අයිස් අතරේ මාරක වයිරස සැඟවිලා



චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් විය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි.

මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, එය අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.

මේ සටහන නව කොරෝනා වයිරසය ගැන නොවෙයි. නව කොරෝනා වයිරසයට වඩා බිහිසුණු, විද්‍යාඥයන්ට ආගන්තුක, වයිරස රැසක් වසර 15,000 ක් තිස්සේ, චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අතරේ තැම්පත් වී ඇති බවත්, දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් මෙම ග්ලැසියරය ද දියවීමට පටන්ගෙන ඇති බැවින්, මෙම මාරක වයිරස ද පරිසරයට මුදා හැරෙනු ඇතැයි විද්‍යාඥයෝ බිය පළ කරති.

චීනයේ ටිබෙට් සානුවේ ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු අතරේ වයිරස තැම්පත් වී සැඟවී ඇති බව අනාවරණය වූයේ එම අයස් තට්ටුවේ සාම්පල පසුගිය දා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය. එම පරීක්ෂණය පැවැත්වූ චීන සහ අන්තර් ජාතික විද්‍යාඥයන් පවසා ඇත්තේ මින් පෙර දැන නොසිටි වයිරස කාණ්ඩ 28ක් සොයා ගත් බවය. අයිස් තට්ටු දියවී, වයිරස වාතයට මුදා හැරීම සිදු වුවහොත්, එය සතුන් හරහා මිනිසුන්ට හෝ සෘජුව මිනිසුන්ට ආසාදනය විය හැකි යැයි පර්යේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

ග්ලැසියරයෙන් ලබා ගත් වයිරස සාම්පල අධි ආරක්ෂිත පර්යේෂණාගාර තුළ සෙල්සියස් අංශක රින 3 ක උෂ්ණත්වයක් යටතේ තැම්පත් කර තැබෙන අතර, ඒවා යොදා ගනිමින් පර්යේෂණ කටයුතු සිදු කරයි. ගුලියා ග්ලැසියරයේ අයිස් තට්ටු කැණීම් කරද්දී, නව වයිරස සොයා ගැනීම සිදු වූයේ 1992 වසරේ සිට 2015 දක්වා කාලයේය.

2016 දී වසරේ දී, රුසියාවට අයත් ආක්ටික් පළාතේ, උතුරුදිග සයිබීරියාවේ, වයිරසයක් හේතුවෙන් 40 දෙනකු රෝහල් ගත කෙරුණි. වයිරසය පැතිරීම ආරම්භ වූයේ සයිබීරියාවේ 12 ගෝත්‍රික දරුවකු එම වයිරසයෙන් මියයෑමත් සමඟය. රුසියන් රජය එරට හමුදාවේ, ජීව අවි සම්බන්ධ හමුදා විශේෂඥ දැනුමක් ඇති සොල්දාදුවන් වහා වයිරසය පැතිරෙන ප්‍රදේශයට යැවුණේ එය පාලනය කිරීමටය.

රුසියන් විද්‍යාඥයෝ එය ඇන්ත්‍රැක්ස් මාරක වයිරසය බව හඳුනා ගත්හ. ඔවුන් වයිරසයේ සුලමුල සොයද්දී අනාවරණය වූයේ අවුරුදු 70 ක් තිස්සේ අයිස් යට තිබුණු පිනි මුවකුගේ මළසිරුරකින් 12 හැවිරිදි සයිබීරියානු ගෝත්‍රික දරුවාට ආසාදනය වී ඇති බවය. වයිරසය සෙසු 40 දෙනා අතර පැතිර ගොස් ඇත්තේ එම දරුවා හරහාය.

මෙම සිදුවීම ලොව කැලඹීමට සමත් විය. කෙසේ නමුත් රුසියන් රජය සහ හමුදාව එම වයිරසය වසංගත තත්ත්වයක් බවට පත් වීමට ඉඩක් ලබා දුන්නේ නැත. මැරුණු පිනිමුවාගෙන් වයිරසය පිටවූයේ ගෝලීය උණුසුමේ අනිසි බලපෑමක් නිසා බව ද අනාවරණය විය. මිනිසුන්ට අමතරව, එම කලාපයේ පිනිමුවන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ද වයිරසය හේතුවෙන් මියගිය බව වාර්තා විය.

මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම ඉහළ ගොස් සිදුවුණු කාලගුණ විපර්යාස හේතුවෙන්, 1970 වසරේ සිට මේ දක්වා ටිබෙට් සානුවට බලපෑම් එල්ල වී ඇත. අද වනවිට ඉතිරිව ඇත්තේ ග්ලැසියරයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් බව කාලගුණ විපර්යාස පිටුදැකීමේ ජගත් සංවිධානය පෙන්වා දෙයි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS

RELATED POSTS