නයිකි සපත්තු නෑ



ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ඊයේ, සිකුරාදා  මොරොක්කෝ කණ්ඩායම සමඟ තම පළමු තරගයට සහභාගී විය.

ඉරාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් පළඳින්නේ ‘නයිකි’ (නයික්) සපත්තු වුවද ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ට එම සපත්තු මිලදී නොගෙන ඔවුන්ගේම රටේ සපත්තු මිලදී ගැනීමට සිදුව තිබූ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමත් සමඟ ඉරානයට තවදුරටත් සම්බාධක පැනවීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට නව සම්බාධක පැනවීමත් සමඟ ලෝ ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ සමාගමක් වන ‘නයිකි’ සමාගම ඉරාන පාපන්දු කණ්ඩායමට සපත්තු සැපයීමෙන් ඉවත් විය. එම නිසා ඉරාන ක්‍රීඩකයන්ට ඔවුන්ට හුරු පුරුදු ‘නයිකි’ පාවහන් නොලැබී ගොස් තිබේ. ඉරාන පාපන්දු ක්‍රීඩකයන් බොහෝමයක් ‘නයිකි’ සපත්තු වෙත හුරු පුරුදු වී ඇතැයි ද මේ පුවත වාර්ත ඬේලිමේල් වෙබ් අඩවිය සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප් හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී අත්සන් කරන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ පසුගිය මැයි මාසයේදීය. ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය, චීනය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනියත් එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමයේ සහභාගීත්වය ඇතිව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබුවේ 2015 වසරේදීය. ජනාධිපති ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමත් සමඟ සමාගම් රැසක් මැද පෙරදිග රටක් වන ඉරානය සමඟ වෙළෙඳාම් කිරීම නවතා දැමීය.

කෙසේ නමුත් ඉරාන කණ්ඩායමේ සර්දාර් අස්මූන්, මසූද් සොජේ සහ රමින් රෙසියන් ‘නයිකි’ සපත්තු පැළැඳ සිටි බව ද ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඉරානය බී කාණ්ඩය යටතේ තරග වදින අතර මොරොක්කෝ කණ්ඩායම සමඟ පැවැති තරගය ඔවුන් මෙවර ලෝක කුසලානයේ දී සහභාගී වූ පළමු තරගයයි.

කෙසේ නමුත් ඉරාන ක්‍රීඩකයන් කිහිපදෙනකුම රුසියාවේදී ‘නයිකි’සපත්තු මිලදී ගැනීමට කටයුතු කර තිබූ බව ද වාර්තා විය.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන පාපන්දු කණ්ඩායමේ කළමනාකරු මෙන්ම මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන කාලෝස් කිරෝස් නයිකි සමාගමට ද චෝදනාවක් එල්ල කළේය.

“මේක ලොකු තරගාවලියක්. ක්‍රීඩකයන්ට බාධාවක් නොමැතිව සූදානම් වීමට අවස්ථාව තිබිය යුතුයි. ඔවුන්ට පුරුදු උපකරණ අයිතම ආදිය බාධාවකින් තොරව ලබා දිය යුතුයි. මේ වගේ වැදගත් තරගාවලියක් ආරම්භ වීමට සතියක් තිබියදී ඔවුන්ට ඔවුන්ගේ පුරුදු සපත්තු හෝ වෙනත් කිසිවක් මාරු කරන්න බැහැ. ඒක සුදුසු දෙයක් නෙමෙයි. නයිකි සමාගම සමාව ඉල්ලිය යුතුයි මේ කරපු දේට. මේ තරුණ ක්‍රීඩකයන් 23 දෙනාට එරෙහිව ඔවුන් මේ කරපු දේ කිසිසේත් සුදුසු නැහැ. එය විහිළුවක්. කළ යුතුව තිබුණු දෙයක් නෙමෙයි. අනික අපි පාපන්දු ක්‍රීඩකයෝ. කළමනාකරුවෝ. අපිට අනිත් දේවල්වල සම්බන්ධයක් නැහැ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ ගැන සොයා බැලිය යුතු” යැයි ද හෙතෙම කීය.

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS