ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට



ලෝක රූ රැජින තරගාවලිය, ඊයේ (18), 67 වැනි වරට පැවැත් වුණු අතර, රටවල් රැසකින් ඊට සහභාගී වූ සුරූපිනයන් අභිබවා, කිරුළ හිමි කර ගැනීමට සමත් වූයේ ඉන්දියාව නියෝජනය කළ සුරූපිනී මනූෂි ච්චිලාර්ය.

20 හැවිරිදි මනූෂි ච්චිලාර් වෛද්‍ය සිසුවියකි. ඇය හර්යානා ප්‍රාන්තයෙන් ආ සුරූපිනියකි. කිරුළ හිමිකර ගැනීමෙන් පසු මනූෂි, ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් සැමට ස්තුතියි කළාය.

හර්යානා ප්‍රාන්ත මහ ඇමැති මනෝහාර් ලාල් කාතාර් ඇතුළු ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් ට්වටර් වෙබ් අඩවිය ඔස්සේ මනූෂිට සුබ පතා ඇත.

මනූෂිට කිරුළු පැළැඳීම සිදු කරනු ලැබුණේ 2016 වසරේ ලෝක රූ රැජින වුණු පුවර්ටෝ රීකෝ සුර සුරූපිනිය දෙල් වේල් විසිනි.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ මෙක්සිකෝ සුරූපිනිය ඇල්මාන් අන්ද්‍රියාය. තෙවැනි ස්ථානයට පත් වූයේ එංගලන්තය නියෝජනය කළ ස්ටෙපනී ජේන් හිල්ය.

මෙවර ලෝක රූ රැජින තේරීමේ තරගාවලිය පැවැත්වූයේ චීනයට අයත් සංචාරක ආකර්ශණයක් ද වන හයිනාන් දූපතේ සාන්යා නගරය කේන්ද්‍රකොට ගනිමිනි. ගතවුණු 10 වසරක කාලයේ ලෝක රූ රැජින තරගාවලියක් චීනයේ පැවැත්වුණු පස්වැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ලෝක රූ රැජින ඉන්දියාවට හිමිවුණු සය වැනි අවස්ථාව මෙයයි.

ඉන්දියාව මීට පෙර ලෝක රූ රැජින කිරුළ දිනුවේ 1966, 1994, 1997, 1999, 2000 යන වසරවලදීය.

ලෝක රූ රැජින කිරුළ දිනා ගත් ඉන්දියාවට අභියෝගයක් කරන අනෙක් රට වන්නේ වෙනිසියුලාවය.  වෙනිසියුලාව ද මේ වනවිට සය වරක් ලෝක රූ රැජින කිරුළ දිනා සිටී.

මීට පෙර ලෝක රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන අයිස්වර්යා රායි සහ ප්‍රියංකා චොප්රා සේම, මනූෂිට බොලිවුඞ් සිනමාව ජය ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS