සිරවුණු 13 දෙනා





මීට සති දෙකකට පෙර, පසුගිය ජූනි 23 වැනිදා, ‘මෝ පා’ ( ‘මෝ පා’ යනු ‘වල් ඌරෝ’ යන අර්ථයයි.) පාසල් ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි සහාය පුහුණුකරු පා පැදිවලින් චියැංග් රායි පළාතේ ත්හාම් ලුඅන්ග් නාන්ග් නෝන් ලෙන් පද්ධිතය ගවේෂණයට ගියහ. 

ඔවුන් ලෙන තුළ සිටිද්දී, හිටිහැටියේ මෝසම් වැසි ඇද හැලෙන්න විය. ඒ අනුව, ලෙන පිවිසුමේ සිට කිලෝ මීටර් 4 ක් දුර එක් ස්ථානයක පිරිස කොටු වූහ. පිරිස කොටුවුණු කුහරය හැර මුළු ලෙන් පද්ධතියම ජලයෙන් පිරී ගියේය.

පහත දැක්වෙන්නේ පා පන්දු කණ්ඩායමේ පොඞ්ඩන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුගේ විස්තරය.

චානින් විබුල්රන්ගෘආන්ග් අවුරුදු 11 යි.
‘මෝ පා’ පා පන්දු කණ්ඩායමේ ළාබාලතම සාමාජිකයාය. අවුරුදු 7 දී පටන් පා පන්දු ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙකි.

පනුමාස් සන්ග්දී - අවුරුදු 13 යි
‘මෝ පා’ පා පන්දු කණ්ඩායමේ පුහුණුකරු නපරාත් කන්ටාවොංග් පවසන පරිදි පා පන්දු කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ට වඩා මොහු ප්‍රමාණයෙන් විශාලය. එසේ වුවත්, ක්‍රීඩාශීලී පොඞ්ඩෙකි.

දුගන්පත් ප්‍රොම්ටෙප් අවුරුදු 13 යි
‘මෝ පා’ කණ්ඩායමේ නායකයාය. පා පන්දු ක්‍රීඩාවට දක්ෂයෙකි. කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගේ ප්‍රසාදයට පත් වුණු සැබෑ නායකයකු බව පැවැසෙයි.

අබ්දුල් සැම් අවුරුදු 14 යි
අබ්දුල්, මියන්මාරයේ උපත ලැබූවෙකි. ඔහු තායිලන්තයටෙ පැමිණ ඇත්තේ, වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමටය. තායි, බුරුම පමණක් නොව, චීන සහ ඉංග්‍රීසි යන භාෂා කතා කිරීමට හැකිය. බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනාට පළමුවෙන්ම, දරුවන් හමුවුණු අවස්ථාවේදී, ඔවුන් සමඟ කතාබහ කිරීමට හැකිවුණු එකම තැනැත්තා අබ්දුල්ය. කිමිදුම්කරුවන් අතේ මාපියන්ට ලිපි යැවීමට දරුවන් සහ සහාය පුහුණුකරුට අවස්ථාව ලැබුණි. එම අවස්ථාවේදී මියන්මාරයේ සිටින මාපියන්ට අබ්දුල් ලිපියක් යැවීය. ඒ, ඔහු හොඳින් සිටින බවත්, දුක් නොවන ලෙසත් දන්වමිනි.

සම්පොන්ග් ජායිවොංග් අවුරුදු 13 යි
කණ්ඩායමේ සිටින විනෝදකාමී පොඞ්ඩා මොහු යැයි පැවැසෙයි. තායිලන්ත ජාතික පා පන්දු කණ්ඩායමේ සාමාජිකයකු වීම මොහුගේ සිහිනයයි.

මොන්ග්කෝල් බූනියාම් අවුරුදු 12 යි
පාසල් ගුරුවරුන්ගේ ප්‍රසාදයට ලක් වුණු අයෙකි. ක්‍රීඩාවට පමණක් නොව, ඉගෙනීම් කටයුතුවලට ද ඔහු දක්ෂයෙකි.

නටාවුට් ටකම්රොංග් අවුරුදු 14 යි
තමන් යහතින් සිටින බව ලෙන තුළ සිටිද්දී ලිපියන යවා දැන්වූ අවස්ථාවේදී නටාවුට්ගේ මව සහ පියා පිළිතුරු ලිපියක් යවමින් පවසා ඇත්තේ ඔවුන් ලෙනට පිවිසෙන ස්ථානයේ සිටින බවත්, ඒ ගැන බියක් නොදක්වන බවත්ය.

පීරාපාත් සොම්පියංජායි අවුරුදු 17 යි
දරුවන් පිරිස සහ සහාය පුහුණුකරු ලෙන තුළට ගියේ පසුගිය 23 වැනිදාය. ඔවුන් අතුරුදන් වුණැයි අනාවරණය වූයේ 25 වැනිදාය. 23 වැනිදා පීරාපාත්ගේ උපන්දිනය විය. පිරිස ලෙන තුළ උපන්දින සාදයක් ද පැවැත් වූ බව පසුව දැනගන්න ලැබුණි. ඒ සඳහා විස්කෝතු, පැණි බීම ආදිය ද පිරිස රැගෙන ගොස් තිබුණි. ලෙන තුළ සිරවී සිටිද්දී, දරුවන්ට ආහාර ලෙස ලබා ගැනීමට හැකිවූයේ ගෙනගොස් තිබුණු මෙම කඩචෝරු සහ පැණි බීමය.

එකරාත් වොංග්සුක්චාන් අවුරුදු 14 යි
තම මවට ලියක් යවමින් එකරාත් පොරොන්දුවක් වී ඇත්තේ, බේරී ආ පසු වෙනදාට වඩා මවට කීකරු වන බවත්, නිවසේ වැඩවලට උදවු වන බවත්ය.

ප්‍රජාක් සුතාම් අවුරුදු 15 යි
ඉගෙනීමට දක්ෂ බුද්ධිමත් මෙන්ම නිහඬ චරිතයකි.

පිපාත් පෝ අවුරුදු 15 යි
ලෙනෙන් එළියට පැමිණීමෙන් පසු තමන් ‘මොකාතා’ උත්සවයකට යෑමට ප්‍රිය කරන බව මොහු පවසා ඇත. ‘මොකාතා’ යනු තායිලන්තයේ ප්‍රසිද්ධ බාබකියු උත්සවයකි.

පෝර්න්චායි කම්ලුආංග් අවුරුදු 15 යි
තමන් හොඳින් සිටින බවත්, දුක් නොවන බවත් දන්වමින් මොහු මාපියන්ට ලිපියක් යැවීය.

සහාය පුහුණුකරු එකාපෝල් චන්ටාවොංග් අවුරුදු 25 යි
මොහු ‘ආකේ’ යන කෙටි නමින් හැඳින්වෙයි. ආකේ, මියන්මාරයේ උපත ලැබූවෙකි. අවුරුදු 10 දී මාපියන් අහිමි විය. පාසල් පා පන්දු සමාජයේ සහාය පුහුණුකරු වීමට පෙර, ආකේ බෞද්ධ භික්ෂුවක් විය. ලෙන තුළ සිරවී සිටිද්දී, ආකේ නිරාහාරව, දරුවන්ට ළඟ තිබුණු ආහාරබාන සියල්ල ලබා දී ඇත. කිමිදුම්කරුවන්ට ආකේ හමුවෙද්දී ඔහු සිටියේ දුර්වල තත්ත්වයකය. දරුවන් ලෙනට රැගෙන යෑම සම්බන්ධයෙන් සමාව ඉල්ලා, ලෙන අසල රැඳී සිටින දරුවන්ගේ මාපියන්ට ලිපියක් යැවීමට ආකේ කටයුතු කළේය. තමන් හැකි උපරිමයෙන් සිරවුණු දරුවන් රැක බලා ගත් බව ද එම ලිපියෙහි සඳහන් විය. ආකේගේ ලොකු අම්මා සහ අත්තම්මා මියන්මාරයේ ජීවත් වෙති. ඔවුන්ට ද ආකේ ලිපියක් යැවීය. බේරුණු පසු ඔවුන් හමුවීමට පැමිණෙන බව එහි සඳහන් වෙයි.


RECOMMEND POSTS