ඔබ දැනගත යුතු කරුණු 5ක් - 2019.12.19



ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය දිනපතා ‘ෆයිව් තිංග්ස්’ යනුවෙන් කෙටි විශේෂාංගයක් පළ වෙයි.
මැදපෙරදිග පුවත් වෙබ් අඩවියේ පළවන මෙම විශේෂාංගය ඒ අසුරින් නිර්මාණය වී ඇත.
අප මෙය ඔබට ඉදිරිපත් කරන්නේ ‘ඔබ දැනගත යුතු කරුණු 5 ක්’ යනුවෙනි.

1. දෝෂාභියෝගය

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය නිල වශයෙන් සම්මත කරගත්තේය. චෝදනා දෙකකට එරෙහිව ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙනා අතර එය බොහෝ දුරට පක්ෂ දෙකේ සටනක් බවට පත්විය. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු චෝදනා දෙකකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ තවත් අයෙක් එක් චෝදනාවකට පක්ෂවද අනෙක් චෝදනාවට විපක්ෂවද ඡන්දය භාවිත කළේය. රිපබ්ලිකන් පක්ෂයේ කිසිදු සාමාජිකයකු චෝදනාවලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ නැත. මේ සියල්ල සිදුවෙද්දි ට්‍රම්ප් සිටියේ මිචිගන් හි පැවැති ‘නත්තල්’ රැලියකට එක්වෙමිනි. එහිදි ඔහු දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කළේය. දෝෂාභියෝග චෝදනාව සෙනට් මණ්ඩලයේදී විභාගයට ගැනීමට නියමිතය. ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා සිටි පරිදි සෙනට් සභාවේ දෝෂාභියෝග විභාගය කිරීමට සෙනට් සභාවේ බහුතර බලය හිමි පක්ෂයේ නායක මිච් මැක්කොනෙල් එකඟ කරගත යුතු ඩිමොක්‍රටික් පක්ෂයේ ඇතැම්හු පවසති.

2. දේශපාලනය

බදාදා (18) දිනය ඇමෙරිකානු දේශපාලනයේ ඉතාම දුර්ලභ සහ කාර්යබහුල දිනයක් බවට පත්විය. දෙසැම්බර් 18 වැනිදා එනම්, බදාදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගය විභාගයට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද සිදු කෙරුණි. ඒ අතරවාරයේදී ෆෙඩරල් දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ නාමයෝජනා 11ක් ඉක්මන් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ගිවිසුමකට එළැඹීට ද සෙනට් සභික මැක්කොනෙල්ට සිදුවිය. ඇමෙරිකාවේ අධිකරණ වපසරිය තුළ වෙනස් කිරීම විශාල සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මැක්කොනෙල් සමත්විය. ඔහු යටතේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 50 දෙනක-ු පත් කෙරුණු අතර එක් අතකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණයක් ද විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගෙනා ‘දැරිය හැකි සුව පනත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ද එරට ෆෙඩරල් අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නේය. එම පනත ‘ඔබාමාකෙයා’ යනුවෙන් හැඳින්විණි. අභියාචනාධිකරණ තීන්දුවෙන් එම සම්පූර්ණ නීතියම අවලංගු නොකළ නමුත් එය ජනාධිපති ට්‍රම්ප් ලැබූ දේශපාලන ජයග්‍රහණයක් විය. ‘ඔබාමාකෙයා’ නවත්වන බව ජනාධිපති ට්‍රම්ප් අවස්ථා ගණනාවකදීම කීවේය. ඒත් සමඟම ඇමෙරිකාවේ සුව සේවා දේශපාලන කරුණක් බවට පත්වනු ඇත. මේ සිදුවීම් සියල්ලත් සමඟ සුවාසේවා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් ගැනීමට සිදුවන්නේ 2020න් පසුවය.

3. කොරියාව

දකුණු කොරියාවේ ස්ථාපිත ඇමෙරිකා එක්සත් ජනපද බලඇණිවල පිරිවැය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඇමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වීය. මේ වනවිට එම සාකච්ඡා එකතැන නැවැතී ඇත. ඇමෙරිකා හමුදා වෙනුවෙන් සියයට 400ක් ගෙවන්නැයි ට්‍රම්ප් දකුණු කොරියාවට පවසා ඇතැයි වාර්තා විය. දැනට පවතින එකඟතාව මේ වසර අවසානයේදී අවසන් වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් වන මීළඟ සාකච්ඡා වාරය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. දෙරට අතර එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වුවහොත් ජනාධිපති ට්‍රම්ප් එක්පාර්ශ්වීය ලෙස කොරියානු කලාපයෙන් හමුදා ඉවත් කරගනු ඇතැයි කනස්සල්ලක් ඇති වී තිබේ. මෙම ගිවිසුම ඇමෙරිකා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට බැඳ තබන තවත් එක් සුමට සහ පරෙස්සම් සහගත රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයකි. උත-ුරු කොරියාව දිගින් දිගටම දිගු දුර මිසයිල අත්හදා බලමින් සිටින අතර න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වල නිරත වේ. එම නිසා ට්‍රම්ප් පරිපාලනය බරපතළ සහ අර්බුදකාරී තත්ත්වයකට පත්කර ඇත. හුදෙකලා රටක් ලෙස සැලකෙන උතුරු කොරියාව සමඟ ට්‍රම්ප් පරිපාලනය අසාමාන්‍ය සබඳතාවක් ගොඩනගා ගැනීම ඊට හේතුවක් වී තිබේ.

 

4. පිලිපීනය

මීට වසර දහයකට සමස්ත පිලිපීන දේශපාලන කරළියම කැලඹූ පුද්ගලයන්ට බ්‍රහස්පතින්දා (19) දඬුවම් හිමිවිය. සංහාරයක් සැලැසුම් කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි. ජනමාධ්‍යවේදීන් 38 දෙනකු ඇතුළු පුද්ගලයන් 58 දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට දාටු අන්දාල් අම්පටුවාන් වරදකරු වන බව විනිසුරුවරයා තීන්දු කළේය. දාටු අන්දාල්ගේ ඥාතීන් කිහිපදෙනකුට ද දඬුවම් හිමිවිය. මෙම නඩු විභාගය දශකයේ නඩු විභාගය ලෙසින් ද හැඳින්විණි. මෙම සිදුවීම තවම පිලිපීනයේ දේශපාලනයට බලපෑම් එල්ල කරයි. මෙම සිදුවීම වන අවස්ථාවේදී ඔහුට පිලිපීන පොලිසියේ සහ හමුදාවේ සහාය හිමිවිය. එම සංහාරයෙන් පසුව පිලිපීන ආණ්ඩුව හමුදා නීතිය ප්‍රකාශයට පත් කළේය. අද දුන් මේ තීන්දුව මානව හිමිකම් ක්‍රියාකාරීන්ට නව අවස්ථාවක් උදා කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් සිදුවන වංචා දූෂණ මෙන්ම සන්නද්ධ ක්‍රියාකාරකම් සහ ඒවාට බලවත් පවුල් සහ කණ්ඩායම් සිදු කරන මැදිහත්වීම් නැවැත්වීමට මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අවස්ථාව උදා වී තිබේ.

5.  ස්ථුලභාවය

තවත් වසර දහයකින් ඇමෙරිකාවේ හරි අඩකට ආසන්න පිරිසක් ස්ථුලභාවයෙන් පෙළෙනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඒ නිසා ඊට පිළියම් සෙවීමට එක්ව ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ. ස්ථුලභාවය පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්නයක් නොවන බවත් එය සමාජ ප්‍රශ්නයක් බවත් එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ. අධ්‍යයනයෙන් අනාවැකි පළ කරන අයුරින්ම සිදුවුවහොත් සෞඛ්‍ය සේවා සඳහා කරන වියදම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වනු ඇති බවත් ස්ථුලභාවයට සම්බන්ධ සෞඛ්‍ය ප්‍රතිවිපාකවල ඉහළ යෑමක් සිදු වනු ඇති බවත් විශේෂඥයෝ පෙන්වාදෙති. කෙසේ නමුත් බලපොරොත්තුවක් තිබෙන බව ද ඔවුහු පෙන්වාදෙති. අවදානම මඟ හරවා ගැනීමට සාමූහිකව, තනි තනිව කළ හැකි ගත ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙන බව ද ඔවුහු කියති. ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම ඉන් එකක් යැයි ඔවුහු පෙන්වාදෙති. රිය පැදවීමට වෙනුවෙන් ඇවිදීම, සති අන්තයේදී පාසල් විවෘතව තබමින් පිහිනීමට සහ ව්‍යායාමවල යෙදීමට පාසල්වල තිබෙන පිහිනුම් තටාක සහ ව්‍යායාම මධ්‍යස්ථානවලට ප්‍රවේශවීමට ඉඩ සැලැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව සමාජ සහ සෞඛ්‍ය ආශ්‍රිත ප්‍රතිලාභ ලබාගැනීමට ජනතාවට ඉඩ ලබාදීම විශේෂඥයන් යෝජනා තවත් ක්‍රමවේදයකි.

හර්ෂණ තුෂාර සිල්වා
සී.එන්.එන්. ඇසුරිනි

RECOMMEND POSTS

RELATED POSTS