීට පෙර ස‍ඳ‍ෙන් ගෙනා පස් සහ ගල්වලට වඩා වෙනස්ය. මීට පෙර සෝවියට් දේශය හා ඇමරිකාව ගෙනා පස් හා පාෂාණවලට වඩා මේවා වසර බිලියන ගණනක් වයසින් අඩු බව පැවැසෙයි. ඒවා පරීක්ෂා කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහවස්තූන්ගේ සහ ස‍ඳ‍ෙහි ඉතිහාසය පිළිබඳ නව දැනුමක් ලබා ගැනීමට මඟ පෑදෙනු ඇතැයි චීන විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. චීන රජයේ රුපවාහිනියෙන් කැප්සියුලය සොයා ගන්නා අයුරු සහ විද්‍යාඥයන් එය පරීක්ෂා කරන අයුරු දසුන් සජීවීව විකාශය කෙරුණි.

ස‍ඳ‍ෙන් ගෙනා පස් සාම්පලවලින් කොටසක් චීනයේ විමුක්තිදායකයා වූ සභාපති මාවෝගේ උපන් ස්ථානය වූ ෂාවොෂාන්හි තැන්පත් කෙරුණි. ඒ, ‘සිය දේශයට යම් දවසක සඳ අල්ලන්න හැකි වේවා’යි කළ ඔහුගේ පැතුමට ගෞරවයක් ලෙසය. පස් සාම්පල ලබා ගත්තේ සඳ‍ෙහි ‘ඕෂේනියස් ප්‍රෝසිලාරම්’ හෙවත් කුණාටු මුහුදේ ‘මොන්ස් රුම්කර්’ නම් ස්ථානයෙනි. එය ආදි යුගයේ යමහලක් (ගිනිකන්දක්) පැවති ස්ථානයක් බව පැවැසෙයි. ‘මේ පස් හා පාෂාණ, විද්‍යඥයන්ට දළ වශයෙන් වසර බිලියන එකත් තුනත් අතර වන සඳ‍ෙහි වයස් කාලය තුළ ඉතිහාසයේ අඩුතැන් පුරවා ගැනීමට උපකාර වෙනවා.’ යැයි ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යා පිළිබඳ මැක්ඩොනල්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය බ්‍රැඩ් ජොලිෆ් ඊමේල් මගින් සඳහන් කර තිබේ.

‘ඊට අමතරව එය අපට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වන සාන්ද්‍රණය වූ හයිඩ්‍රජන් ‍හා ඔක්සිජන් ඇතැයි පළ කෙරෙන ඉඟි ඇත්නම් ඒවා සොයා ගැනීමටත් මේවා පිරික්සීමෙන් පුලුවන් වේවි. ඒ අතින් මේ සාම්පල ධන නිධානයක් වගෙයි’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ. ‘මා අපේ සහෝදර චීන විද්‍යාඥයන්ට සුබ පතනවා, මෙවැනි අසීරු කටයුත්තක් සාර්ථක ලෙස නිම කළාට. මෙවැනි සාම්පල ගෙනවුත් කරන විශ්ලේෂණවලින් වසර ගණනාවකට අවශ්‍ය තොරතුරු හෙළි කර ගන්න පුලුවන්. ඒ සඳහා ජාත්‍යන්තර විද්‍යා ප්‍රජාවගේ සහයෝගය ලබා ගනීවි යැයි අපේක්ෂා කරනවා.’ යැයි ද මහාචාර්ය බ්‍රැඩ් ජොලිෆ් පවසා තිබේ.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS