ලොව කැලැඹූ බොලිවුඩ් මගුල



ආදරණීය බොලිවුඩය පසුගිය කාලය පුරාවට මඟුල් සක්වළක් විය. තනිකඩ ජීවිතයට සමුදුන් බොලිවුඞ් සුරූපිනියන් අතර, අනුෂ්කා ෂර්මා, දීපිකා පදුකෝන් පමණක් නොව, ප්‍රියංකා චොප්රා සිටී. ප්‍රියංකා චොප්රාගේ මංගල උත්සවය පැවැත්වූයේ මීට හරියටම සතියකට පෙරය. ඒත් තවමත් ඒ ගැන බොහෝ දෙනා කතා කරයි. විවාහ මංගල උත්සවයේ ඡායාරූප ට්විටර් ඇතුළු සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. ප්‍රියංකාගේ අත ගත් වාසනාවන්තයා ඇමෙරිකන් තරුණයෙකි.

විවාහයට හෝ ආදරයට හෝ වයස බාධාවක් නොවන පෙන්වා දෙමින්, ප්‍රියංකා සහ නික් ජෝනාස්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජෝද්පූර්හි උමේද් මාළිගයේ අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. තෙදිනක් පුරා පැවැති මංගල උත්සවයට බොලිවුඞ් පුරයේ දැවැන්තයෝ රැසක් සහභාගී වූහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ අතරේ සිටියේය. මංගල උත්සවයට සමගාමීව රාත්‍රියේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි.

විවාහ මංගල උත්සවයේ බර පැනවලින් වැඩි කොටසක් දැරුවේත්, ප්‍රියංකා සහ නික් ජෝනාස් විවාහ කරදීම සිදු කළේත් නික් ජෝනාස්ගේ පියා මෙන්ම පාදිලිවරයකු ද වන පෝල් කෙවින් ජෝනාස්ය. විවාහ මංගල උත්සවය වෙනුවෙන් වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 53 ක් බව පැවැසෙයි. ජෝනාස් පවුලේ සැවොම, විවාහ මංගල උත්සවය සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් සිට ඉන්දියාවේ ජෝද්පූර් බලා පැමිණියහ.

ආදරයට වයස බාධාවක් නොවන බව යළිත් වරක් ලොවට සිහිපත් කරමින්, නොවැම්බර් 30 වැනිදා මෙහෙන්දි උත්සවයෙන් අනතුරුව ප්‍රියංකාගේත් නික් ජෝනාස්ගේත් විවාහ උත්සවය පැවැත්විණි. පසුගිය 2 වැනිදා සහ 3 වැනිදා හින්දු සහ කතෝලික චාරිත්‍රානූකූලව එම කටයුතු සිදුවුණු බව වාර්තා විය. ප්‍රියංකාගේ උපන්දිනය යෙදී ඇත්තේ ජූලි 18 වැනිදාටය. පසුගිය ජූලි 18 වැනිදා ඇය 36 හැවිරිදි වියට පා තැබුවාය. නික් ජෝනාස්ගේ උපන් දිනය යෙදී ඇත්තේ සැප්තැම්බර් 16 වැනිදාටය. ඔහුගේ වයස අවුරුදු 26 කි. අවුරුදු 10 ක වයස් පරතරය නිසා ප්‍රියංකා සහ නික් ජෝනාස්ගේ ආදර අන්දරය සුවිශේෂී එකක් බවත්, එය දෙදෙනාගේ ජනප්‍රියත්වය වර්ධනය වීමට හේතුවක් වී ඇති බවත් බොලිවුඞ් පුවත් සේවා වාර්තා කර තිබේ.

මංගල උත්සවය පසුගිය දා පැවැත්වුවත්, ප්‍රියංකා සහ නික් ජෝනාස්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය අගෝස්තුවේදීය. එය සිදුවූයේ ද ඉන්දියාවේය. ඉන්දියාවේ ආර්ථික අගනුවර ලෙස ද සැලකෙන මුම්බායි නුවරය. ප්‍රියංකාගේ නිවස ඇත්තේ මුම්බායි නුවර වන අතර, විවාහ ගිවිස ගැනීමේ ඉතා චාම් උත්සවය එහිදී පැවැත්විණි. හින්දු චාරිත්‍රාණුකූලව එම කටයුතු සිදුවුණු අතර, නික් සහ පවුලේ සාමාජිකයන්ට එය හරි අපූරු අත්දැකීමක් විය.

ප්‍රියංකා සහ නික්ගේ විවාහ මංගල උත්සවයේ නිල ඡායාරූප ඔවුන්ගේ ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම සිදුවූයේ පසුගිය 5 වැනිදාය. විවාහ මංගල උත්සවය දින 3 ක් පුරාවට පැවැත්විණි. ප්‍රියංකා ඇත්දළ පැහැති මංගල ගවුමකින් සැරැසී සිටි අතර ඇගේ මංගල වේලයේ දිග අඩි 75 ක් විය. ලෝ සුපතල ඇඳුම් නිර්මාණ ශිල්පිණී රැල්ෆ් ලෝරන්ගේ නිර්මාණයක් වුණු එම මංගල ගවුමට මුතු අල්ලා තිබුණි. මංගල ගවුමට වඩා කාගේත් අවධානය යොමු වූයේ අඩි 75 ක් දිගැති වේලය කෙරෙහිය.

2016 වසරේ දී ලොව ටයිම්ස් සඟරාව ලොව වඩාත් කැපී පෙනෙන පුද්ගලයන් 100 දෙනා නම් කළ අතර එම ලැයිස්තුවට ප්‍රියංකාගේ නම ඇතුළත් විය. ලොව කැපී පෙනෙන ආර්ථික සඟරාව වන්නේ ෆෝබ්ස්ය. ෆෝබ්ස් සඟරාව පසුගිය 2017 වසරේදී, ලොව බලවත්ම කාන්තා චරිත 100 තෝරා ප්‍රසිද්ධියට පත් කළේය. එම 100 දෙනා අතරේ ද ප්‍රිංකාගේ නම ඇත.

බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර තවමත් ස්ථාවරව රැඳී සිටීමට ප්‍රියංකාට හැකියාව ලැබී ඇත. බොලිවුඞ් චිත්‍රපටයක් වෙනුවෙන් ඇය ඉන්දීය රුපියල් කෝටි 6 කට වැඩි මුදලක් ඉල්ලයි. එපමණක් නොව, රූපවාහිනී මාලා නාටකවල රංගනය වෙනුවෙන් නිළියක ලබා ගත් වැඩිම මුදල ලබා ගෙන ඇතැයි පැවැසෙන්නේ ද ප්‍රියංකාය. ඒ, ‘ක්වොන්ටිකෝ’ රූපවාහිනී කතා මාලාව වෙනුවෙනි. ‘ක්වොන්ටිකෝ’ රූපවාහිනී කතාමාලාවේ රංගනය වෙනුවෙන් ඇය ඇමෙරිකන් ඩොලර් මිලියන 11 ක් උපයාගෙන ඇතැයි ද පැවැසෙයි.

ප්‍රියංකා චොප්රා හොලිවුඩය ජයගත්තේ ‘ක්වොන්ටිකෝ’ කතා මාලාව හරහාය. 2015 වසරේ සිට මෙම වසර තෙක් කතා මාලා 3 කින් සමන්විත වුණු කොන්ටිකෝ මාලා නාටකයේ ප්‍රියංකා එෆ්.බී.අයි. පරීක්ෂකවරියක වන ඇලෙක්ස් පෙරිෂ් ගේ චරිතයට පණ පොවයි. ඇමෙරිකාවේත් සෙසු බටහිර රටවලත් තරුණයන්ගේ ආදරවන්තිය බවට ප්‍රියංකා පත්වූයේ ‘ක්වොන්ටිකෝ’ කතාමාලාව හරහාය. ‘ක්වොන්ටිකෝ’ ජනප්‍රිය වෙද්දී, ප්‍රියංකා ‘බේචොච්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූවාය. ක්‍රියාදසාම පිරි ප්‍රහසන චිත්‍රපටයක් ද වුණු ‘බේවොච්’ චිත්‍රපටයේ නපුරියට පණ පෙව්වේ ප්‍රියංකාය.

‘ක්වොන්ටිකෝ’ කතා මාලාව ජනප්‍රිය වෙද්දී ප්‍රියංකාට ආලය කරන්න වූ තරුණයන් අතරේ ඇමෙරිකන් ගායකයකු පමණක් නොව හොලිවුඞ් නළුවකු ද සිටියේය. ඔහු නික් ජෝනාස් ය. නික් ජෝනාස්, 2016 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රියංකාගේ ට්විටර් ගිණුම ඔස්සේ ඇයට පණිවුඩ යවන්න පටන් ගෙන ඇත. ප්‍රියංකා සමඟ ක්වොන්ටිකෝ කතාමාලාවට එක් වී සිටි තරුණ නළු ග්‍රෑහැම් රොජර්ස්, නික් ජෝනාස්ගේ මිතුරෙකි. ප්‍රියංකා සහ නික් ජෝනාස් පළමු වරට 2017 වසරේ දී සාදයක් අතරතුරේ එකිනෙකා හමුවූයේ ග්‍රෑහැම් රොජර්ස්ගේ මැදිහත් වීමෙනි. මේ සියල්ල නික් ජෝනාස් විසින් අනාවරණය කළේ ‘වෝග්’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

2000 වසරේ ලෝක රූ රැජන කිරුළ දිනූ ප්‍රියංකා 2011 වසරේ බොලිවුඩයට අවතීර්ණ වූවාය. බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් නිර්මාණ රැසකට දායක වූ ප්‍රියංකා විචාරකයන්ගේ ද පැසැසුමට ලක්වූ දක්ස නිළියකි. ප්‍රියංකා අවසන් වරට බොලිවුඞ් චිත්‍රපටයක රඟපෑවේ, 2016 වසරේදීය. ඒ, ‘ජායි ගංගාජල්’ චිත්‍රපටයයි. ඇයගේ මීළඟ බොලිවුඞ් චිත්‍රපට වනු ඇත්තේ ‘ස්කයි ඊස් පිංක්’ සහ ‘ගස්ටකියාන්’ යන චිත්‍රපටය. මෙම චිත්‍රපට ලබන 2019 දී තිරගත වීමට නියමිතය.
ප්‍රියංකා චොප්රා තවත් ඇමෙරිකන් ටෙලි නිළියකගේ සමීපතම යෙහෙළියකි. ඒ නිළිය බි්‍රතාන්‍යයේ හැරී කුමරුන්ගේ බිරිඳ බවට පත් වුණු මේගන් මාකෙල්ය. ප්‍රියංකා චොප්රා, හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවයේ ආරාධිතයෙකු ලෙස ඊට සහභාගී වූවාය. 2016 වසරේදී ප්‍රියංකා ඉන්දීය රජය සිවිල් පුරවැසියකුට පිදෙන සිවුවැනි උසස් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

නික් පෙම්වතා වීමට පෙර, ප්‍රියංකාට පෙම්වතුන් කිහිප දෙනකු සිටි බව රහසක් නොවෙයි. රූ රැජන බවට පත් වෙද්දී, ඇගේ පළමු පෙම්වතා වූයේ අස්මීන් මර්චන්ට් නමැති නළුවාය. බොලිවුඩයට පැමිණි පසු අක්ෂේ කුමාර් සමඟින් පෙම් සබඳතාවක් පැවැති බවට රාවයක් පැතිරිණි. එපමණක් නොව, ප්‍රියංකා සහ බොලිවුඞ් සිනමා නිෂ්පාදන හර්මන් බවේජා අතරේ ද පෙම් හුටපටයක් පැවැතිණි. ඉන්පසු ප්‍රියංකා සහ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් අතරේත් ෂාහිද් කපූර් අතරේත් පෙම් හුටපට පැවැති බවට ඕපාදූප පුවත් සේවා වාර්තා කළේය. නික් ජොනාස් ද ප්‍රියංකාට දෙවැනි නොවන බව පැවැසෙයි. ඔහුගේ පෙම්වතියන් ලැයිස්තුවේ සෙලීනා ගෝමස්, මිලී සයිරස්, කේට් හඞ්සන්, ලිලී කොලින්ස් වැනි ජනප්‍රිය තරු රැසකි.

නික් ජෝනාස් යන නමින් හැඳින්වෙන නිකලස් ජෙරී ජෝනාස් උපත ලැබුවේ 1992 වසරේදීය. ඔහු ඇමෙරිකන් ගායකයකු, ගීත රචකයකු, ගීත නිෂ්පාදකවරයකු ද වෙයි. අවුරුදු 7 සිට වේදිකා නළුවකු ලෙස රංගන කුසලතා පෙන්වයි. තනිවම ගීත ඇල්බමයක් එළිදැක්වූයේ 2002 වසරේදීය. ජෝනාස් ඇමෙරිකාවේ නිව්ජර්සිහි වයික්‍රොෆ් නගරයේ වැසියෙකි. කෙවින් ජෝන්ස්, ජෝ ජෝන්ස් සහ ෆ්‍රැන්කී ජෝන්ස්, නික් ජෝනාස්ගේ සොහොයුරන් වන අතර ඔවුහු ද ජෝනාස් ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති. නික් ජෝනාස්ගේ පියා පාදිලිවරයකු පමණක් නොව ගීත රචකයකු ද වෙයි.

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS