සුබවාදී බලාපොරොත්තුවක්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්විය හැකි ආකාරයේ එන්නතක් සම්බන්ධයෙන් සුබ ආරංචියක් අසන්න ලැබුණි. මෙම එන්නත ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම එකමුතුවෙන් නිර්මාණය කරන ලද්දකි.

තෙවැනි අදියරේ පළමු පෙළ සායනික පර්යේෂණ එසේත් නැතිනම් අත්හදා බැලීම් ද මේ වනවිට සාර්ථක වී ඇති අතර, එන්නතේ සර්ථකභාවය සියයට 90 කට වඩා වැඩිය. වඩාත් වැදගත්ම දේ, එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ හෝ සංකූලතා හෝ හට නොගැනීමය. ඒ අනුව, ‘බයෝ ඇන් ටෙක් - ෆයිසර්’ එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී අවසන්ය. ඒ අනුව, කෙටි කාලයකදී කොරෝනා වයිරසයට එරෙහි නිර්මාණය කළ එන්නත මෙය බව ද පැවැසෙයි.

 රටවල් 6 ක, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් අතරින්, 43,500 ක පිරිසක් තෝරා ගනිමින්, එන්නතක අත්හදා බල ඇති අතර, ඔවුන්ට ‘කොවිඩ් 19’ වයිරසයෙන් බේරීමට හැකියාව ලැබී ඇත. අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නැත. එන්නත සියයට සියයක් සාර්ථකයි බව තහවුරු කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊට අනුමැතිය හිමිවීමට නම්, තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මුළුමනින්ම අවසන් විය යුතුය. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත ඇමෙරිකාවේ, ජර්මනියේ, දකුණු අප්‍රිකාවේ, තුර්කියේ, ආජන්ටිනාවේ සහ බ්‍රසීලයේ දී අත්හදා බැලීම් සිදු කර ඇත.

එන්නත මාත්‍රා දෙකකින් සමන්විත බව පැවැසෙයි. සති තුනක පරතරයක් යටතේ ඒවා ලබා දෙයි. අවසාන මාත්‍රාව ලබා දීමෙන් පසු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේ. එන්නත නිපදවා ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට පමණි. වයිරස ආසාදිතයන් සුවපත් කිරීමට නොවෙයි. ‘බයෝ ඇන් ටෙක්’ සහ ‘ෆයිසර්’ එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් පවා පැහැදීමෙන් කතා කරයි.

රුසියාවත්, චීනයත් මේ වනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා එන්නත් නිපදවා ඇත. රුසියාවේ එන්නත ‘ස්පුට්නික් 5’ යන නමින් හැඳින්වෙන අතර, චීනයේ කොරෝනා ආසාදනය වළක්වන එන්නත හැඳින්වෙන්නේ ‘කොරෝනාවැක්’ යනුවෙනි. ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා එන්නත ලෙස සැලකෙන්නේ ‘ස්පුට්නික් 5’ය. රුසියන් රජය, ‘ස්පුට්නික් 5’ එරට වැසියන්ට ලබා දීම සිදු කරයි. එන්නත ලබා දෙන්නේ අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු නිරෝගී පුද්ගලයන්ටය. චීනය ‘කොරෝනාවැක්’ එන්නත පළමුවෙන් ම ලබා දුන්නේ එරට හමුදා සොල්දාදුවන්ටය. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරය ආරම්භ වූ වූහාන් නුවර වැසියන්ට ඩොලර් 60 ක් වැනි මුදලකට චීන එන්නත ලබා ගැනීමට ද හැකි බව පැවැසෙයි. රුසියන් එන්නත සහ චීන එන්නත මෙසේ ලබා දෙන්නේත්, එය වෙනත් රටවල අත්හදා බැලීම් කරන්නේත් තෙවැනි අදියරේ සායනික පර්යේෂණ යටතේය. රුසියාව ඔවුන්ගේ  ‘ස්පුට්නික් 5’ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නමුත් තවමත් අනුමැතියක් හිමි වී නැත. ඒ, තෙවැනි අදියරේ අවසන් සායනික පර්යේෂණ වාර්තා නොලැබීම නිසා යැයි ද පැවැසෙයි. ‍ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතකට අනුමැතිය දෙන්නේ එහි සාර්ථකත්වය සියයට 50 ට වැඩි නම් පමණි.

ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන එන්නත පළමුවෙන් ලැබෙනු ඇත්තේ ඇමෙරිකානුවන්ටය. ඊට හේතුව, එන්නත පළමුවෙන් ඇමෙරිකානුවන්ට පමණක් ලබා දීමට ‘බයෝ එන් ටෙක්’ සමාගම ඇමෙරිකන් රජය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබීමය. එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකන් රජයේ මුදලිනි.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS