කිඹුලන් අල්ලන්න බබාලා ඇමට දුන් හැටි



‘තමන් උපදින්න පෙර සිදුවුණු සිදුවීම් ගැන හෝ තමන්ගේ වර්ගයාගේ ඉතිහාසය ගැන හෝ නොදන්න පුද්ගලයා සදාකල් ළදරුවෙකි.’ - ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස්.

මෙම කියමන උපුටා දක්වමින්, ඇමෙරිකාවේත්, යුරෝපා රටවලත් වහලුන් බවට පත්වුණු තම කළු ජාතික මුතුන්මිත්තන් ගැන සිහිපත් කරමින්, වර්තමානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල වෙසෙන අප්‍රිකා ඩයස්පෝරාවට ඒ අමිහිරි අතීතය සිහිපත් කරන ලේඛකයකු ලෙස අප්‍රිකානු ලේඛක ‘චූකා න්ඩු’ හඳුන්වා දිය හැකිය. සමාජ ජාල ඔස්සේ ද ප්‍රසිද්ධ චරිතයක් වන ‘චූකා න්ඩු’, ‘ලිබර්ටි රයිටර්ස් ඔෆ් ඇෆ්රිකා’ යන නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යයි. මෙහි දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ පළවූ එක් කතාවකි.

ඇමෙරිකාවේත් උතුරු ඇමෙරිකාවේත් ජීවත් වන කිඹුල් විශේෂය හැඳින්වෙන්නේ ‘ඇලිගේටර්’ යනුවෙනි. කෙටියෙන් ‘ගේටර්’ යනුවෙන් ද හැඳින්වෙන මෙම කිඹුලන්ගේ සමට 1800 වසරේ සිට 1900 වසර තෙක් කාලයේ ඉතා හොඳ ඉල්ලුමක් පැවැතිණි. ඇලිගේටර් සමින් සපත්තු, ඉනපටි, බෑග්, ජැකට් ඇතුළු සම් භාණ්ඩ රැසක් නිෂ්පාදනය කෙරුණි. ඇලිගේටරයන් බහුලව වාසය කරන්නේ ඇමෙරිකාවේ ලුයිසියානා සහ ෆ්ලොරීඩා ජනපදවල වගුරු ආශ්‍රිතවය. (ඊට අමතරව ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රාන්තවල ද ඇලිගේටරයන් දකින්න ලැබේ.)

සම් ලබා ගැනීම සඳහා ඇලිගේටරයන් දඬයම් කිරීම ඇමෙරිකන් සුද්දන්ට ඉතා අවදානම් ක්‍රියාවක් විය. වගුරට බැස බොර වතුරේ ඇලිගේටරයන් අල්ලන්න යෑම, අතක් පයක් පමණක් නොව, ජීවිතය ද අහිමි වීමකි. දිවා කාලයේදී පමණක් නොව රාත්‍රියේදී ද ඇලිගේටරයන් වගුරේ පැහැදිලි තැනකට ගෙන්වා ගැනීම ද පහසු නැත. මැරුණු සතකුගේ සිරුරක් හෝ ගාතයක් හෝ ඇමක් ලෙස යොදා ගැනීම සාර්ථක නොවෙයි. හේතුව, ඇලිගේටරයන් ද අනෙක් කිඹුල් විශේෂ සේම, පණ ඇති ගොදුරක් අල්ලා ගැනීමට ප්‍රිය කරන බැවිනි.

මේ නිසා ඇලිගේටරයන් වතුරේ සිටින ඇලිගේටරයන් ගොඩබිමට ගෙන්වා ගෙන අල්ලා ගැනීමට නම් පණ ඇති ඇමක් භාවිත කළ යුතුය. පණ ඇති ඇමක් ලෙස එළු පැටවුන්, කුකුලන්, මියන් වැනි කෘන්තකයන් හෝ සොයා ගැනීමට නොහැකි වූ බැවින්, ලුයිසියානා සහ ෆ්ලොරීඩා ඇලිගේටර් දඩයක්කරුවෝ කළු වහලුන්ගේ දරුවන් ඒ සඳහා යොදා ගත්හ. මේ කාලයේ, යදමින් බැඳ ඇමෙරිකාවට ගෙනා අප්‍රිකානු රටවලින් අල්ලා ගෙන ආ කල්ලෝ ඇමෙරිකානුවන්ට බැලමෙහෙවර කරන්න වූහ. ඔවුන්ගේ පුංචි දරුවන් ඔවුන්ගෙන් පැහැරගෙන යෑම හෝ බලහත්කාරයෙන් රැගෙන යෑම හෝ සුදු ජාතික ඇමෙරිකානුවන්ට ගැටලුවක් නොවීය. කළු ජාතික වහලුන් ට බල්ලන් බළලුන්ට තරම්වත් අනුකම්පාවක් එදා තිබුණේ නැත.

ගේටරයන් අල්ලා ගැනීමට ඇම ලෙස කළු ජාතික වහලුන්ගේ ළදරුවන් යොදා ගැනීමට ඇමෙරිකන් සුද්දන් කෲර වූහ. මවුපියන්ගෙන් පැහැර ගන්නා ළදරුවන් වගුරට ගෙන ගොස් ඉවුරේ සෙල්ලම් කරන්න ඉඩ ලබා දෙයි. එසේත් නැතිනම් ලණුවකින් ඔවුන් ගැට ගසා තබයි. ඒ, ඇලිගේටරයන්ට ඇමක් ලෙසය. බොහෝ වෙලාවට ඇලිගේටරයා මරා ගැනීම සිදුවෙද්දී, උගේ හකුපාඩා අතරට ළදරුවා පොඩි පට්ටම් වී අවසන්ය.

කළු ළදරුවන් මේ අයුරින් ගේටර ඇමක් ලෙස භාවිතයට ගත්තැයි පැවැසීම අද වනවිට ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි කියා ගනිමින්, මානව අයිතීන් ගැන මහ උජාරුවට කතා කරන ඇමෙරිකාවේ සුදු ජාතිකයන්ට අවමානයකි. එය ඔවුන්ගේ අතීතයේ අඳුරු පැල්ලමකි. එම අඳුරු අතීතය වසං කිරීමට සුදු ඇමෙරිකානුවෝ හැමවිටම උත්සාහ ගනිති. කෙසේ නමුත් ඇලිගේටරයන්ට ඇමක් ලෙස ළදරුවන් බිලි දීම වසං කළ නොහැකිය. මුඛ පරම්පරාවෙන් ආ කතාන්දර ලෙස පමණක් නොව, පැරැණි පුවත්පත් සටහන් ලෙස ද මෙම සිදුවීම් ඉතිහාස වාර්තා අතරට එක් වී අවසන්ය.

1923 වසරේ ‘ටයිම්’ සගරාවේ පළවූ පුවතක මෙසේ දැක්වෙයි. ‘චිප්ලි, ෆ්ලොරිඩාවේ සිට. කළු වහලුන්ගේ දරුවන් ඇලිගේටර් ඇමක් ලෙස යොදා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් වාර්තා රැසක් පළ වෙයි. වගුරු කොනකට ළදරුවන් ගෙන ගොස් ඔවුන්ට තනිවම සෙල්ලම් කරන්න ඉඩ දෙයි. ඒ අතරේ ඉලක්කයට වෙඩි තැබීමට දක්ෂ තුවක්කුකරුවකු ඊට නුදුරින් නිසොල්මනේ සැඟවී සිටී. ඇලිගේටරයකු ළදරුවා අල්ලා ගැනීමට පැමිණෙද්දී, ඌ තුවක්කුකරුගේ ඉලක්කය වෙයි. චිප්ලි වාණිජ මණ්ඩලය මෙවැනි සිදුවීම් තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම සිදුවීම් පට්ටපල් බොරු ලෙස පවසා තිබේ. කෙසේ නමුත්  මෙවැනි කතා විශ්වාස කරනසුදු ජාතික ඇමෙරිකානුවෝ බොහෝ දෙනෙක් වෙති.’

ඇමෙරිකාවේ කළු වහලුන් සහ කළුවහලුන්ට සිදුවුණු අසාධාරණකම්, කෙණෙහිලිකම් ගැන දැනුවත් වීමට ඇති හොඳම තැනක් ලෙස සැලකෙන්නේ ‘ජිම් ක්‍රෝව්’ කෞතුකාගාරයයි. මෙය මිචිගන් නුවර, ෆෙරිස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පිහිටයි. මෙම කෞතුකාරයේ ඇති එක් සුවිශේෂී ඡායාරූපයකි. මෙම ඡායාරූපයේ සිටින්නේ නිරුවත් කළු ළදරුවන් පිරිසකි. මොවුන් සිටින්නේ හඬමිනි. ඡායාරූපයේ පහළින් ඇත්තේ වදන් දෙකක් පමණි. ‘ඇලිගේටර් ඇම’ යනුවෙන් එහි සඳහන් වෙයි.

ඇමෙරිකන් සුද්දන් පමණක් නොව, ලංකාව යටත් විජිතයක් කරගත් බ්‍රිතාන්‍ය සුද්දන් ද කිඹුල් දඩයමට ඇම ලෙස දරු පැටවුන් යොදා ගත් ආකාරය ප්‍රේමකීර්ති රණතුංගයන්ගේ නවතම ‘පොල් මට්ටා’ නවකතාවේ ද සඳහන් වෙයි.

ලුසිත ජයමාන්න
‘ලිබර්ටි රයිටර්ස්
ඔෆ් ඇෆ්රිකා’ ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS