‘31 වැනි රෝගියා’ කළ හදිය



දකුණු කොරියාවෙන් පළමු වරට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවූයේ ජනවාරි 20 වැනිදාය.

චීනයේ වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින්, දකුණු කොරියාවේ වයිරසය ව්‍යප්තවීම වැළැක්වීමට දකුණු කොරියානු රජය සහ එරට සෞඛ්‍ය බලධාරීන් විශේෂ ක්‍රියා මාර්ග රැසක් ආරම්භ කළේය. ‘කෝවිඞ් 19’ වයිරසය ගැන ජනතාව දැනුවත් කරන්න විය.

දකුණු කොරියානු රජය ගත් එම ක්‍රියා මාර්ග ඉතා නිවැරදි විය. එහෙත්, අණුවන පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නිසා සියල්ල වෙනස් විය. දකුණු කොරියාවේ ‘කෝවිඞ් 19’ වසංගත තත්ත්වයක් හට ගත්තේය.

දකුණු කොරියාවේ වයිරසය පැතිරීම ඇරැඹුණේ ‘ඩීගූ’ නගරය කේන්ද්‍රකොට ගනිමිනි. පෙබරවාරි 20 වැනිදා වනවිට නිල වශයෙන් තහවුරු වූ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 58 ක් විය. එහෙත්, පැය 24 ක් ඇතුළත සියල්ල උඩු යටිකුරු විය. පෙබරවාරි 21 වැනිදා වනවිට තහවුරු වූයේ, ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 346 ක් බවට පත්වී ඇති බවය. දකුණු කොරියාවේ මේ අයුරින් හිටිහැටියේ වයිරස ආසාදිතයන් ඉහළ ගියේ එක් ආසාදිතයකු නිසා යැයි දකුණු කොරියා සෞඛ්‍ය බලධාරීන් මේ වනවිට අනාවරණය කර ගෙන තිබේ. මෙම ආසාදිතයා 61 හැවිරිදි කාන්තාවකි. ‘ඩීගූ’ නුවර පදිංචිකාරියකි. මේ ආසදාදිතයා ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරේනා වයිරසය ආසාදනය වූ 31 වැනි රෝගියා (පේෂන්ට් 31) ය. මේ ඇය කළ හදියයි.

ආරම්භයේ දී චීනයට පසු වැඩිම ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවූ මෙන්ම මරණ වාර්තා වූ රට වූයේ දකුණු කොරියාවය. එහෙත් අද මාර්තු 17 වැනිදා වනවිට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ යුරෝපා රටවල් වන ඉතාලිය සහ ස්පාඤ්ඤයෙනි. පසුගිය පෙබරවාරි 18 වැනිදා වනවිට දකුණු කොරියාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් (රෝගීන්) සංඛ්‍යාව 30 ක් පමණක් විය. ‘31 වැනි රෝගියා’ ලෙස තහවුරු වූයේ මෙම කතාවේ කතා නයිකාව වන එම 61 හැවිරිදි කන්තාවය.

දින 12 ක් ආපස්සට යමු. දකුණු කොරියානුවන් විසින් ‘පේෂන්ට් 31’ යනුවෙන් පමණක් හඳුන්වන මෙම කාන්තාව, පෙබරවාරි 6 වැනිදා රිය අනතුරකට ලක් වූවාය. ඇගේ තුවාල බරපතල නොවන බැවින්, පෙබරවාරි 7 වැනිදා ඇය රෝහලෙන් පිටව ගියාය. මේ කාන්තාව, දකුණු කොරියාවේ ‘ෂිංහැංජී’ ක්‍රිස්තියානි ආගමික කල්ලියේ සාමාජිකාවකි. රෝහලෙන් පිටවීමෙන් පසු ඇය ‘ෂිංහැංජී’ දෙව්මැදුරේ පැවැති විශේෂ දේව මෙහෙයට සහභාගී වූවාය. ඒ, උණ ගතියක් සහ හිසදරයක් තිබියදීය.

දහසකට වැඩි පිරිසක් අතරේ ඇය දේව මෙහෙයට සම්බන්ධ වූ බව පැවැසෙයි. උණ වැඩි වෙද්දී, වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ, වෛද්‍ය පරීක්ෂණයකට යොමු වන ලෙසත් විවේක ගන්නා ලෙසත් ය. කෙසේ නමුත් කාන්තාව ඊට කන් දී නැත. පෙබරවාරි 15 වැනිදා වෛද්‍යවරුන් යළි උපදෙස් දී ඇත්තේ වහාම ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැලඳී ඇතිදැයි සෙවීමේ වෛද්‍ය පරීක්ෂණය (වෛද්‍ය පරීක්ෂණය සිදු කරන්නේ සෙම සහ රුධිර සාම්පල මගිනි) සිදු කර ගන්නා ලෙසය. කන්තාව ඊට ද කන් දී නැත.

සාමාන්‍ය උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් යැයි සිතා කාන්තාව හෝටලයක දිවා ආහාරය ගැනීමට ද ගියාය. ඉන්පසු යළිත් වරක් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ දෙව්මැදුරේ යාඥා මෙහෙයකට ද සහභාගී වූවාය. ඒ, කුමන අසනීප තත්ත්වයක් පැවැතියත් දේව මෙහෙය මඟහරින්න එපා යැයි ඇයට ලැබී තිබුණු උපදෙස් පිළිපඳිමිනි. යාඥා මෙහෙය අවසන් වීමෙන් පසු දෙව්මැදුරේ පැවැති සාදයට ද ඇය එක් වූවාය. පැමිණ සිටි සෙසු බැතිමතුන් හමුවී අතපත ගාමින්, ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදුණාය.

පෙබරවාරි 16 වැනිදා වනවිට කාන්තාව දැඩි ලෙස ගිලන් වූවාය. ඇය රෝහල් ගත කෙරුණු අතර ඇයට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. එදා සිට දිනෙන් දින ‘කෝවිඞ් 19’ ආසාදිතයන් හමුවීමේ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ වනවිට දෙව් මැදුරේ සිටි 1,200 කට ආසන්න පිරිසක් රෝගී වී සිටිති. වෛද්‍යවරුවන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට මේ විස්තර එකිනෙක සම්බන්ධ කර ගැනීමට හැකිවූයේ ආසාදිතයන්ගේ පසුබිම් විස්තර දැන ගැනීමෙනි. ඒ, තවත් දින කීපයකට පසුවය. ඒ සමඟ ‘ෂිංහැංජී’ දේවස්ථානයට දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය හේතුවෙන් ඩීගූ නුවර පිහිටි දේවස්ථානය පසුව වසා දැමුණි.

‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් තැනීමක් නොකළ එක් කන්තාවක නිසා හිටිහැටියේ දහස් ගණනක් දෙනා රෝගී වූයේ එලෙසිනි. ‘දකුණු කොරියාවේ පේෂන්ට් 31’ ගේ මෙම කතාව විදෙස් පුවත් සේවා ඔස්සේ, සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. ඔබට ‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇති නම්, ඔබ නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතුය. ඔබට වයිරසය ආසාදනය වී ඇති යැයි සිතනවා නම් හෝ වයිරස ආසාදිතයකු ඇසුරු කර ඇත්තේ නම් හෝ ඔබ දින 14 ක් ස්වයං නිරෝධායනයකට ලක් විය යුතුය. ආත්මාර්ථකාමී නොවී, වෛද්‍ය උපදෙස් සහ සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපැඳිය යුතුය. දකුණු කොරියානු රජය එරට ජනතාවට නිරත පවසන්නේ ‘පේෂන්ට් 31 වගේ වෙන්න එපා’ කියාය.

කොරියන් පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS