ලෝකයා මවිත කළ පාහියන්ගල මානවයා



අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට ලෝක විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබේ. ඒ, වසර 45,000කට පෙර මෙරට විසූ ආදි මානවයා විසින් භාවිත කළේ යැයි විශ්වාස කළ හැකි දුනු හී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලි කාල නිර්ණය කිරීමෙන් පසුවය. මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළ වන අතර, එම වාර්තාව සැකැසී ඇත්තේ ‘සයන්ස් ඇඩ්වාන්සස්’ විද්‍යා සඟරාවේ පළ වූ විශේෂ අධ්‍යයනයක නිබන්ධනයක් ඇසුරිනි.

ඒ අනුව, අප්‍රිකා මහාද්වීපයෙන් මෙහි සංක්‍රමණය වූ හෝමෝ සේපියන් ආදිමානවයා විසින් දුන්න හා ඊතලය මුල්වරට නිපදවා ගෙන භාවිතයට ලනු ලැබ ඇත. ඔහු මේ දුනුහී තල තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝණුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනි. දුනු හී යොදා ගෙන ඇත්තේ අවම වශයෙන් වසර 45,000 කට පෙර අප රටේ වැසි වනාන්තරවල රුක්වැසි සතුන් දඩයම් කිරීම පිණිස විය හැකි යැයි විද්‍යාඥයෝ නිගමනය කරති. තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්න ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති‍. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ, මේ හී තල කොටස්, යුරෝපයේ දැනට හමුවී ඇති, මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාටත් වඩා බොහෝ පැරණි බවය.

මේ සියල්ල හමු වී ඇත්තේ බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් ලෙනෙහි කරන ලද කැණීම්වල දී ය. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද එහි තිබී සොයා ගෙන තිබේ. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන වූ අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදි හෝ දැල් විවීම සඳහායි.  කැණීම් බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර පාට මිණි කැට අතුළු ඛනිජ ද්‍රව්‍ය, වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකරණ ද්‍රව්‍ය ද ඇතුළත්ය.

ඉන්දියානු සාගරයේ ඉන්දියානු උපමහාද්වීපයට දකුණෙන් පිහිටි ශ්‍රී ලංකාද්වීපය දකුණු ආසියාවේ හෝමෝ සේපියන් නම් අපේ ආදීම මානවයාගේ පැරණිතම පොසිලවලට නිජබිම වූ බව පැහැදිලි යැයි ඒ ලෝක විද්‍යාඥයන්ගේ මෙම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් වෙයි. මෙම අධ්‍යයනය මගින්, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත මේ දුපතෙහි විසූ මානවයා දුනුහී පාවිච්චි කළ බවට හා රෙදි හෝ දැල් තැනූ බවට පැරණිතම සාක්ෂි වසර 45,000ත් 48,000ත් අතර ඈත කාලයකට දිව යන බව හෙළිදරවු කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හිමි කර දී තිබේ.

‘ප්‍රක්ෂිප්ත තාක්ෂණයෙන්’ ලබා ගත් සාක්ෂි, පුද්ගලික අලංකරණය හ‍ා ඝර්මකලාපීය වැසි වනාන්තර තෙක් ආ අති දීර්ඝ ගමන වැනි කරුණුවලින් පෙනී යන්නේ ආදි හෝමෝ සේපියන් මානවයා‍ ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී විවිධ ආන්තික පරිසරවලට හැඩ ගැසීමට සමත් වූ බවය. කෙසේ වෙතත් වැසි වනාන්තරවල සම්පත් ප්‍රයෝජනයට ගන්නට හා වඳුරන් හා ලේනුන් වැනි වේගයෙන් එහා මෙහා යන සතුන් අල්ලා ගන්නට උපක්‍රම යොදන්නට පෙලඹුනේ කෙසේ ද යන්න තවමත් හෙළිදරවු වී නැත.

‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන දුනු හී නිපදවීම, රෙදි විවීම, කෞතුක වස්තූන්ගෙන් සංඥා කෙරෙන ඉඟි ආදිය වෙනත් බොහෝ තැන්වලින්, ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන්වලින් හමුවී තියෙනවා’ යැයි මෙම අධ්‍යයනයෙහි සම-කර්තෘ වූ මයිකල් පෙට්‍රග්ලියා පැහැදිලි කරයි. මොහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ විද්‍යාඥයෙකි. ‘ශීතලෙන් ආරක්ෂාවීමට අමතරව, රෙදි හෝ දැල් වියා ගැනීම, ඒ පරිසරයේ ඉන්නා මදුරුවන්ගෙන් බේරීමට යොදා ගත්තා වෙන්නත් පුළුවන්’ ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතියේ ආරම්භය ගැන, විශේෂයෙන් ම නව ප්‍රක්ෂිප්ත භාවිත දඩයම් ක්‍රම ගැන, කතාබහේදී ආසියාව, ඕස්ට්‍රලේසියාව හා ඇමරිකා මහාද්වීප ආදිය කෙරෙහි අවධානය යොමු නොකෙරේ. මෙහිදී වැඩිපුර අවධානය යොමුවන්නේ අප්‍රිකාවේ තණ බිම්වලට හා වෙරළබඩ ප්‍රදේශවලට හෝ යුරෝපයේ සමශීතෝෂ්ණ පරිසර කෙරෙහිය. ඒ නිසා ආසියාවේ ඝර්ම කලාපීය වැසි වනාන්තර වැනි වඩාත් දුරින් පිහිටි පරිසර විශාල වශයෙන් මඟ හැරී යයි. මානව ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ඒ ගැන පවා සැලකිල්ලට ගැනීමක් සිදු නොවෙයි. කෙසේ වෙතත් මේ පර්යේෂණයේදී මෙසේ අවධානය යොමු කිරීම පිළිබඳව පර්යේෂක කණ්ඩායම පැසසුමට ලක් විය යුතුය. ඔවුන්ගේ සොයා ගැනීම්වලට මුල් වූ පාහියන්ගල ලෙන ප්ලයිස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයකි. කාන්තාවකගේ ඇට සැකිල්ලක් පවා එහි දී මතු කර ගනු ලැබ තිබේ. පොසිල අස්ථි කොටස් සොයා ගැනීම සිදුවූයේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදිය.

‘පාහියන් ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරවිද්‍යා භූමියක් ලෙස පතළ, විශේෂයෙන් ම අපේ ආදීමයන්ගේ අවශේෂයන් හා ඔවුන් භාවිත කළ මෙවලම්, ඔවුන් ආහාරයට ගත් දේවල් සුරැකිව පැවති, නිවර්තන කලාපීය තැනක්’ යැයි ‍මෙම අධ්‍යයනයෙහි සම කතුවරයකු වූ ඕෂාන් වෙදගේ පෙන්වා දී තිබේ. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට සම්බන්ධ විද්‍යාඥයෙකි.

පාහියන්ගල ලෙනෙහි කළ කැණීම්වලින් ලබා ගත් මේ කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009 ත් 2012 ත් අතර කරන ලද කැණීම්වලිනි. අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්‍රස්කෝපයක් යොදා ගෙන පරීක්ෂා කරනු ලැබුණි. එම මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් සවි කෙරුණි. එමගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකි විය.

‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ යැයි පර්යේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි පවසන්නීය. මිචෙල්, ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියකි. ‘මේ සොයා ගැනීම, මීට කලින් මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය වැඩිදුරටත් කියා සිටී.

මේ මයික්‍රොස්කොපි තාක්ෂණය ම අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත්, රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවය. සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් ලෙසය. එයින් අදහන් වන්නේ මදුරුවන්ගෙන් රෝග බෝවන බවත්, එයින් ආරක්ෂා වීමට උපක්‍රම සෙවීමට අප ආදි මානවයා මනස වෙහෙසා ඇති බවත්ය. එය සැබැවින්ම විස්මිත කරුණකි. මෙම නව අධ්‍යයනය සලකනු ලබන්නේ පේලියෝලිතික යුගය අවසානයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මතු වූ සුවිශේෂ වූත්, සංකීර්ණ වූත් නව තාක්ෂණයන් පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමේ එක් පියවරත් වශයෙනි.

‘මේ යුගයේ මානවයන් සම්පත් බහුල සුුවිශේෂ තත්වයන් යටතේ ජීවත් වීමටත්, නව ජීවන පරිසරයන් සොයා යන්නටත් හැකියාව තිබූ අය බැව් පැහැදිලියි’ යනුවෙන් පවසන මෙම අධ්‍යයනයෙහි සම කතුවරියක වන ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ නිකොලී බොයිවින් කියයි. ‘මේ හැකියාවන් නිසා තමයි වසර 10,000 කට පෙර ඒ ආදිමානවයින් මේ පෘථිවිය පුරා විසිර යමින් අද අප වැනි විශ්ව මානව සංහතියක් බවට පත් වූයේ’ යැයි ඇය වැඩිදුරටත් පැහැදිලි කර දෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS