ට්‍රම්ප්ට විරෝධයක්



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම බව නිල වශයෙන් පිළිගනිමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය, ජෙරුසිලමට මාරු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් පැවැසීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

ජෙරුසිලම යනු ඊශ්‍රායලය විසින් 1967 වසරේදී අල්ලා ගනු ලැබූ ප්‍රදේශයයි. ඊශ්‍රායලය දැනටමත් ඔවුන්ගේ අගනුවර ලෙස පිළිගන්නේ ජෙරුසිලමය. පලස්තීනුවන් ද ඔවුන්ගේ අගනුවර යැයි පිළිගන්නේ නැගෙනහිර ජෙරුසිලමය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එක් ප්‍රදාන හේතුවක් වන්නේ ද මෙයයි.

ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර යැයි තමා ඇතුළු ඇමෙරිකන් රජය නිල වශයෙන් පිළිගන්නා බව ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනය කළේ ධවල මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිණි. ඒ සම්බන්ධයෙන් අදාල ලියවිල්ලට ට්‍රම්ප් අත්සන් තැබුවේය.

ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ ඊශ්‍රායල පලස්තීන අර්බුදය තවත් ඔඩුදුවනු ඇති බවත්, මුළු ගල්ෆ් කලාපයේම අර්බුදයක් නිර්මාණය වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ මෙම තීරණයට සෞදි අරාබිය, ඊජිප්තුව, තුර්කිය පමණක් නොව, ජර්මනිය, ප්‍රංශය සහ චීනය ද විරෝධය පළ කර තිබේ. මෙම රටවල් දිගින් දිගටම ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ගත් තීරණය වෙනස් කරන ලෙසටය.

ට්‍රම්ප් මෙම තීරණය ගත්තේ ඔහු දුන් ඡන්ද පොරොන්දුවකට ද අනුවය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සඳහා ඇමෙරිකන් යුදෙව්වන්ගේ දායකත්වය හිමිවිය. ඊශ්‍රායලයට සහාය දක්වනවා යැයි ට්‍රම්ප් ඡන්ද පොරොන්දුවක් ලබා දී තිබේ.

පසුගියදා ජනපති ට්‍රම්ප්, සෞදියේ සල්මාන් රජු සමඟත් ඊජිප්තුවේ ජනාධිපති අල් සීසී සමඟත් දුරකතනයෙන් සාකච්ඡා පැවැත්වීය. එහිදී සල්මාන් රජු සහ ජනපති අල් සීසී ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තීරණය වෙනස් කරන ලෙසටය.

සෞදියේ සල්මාන් රජු පවසා ඇත්තේ ට්‍රම්ප් ගන්නා මෙම තීරණය ‘ඉතා අවදානම්’ තීරණයක් වනු ඇතැයි කියාය.

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන් පැවැසුවේ ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද තම අගනුවර යැයි සැලකෙන ජෙරුසිලම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට තනිවම තීරණයක් ගැනීම කළ නොහැකි බවය.

මේ අතර, හමාස් සංවිධානයේ ඉස්ලාමීය සන්නද්ධ අංශ ඇමෙරිකා ජනපතිවරයාට අනතුරු ඇගවීම් කර ඇති බව ද පැවැසෙයි.  ඊශ්‍රායලයේ සිටින ඇමෙරිකන් නිලධාරීන්ට ඇමෙරිකා රජය දැනුම් දී ඇත්තේ ජෙරුසිලමේ පැරැණි නගරයට හෝ බටහිර ඉවුරට හෝ යෑමෙන් වළකින ලෙසය.

මේ වනවිට ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරය. එය ජෙරුසිලමට ගෙන යෑමේ ක්‍රියාවලිය අවසන් කිරීමට වසර දෙකක් හෝ තුනක් ගතවනු ඇතැයි ද ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS