ලංකාවෙන් ලැබුණු තෑග්ග වෙනුවෙන් ලක්ෂ ගණනක්



ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වය සනිටුහන් කිරීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 වසරේ දී රෝපණය කළ බෝ පැළය රැක බලා ගැනීමටත් එය නඩත්තු කිරීමටත් බෝපාල් ප්‍රාන්ත රජයට වසරකට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැය වන බව ඉන්දීය එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී මහා බෝධියේ අංකුර පැළයක් වන මෙම බෝ පැළය රෝපණය කර ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත අගනුවර ලෙස සැලකෙන බෝපාල් සහ වීදිසා නගර අතර සල්මත්පූර්හි කුඩා කඳු ගැටයක් සහිත අක්කර 100 කට වැඩි භූමියකය.

අද වනවිට ඉතා හොඳින් වර්ධනය වී ඇති පැළය විදේශීය රාජ්‍ය නායකයකුගෙන් ඉන්දීය රජයට ලැබුණු ප්‍රථම ‘රාජ්‍ය තාන්ත්‍රික පැළය’ ද වෙයි.

බෞද්ධ සාංචි විශ්ව විද්‍යාලය ඉදිකිරීමට නියමිතව ඇත්තේ මේ භූමියේය. ඒ වෙනුවෙන් ඉන්දීය රජය ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදලක් වෙන් කර ඇතැයි ද වාර්තා වේ. භූමිය පිහිටා ඇත්තේ සාංචි පුණ්‍ය භූමියේ සිට කිලෝ මීටර් 5 ක දුරකිනි.

බෝ පැළය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලැබුණු සුවිශේෂී රාජ්‍ය තාත්ත්‍රික ත්‍යාගයක් ලෙස සැලකෙයි. එහෙයින් බෝ පැළයේ ආරක්ෂාව වෙනුවෙන් මීට පස් වසරකට පෙර, එය රෝපණය කළ ද 2012 වසරේ සැප්තැම්බරයේ පටන් මේ වනතුරු පොලිස් නිලධාරීහු සිවු දෙනෙක් මාරුවෙන් මාරුවට බෝ පැලයට ආරක්ෂාව දෙති.

ඊට අමතරව, සතියකට වරක් බෝ පැළය සුරක්ෂිතව මෙන්ම නිරෝගීව තබා ගැනීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උද්භිත විද්‍යඥයෝ නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කරති. ජල බවුසරයකින් පැළයට දෛනිකන ජලය සැපැයීම සිදු කෙරේ.

මෙම බෝ පැළය අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් වන නිසාත් ඉන්දියාවට ලංකාවෙන් ලැබුණු ත්‍යාගයක් නිසාත්, මෙහි අගය මිල කළ නොහැකි වන නමුත්, ණය බර දරා ගැනීමට නොහැකිව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් දිවි නසා ගන්නා අවස්ථාක,  ‘රාජ්‍යතාන්ත්‍රික ත්‍යාගයක්’ වෙනුවෙන් ඉන්දීය රජය මෙලෙස රුපියල් ලක්ෂ ගණනින් වැය කිරීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී ඇත.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)


    

 


RECOMMEND POSTS