නක්බා දිනයට අවුරුදු 70 යි



නක්බා දිනය හෙවත් ඛේදවාචකයේ දිනයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පලස්තින ජනතාවට සහයෝගීතාවය පලකරමින් සංවිධානය කල උත්සවයක් කොලඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී  ඊයේ (14) පැවැත්විණ.

විදේශ කටයුතු රාජ්ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවය ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව සහ පලස්තීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබීය.

1948 වසරේදී පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය පිහිටුවීම සහ පලස්තින ජාතිකයන් ලක්ෂ 07ක් ජෝර්දානය, සිරියාව, ඊජිප්තුව ආදි රටවලට පිටුවහල් කිරීම ඇතුලු කරුණු හේතුවෙන් මෙම නක්බා දිනය සමරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙසේ පැවසීය.

“ඊශ්‍රයල් පලස්තීන අර්බුදය ලෝකයේ මෙතෙක් පැවති පැරැණිම යුද්ධවලින් එකක්. 1948 වසරේදී එතෙක් පැවති පලස්තීනය දෙකඩ කර ඊශ්‍රායලය බිහිකරනු ලැබුවා.  දීර්ඝ කාලයක් තිස්සේ එම ප්‍රදේශවල ජීවත්ව සිටි පලස්තිනුවන් එහිදී පලවා හරිනු ලැබුවා.

එයට පෙර සිටම පලස්තීනයත් ශ්‍රි ලංකාව වගේම යටත් විජිතවාදි රාජ්‍යයක් ලෙස පැවැතුණා. යුදෙවු ජාතිකයන් සහ පලස්තීනුවන් අතර හටගත් මෙම ගැටුමට මහා බි්‍රතාන්‍යය මූලිකව වගකිව යුතුයි. අසල්වාසින් දෙදෙනෙකු අතරට කැළි කසල ගොඩ ගසා ඔවුන් අතර ගැටුම් ඇතිකිරිමට ඔවුන් පියවර ගත්තා. ඔවුන් සිදුකළ ක්‍රියාදාමයේ කෙටසක් ලෙස මෙම ගැටුම් උග්‍ර වුනා. ඒ නිසා මෙහි වගකීම සම්පුර්ණයෙන්ම මහා බ්‍රිතාන්‍යය භාරගත යුතුයි යනුවෙන්ද ඔහු කියා සිටියේය.

එහිදි අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජත හේරත් මහතා මෙසේ පැවසීය.

1948 වසරේදි සිදුවූ මෙම සිදුවීම ලෝකයේ සිදුවූ දැවැන්තම ඛේදවාචකයක් ලෙස හදුන්වා දිය හැකියි. මේ ඛේදවාචකය නිසා පලස්තීනුවන් හත් ලක්ෂයකට උන් හිටි තැන් අහිමි වුණා. බොහෝ පලස්තීනුවන් වෙනත් රටවලට පලා ගියත් පිරිසක් ඊශ්‍රයලයේ රැඳී සිටියා. අද සමස්ත ලෝකයේම ප්‍රගතිශිලී ජනතාව නක්බා දිනය සැමරුවත් ඊශ්‍රාලයේ සිටින පලස්තිනුවන්ට තම ඥාතීන් සැමරිමට අවස්ථාවක් නැහැ.
තෙල් අවශ්‍යතාව නිසා ඇමරිකාව අද මෙම ගැටුමට මැදිහත් වෙලා ඉන්නවා. මැද පෙරදිග කලාපයේ යුද්ධ ඇති කරගනිමින් ඔවුන් තමන්ට වාසි ලබා ගනිමින් සිටිනවා. පසුගිය දිනවල ඔවුන් සිරියාවටත් පහර දුන්නා. ඔවුන් සිදුකරන මේ අසාධාරණය ලෝකයට පේනවා. එහෙත් ඇමරිකාවට එරෙහිව කිසිවකුත් නැගි සිටින්නේ නැහැ. ඇමරිකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පවා ප්‍රබල හඩක් නැගෙන්නේ නැහැ.

ඒ නිසා ඇමරිකාවට පුලුවන් වෙලා තියෙනවා මෙවැනි රටවල ගැටලුවලට තවදුරටත් මැදිහත්වෙන්න. මෙවැනි ගැටලුවලදි ඇමරිකාවේ මැදිහත් විමට එරෙහිව ලෝකයේ සියලු රටවල් නැගී සිටිනවනම් ඔවුන්ට මේ ආකාරයෙන් කටයුතු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මේක පලස්තිනුවන්ගේවත්, මුස්ලිම් ජනතාවගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ තත්ත්වයට අද බොහෝ රටවල් මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම වගකීමක් සහ යුතුකමක් තියෙනවා පලස්තීනු ජනතාවට වෙනුවෙන් නැගි සිටීමට යැයිද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුවේ සම  සභාපති හිටපු ජනමාධය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතා එහිදි මෙසේ පැවසිය.

එදා යටත් විජිතයක්ව පැවති අපේ රට නිදහස් කරගැනීමේ උත්සාහයේදී අධිරාජ්‍යවාදීන් අපේ රට ජාති, ආගම්, කුල වශයෙන් බෙදීම් ඇති කළ අයුරින්ම අද මැදපෙරදිග කලාපය තුළත්, පලස්තිනුවන් අතරත් උපායශිලී අයුරින් බෙදීම් ඇතිකර ඒ තුළින් ඔවුන්ගේ ආධිපත්‍යය ඉදිරියට ගෙනයෑමට වෑයම් කරනවා. එහෙත් අවි බලයට හෝ ධන බලයට හිස නොනමා යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පලස්තීනුවන් නැගි සිටිනවා.

මේ මහා ඛේදවාචකය පිළිබඳ නිසි ඇමැතීමක් සිදුකර සාධාරණත්වය ඉටු කරන තාක් කල්  මැදපෙරදිග කලාපය තුල ස්ථාවරත්වය  සාමකාමි අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගැනිමට පුළුවන් කමක් නැහැ.  වසර හැත්තැවක්  දීර්ධ නිදහස් අරගලයක යෙදි සිටින  පලස්තිනුවන් වෙත  අපි අපේ සහයෝගය පළකර සිටිනවා යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ශ්‍රි ලංකාවේ පලස්තීන තානාපති සුහීර් සෙයිඞ් මහතා එහිදී මෙසේ පැවසීය.

නක්බා දිනයට වසර 70ත් ගතවනවා. ලොව පුරා ජනතාව මැයි 15 වනදා මෙම දිනය සමරනු ලබනවා. ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීම පිළිබඳ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයට අපි අපේ කෘතඥතාවය පළ කරනවා.

පලස්තීනයේ ඇතිවූ මෙම අර්බුදයට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වග කිව යුතුයි. වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා පවා මෙම ගැටලු උග්‍ර වන ආකාරයෙන් කටයුතු කරනවා. ඒ අයගේ මෙම හැසිරිම අපි තරයේ හෙළා දකිනවා යැයිද ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඇතුළු ආගමික නායකයන්,  ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. හම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් තානාපති කාර්යාල නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

නිමල කොඩිතුවක්කු


RECOMMEND POSTS