ලුසීට නිදහස ඉල්ලයි



පාකිස්තානයේ සත්වොද්‍යානයක තනිව හා නිසි පහසුකම් නොමැතිව ජීවත්වීමෙන් කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ලක්ව දුක් විඳි 'කාවන්' නැමති හස්තියා ගැන අප කතා කළේ මීට වසරකට පමණ පෙරදීය. මේ වන විට කාවන් කාම්බෝජයේ නිදහස් පරිසරයක තවත් හස්තීන් සමඟ සතුටින් ජීවත් වෙමින් සිටී.

මේ කතා කරන්නේ ලංකාවෙන් ගොස් ‍විදේශයක දුක් විඳින ඇතින්නක පිළිබඳවය. ඇය නමින් 'ලුසී'ය. ‍මේ වන විට ඇය වෙසෙන කැනඩාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සත්ව වේදීන් ද ලුසී වෙනුවෙන් හඬක් නගමින් සිටී. ඇයට සුදුසු පරිසරයක ජීවත් වන්නට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමනක් කොල්ලුපිටිය වාලුකාරාමයේ සිට මෙරට කැනඩා මහ කොමසාරිස් කාර්යාලය දක්වා අද (16) පැවැත්විණි. රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන් සහ Justice For Animals And Nature සංවිධානය එක්ව මෙම පා ගමන සංවිධානය කර තිබිණි. පා ගමන අවසානයේ ලුසීට නිදහස ඉල්ලා මහකොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාරදීම ද සිදුකෙරිණි.

ලූසි උපත ලබන්නේ 1975 වසරේ ලංකාවේදීය. ඇගේ වයස අවුරුද්දක් වෙද්දී ජර්මනියේ ව්‍යාපාරිකයෙක් 1977 වසරේදී ඇයව මිලදීගෙන ඇත්තේ ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවෙනි. ඉන්පසු ඔහු ඇයට ඇමෙරිකානු ඩොලර් 9789 ක මුදලකට කැනඩාවේ එඩ්මන්ටන් සත්ව උද්‍යානයට අලෙවි කර ඇත. ඒ අනුව ඇය එඩ්මන්ටන් සත්වොද්‍යානයේ කුඩා කුටියකට කොටුවන්නේ වයස අවුරුදු 2ක කුඩා පැටවකුව සිටියදීය.

ඇය මේ වන විට වසර 44ක් පුරා එඩ්මන්ටන් සත්වෝද්‍යානයෙහි කොන්ක්‍රීට් කුටියක ඉතා තද සීතලේ දුක් විදිමින් ජීවත් වන්නීය. ලුසීගේ දුක වටහාගන්නා සත්ව ක්‍රියාකාරීන් ඇය සුදුසු පරිසරයකට ගෙනයන්නට සටනක් ආරම්භ කරන්නේ මීට වසර කිහිපයකට පෙර දීය.

සත්ව ක්‍රියාකාරිනියක වන ජේන් ගුඩාල් ඒ අතර පෙරමුණ ගෙන සිටියාය. ඇය ලුසී සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවමින් කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස ඇය ‍ස්වභාවික පරිසරයකට මුදාහැරීම සම්බන්ධයෙන් අවධානයක් යොමුව තිබේ. ඒ වෙනුවෙන් මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය සෙවීමට පශු වෛද්‍යවරයකු හමුවට ද ඉදිරිපත් කර ඇත.

පශු වෛද්‍යවරයාගේ අදහස වී ඇත්තේ ලුසී වෙනත් ස්ථානයකට ගෙනයාමෙන් ඇයට අත්වන ප්‍රතිලාභයට වඩා අවදානම ඉහළ බවය. ලුසී ශ්වසන හා දන්ත ආබාධයන්ගෙන් පෙළෙන බැවින් ඇයව වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමේදී ජීවිත හානි පවා සිදුවිය හැකි බව ද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.

නමුත් මෙරට මහා සංඝරත්නය හා පරිසරවේදීන් පවසන්නේ හිම වැටෙන ශීත පරිසරයක ජීවත්වීම හස්තියකුට නුසුදුසු බැවින් දැන්වත් උණුසුම් භූමියකට රැ‍ගෙන නොගියොත් ලුසීගේ ශ්වසන ආබාධය තවත් උග්‍ර විය හැකි බවයි. එබැවින් ඇය ආරක්ෂිතව වෙනත් ස්ථානයකට ගෙන ගොස් ජීවිතයේ අවසාන කාලයවත් සුව පහසුවෙන් ගත කිරීමේ අයිතිය ලුසීට හිමිවිය යුතු බව ඔවුන් පවසයි.

කාවන් ලැබූ නිදහස මතු දිනක ලුසීටද හිමිවීම අපගේ පැතුමයි.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS