අල්තිමා තියුලීගේ රහස



2019 නව වසර උදාවීමත් සමඟ අභ්‍යවකාශ ගවේෂණයේ වික්‍රම දෙකක් සිදුවිය. එයින් එකකට ඇමෙරිකවේ නාසා ආයතනය සම්බන්ධ වූ අතර, අනෙකට සම්බන්ධ වූයේ චීන අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයයි.

නාසා ආයතනය, මේ වනවිට විශ්වයේ සැරිසරමින් රහස් සොයමින් සිටින ඔවුන්ගේ ‘නිව් හොරයිසන්ස්’ රොබෝ ගවේෂණ යානය මෙහෙයවා, කුයිපර් වළල්ලේ ඇති එක් ග්‍රහ වස්තුවක් ගවේෂණය ඇරැඹීය. මිනිසා විසින් අභ්‍යවකාශයේ වැඩිම දුරකින් ඇති ග්‍රහ වස්තුවක් ගවේෂණය කිරීමට යානාවක් යැවූ පළමු අවස්ථාව මෙයයි.

නිව් හොරයිසන් යානය ගවේෂණය කිරීම ආරම්භ කළේ අල්තිමා තියුලී නමැති ග්‍රහ වස්තුවය. මෙය ලොකු සහ කුඩා වශයෙන් ග්‍රහ වස්තු දෙකක් එකට එක්වීමකි. ලොකු ග්‍රහ වස්තුව අල්තිමා වන අතර කුඩා ග්‍රහ වස්තුව තියුලී වෙයි.

බැලූ බැල්මට පෙනුම හිම මිනිසකු වැනිය. එහෙයින් අල්තිමා තියුලී හිම මිනිසා යනුවෙන් මාධ්‍ය විසින් හඳුන්වා දී ඇත. අල්තිමා තියුලී ගවේෂණයට ගියේ නාසා ආයතනයේ නිව්හොරයිසන්ස් ගවේෂණ යානයයි. මෙම යානය 2015 වසරේ දී කුරු ග්‍රහයකු ලෙස සැලකෙන ප්ලූටෝ අසලින් ගොස් ඡායාරූප ලබා ගනිමින්, රහස් අනාවරණය කළේය.

ප්ලූටෝ ඇත්තේ පෘථිවියේ සිට සිට කිලෝ මීටර් බිලියන 7.5 දුරිනි. අල්තිමා තියුලී ඇත්තේ තවත් කිලෝ මීටර් බිලියන 1.6 ක් ගිය විටය. අල්තිමා තියුලී අඳුරු වස්තුවකි. ග්‍රව වස්තුවේ දීප්තිමත් ස්ථානවලින් ප්‍රතිබිම්බය වන්නේ සියයට 13 ක ආලෝකයක් පමණයි. පෙනුම රතු තැඹිලි බව ලැබුණු දත්තවලින් පෙනී ගොස් ඇත.

එය කුඹල් මැටිවලට සමාන බව  අල්තිමා තියුලී මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායමට අයත් ප්‍රධාන විද්‍යාඥයන් වන ඇලන් ස්ටර්න්, කාර්ලි හොවෙට්, කැතී ඔල්කින් පැහැදිලි කරති. අල්තිමා තියුලී රතු පැහැයෙන් යුක්ත වන්නේ අධික කොස්මික් කිරණ සහ එක්ස් කිරණවලට හසුවීමෙන් යැයි ද පැවැසෙයි.

නිව් හොරයිසන්ස් යානයට ඇත්තේ දීර්ඝ කාලයක් පවතින ප්ලූටෝනියම් බැටරියකි. ඒ අනුව, නිව්හොරයිසන්ස් යානයට, සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගොස් ගවේෂණ කටයුතුවල නියැලීමේ හැකියාවක් ද ඇත. අද වනවිට 1970 වසරේ අභ්‍යවකාශයට යැවුණු වොයේජර් 1 සහ 2 ගවේෂණ යානා, සෞර ග්‍රහ මණ්ඩලයට අයත් සීමාව පසු කර, එයින් ඔබ්බට ගොස් අවසන්ය. වොයේජර් 2 සෞර ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගියේ 2018 නොවැම්බරයේදීය.වොයේජර් යානා මෙන් නොවෙයි, නිව් හොරයිස්න්ස් යානය නවීන තාක්ෂණයෙන් සුසැදිය. අභ්‍යවකාශයට යැවුණු වේගවත්ම ගවේෂණ යානය ද වෙයි.

එසේ වුවත්, නිව් හොරයිසන්ස් යානයට වොයේජර් යානාවලට ළං විය නොහැකිය. වොයේජර් යානා විශ්වයේ ඈතට ගියේ සෙසු ග්‍රහලෝකවල ගුරුත්ව බලයෙන්, වේගය වැඩි කරගෙනය.මේවනවිට වොයේජර් 1 යානාව ගමන් කරන්නේ තත්පරයට කිලෝ මීටර් 17 ක වේගයකිනි. නිව් හොරයිසන්ස් යානය ගමන් කරන්නේ තත්පරයට කිලෝ මීටර් 14 ක වේගයකිනි.

කුයිපර් වළල්ලේ පිහිටා ඇති මෙම අල්තිමා තියුලී ග්‍රහ වස්තුව ගැන මුලින්ම හෝඩුවාවක් ලබා ගැනීමට හැකිවූයේ හබල් දුරේක්ෂය ආධාරයෙන්, 2014 වසරේදීය. තාරකා විද්‍යාඥයන් මුලින් සිතුවේ අල්තිමා තියුලී එක් ග්‍රහ වස්තුවක් කියාය. නමුත් දැන් එය ලොකු සහ කුඩා ග්‍රහ වස්තු දෙකක එකතුවක් බව තහවුරු වී ඇත. ප්‍රමාණය  කිලෝ මීටර් 15 සිට 20 ක් පමණය. අල්තිමා යන්නෙහි අර්ථය (මධ්‍යතන සාහිත්‍යයට අනුව) බොහෝ ඈතින් පිහිටි නොදන්නා ස්ථානය යන්නය. අල්තිමා තියුලී යනුවෙන් සහ හිම මිනිසා යනුවෙන් හැඳින්වුවත් මෙම ග්‍රහ වස්තුවේ තාරකා විද්‍යාත්මක නාමය වන්නේ, 2014එම්යූ69 යන්නය.

අල්තිමා තියුලී යන නම මීට යොදනු ලැබුවේ අන්තර් ජාලය ඔස්සේ මෙම ග්‍රහ වස්තුවකට නමක් යෝජනා කරන්නැයි කළ ඉල්ලීමට අනුවය. බොහෝ දෙනා නම් ඉදිරිපත් කළ අතර අවසානයේ දී අල්තිමා තියුලී යන්න තෝරා ගැණුනි. නිව් හොරයිසන් යානයට පළමුවෙන්ම අල්තිමා තියුලී දකින්න ලැබුණේ අගෝස්තුවේදීය.

අප සෞර ග්‍රහමණ්ඩලයේ හිරු සහ ග්‍රහලෝකවලට ඔබ්බෙන් (නෙප්චූන් පසු කළ විට) ග්‍රහ වස්තුවලින් සමන්විත වළල්ලක් ඇත. සෞර ග්‍රහ මණ්ඩලවේ ග්‍රහලෝක වටා මෙය පැතිර පවතී.

හිරුගෙන් ඈත පිහිටා ඇති නිසා මෙම වළල්ලේ ග්‍රහ වස්තුවලින් බොහොමයක් අයිස්වලින් වැසී ඇත. කලින් සෞර ග්‍රහ මණඩලයට අයිති වුණත් අද වනවිට අප කුරු ග්‍රහයකු ලෙස හැඳින්වෙන, ප්ලූටෝ ද මෙම කුයිපර් වළල්ලේ සාමාජිකයෙකි.

ඊට අමතරව, ප්ලූටෝගේ චන්ද්‍රයා කයිරොන්, මේක්මේක් නමැති ග්‍රහ වස්තුව සහ හවුමේ ග්‍රහ වස්තුව ද කුයිපර් වළල්ලේ කැපී පෙනෙන සාමාජිකයෝය.නව වැනි ග්‍රහලොවක් ගැන ඇතැම් තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරති. එය සැඟවී ඇත්තේ ද මෙම කුයිපර් වළල්ලේ යැයි අනුමාන කෙරේ. මේ වළල්ලේ පවතින්නේ ඉතා අඩු උෂණත්වයකි. එය කෙල්වින් අංශක 50 කි. ඒ නිසා ජීවය පැවැතීමේ ඉඩක් නොමැත.

සෞර ග්‍රහ මණ්ඩලය හැල හැප්පීම් සහ පිපිරීම් අනුව නිර්මාණය වෙද්දී, ඉතිරි වුණු කොටස්, කැබලි, දූවිලි ආදිඑ එක් රොක් වී ඇත්තේ මෙම කුයිපර් වළල්ලේය. ඒ අනුව, අල්තිමා තියුලී ග්‍රහ වස්තුව ගවේෂණය සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ රහස් දැන ගැනීමට මඟ පාදනු ඇත. නිව් හොරයිසන්ස් අභ්‍යවකාශ ගවේෂණ යානය ජනවාරි පළමුවැනිදා වනවිට පෘථිවියේ සිට කිලෝ මීටර් බිලියන 6.5 ක් දුර ගොස් තිබුණි.

කිලෝ මීටර් 3,500 කින් අල්තිමා තියුලී ට ළං වී අසලින් පියාසර කරයි. ඡායාරූප ගැනීම එහිදී සිදු වෙයි. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවියට ලැබෙන්නේ පැය 6 කින් පසුවය. බල සැපැයුම වොට් 190 කි. ප්ලූටෝනියම් බැටරියකින් සමන්විතය. අල්තිමා තියුලී සම්බන්ධයෙන් ලබා ගන්නා සියලුම දත්ත පෘථිවියට එවීමට මාස 20 ක් ගතවනු ඇත.

අල්තිමා තියුලී ගවේෂණයෙන් පසු කිලෝ ග්‍රෑම් 11 ක ඉන්ධන ඉතිරි වනු ඇත. ඒ අනුව, තවත් මෙහෙයුමකට යන්න නිව් හොරයිසන් යානයට හැකිවේවි. මේ වනවිට නායා ආයතනය ඔවුන්ගේ පුරෝගාමී අභ්‍යවකාශ ගවේෂණ යානා වන කැසිනි, කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂ යානය ආදියට සමුදී ඇත. අභ්‍යවකාශයේ ඈතට යැවුණු මෙම යානා දැන් අක්‍රිය වී ගොසිනි.

නිව් හොරයිසන් යානායේ මෙහෙයුම් දැන්ම අවසන් නොවන බව නාසා කියයි. ‘යානය හොඳ නිරෝගීව ඉන්නවා. ඉන්ධන ඇති තරම් තියෙනවා. තව අවුරුදු 15 ක් හෝ 20 ක් හෝ ගවේෂණ මෙහෙයුම්වල යෙදෙන්න පුළුවන් වේවි’ යැයි නිව්හොරයිසන් මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥ ඇලන් ස්ටර්න් කියයි. නිව් හොරයිසන්ස් යානය 2027 හෝ 2028 තෙක් කුයිපර් වළල්ලේ රැඳී සිටිමින් අල්තිමා තියුලී ගවේෂණය කරනු ඇත.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS