මුගාබේ: වීරයෙක්ද? නපුරෙක්ද?



නිදහස් සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබට් මුගාබේ අද (6) අභාවප්‍රාප්ත විය.

ඉකුත් අප්‍රේල් මාසයේ සිට රොබට් මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ අභාවය දැනුම් දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පැවැසූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.

අභාවප්‍රාප්ත වනවිට රොබට් මුගාබේ 95 වන වියේ පසුවිය.

පසුගිය වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේ බලයෙන් පහ කෙරුණු අතර ඒ දක්වා ඔහු වසර 37ක් සිම්බාබ්වේ හි පාලකයා වශයෙන් කටයුතු කළේය.

කළු ජාතික බහුතරයකට අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවලට ප්‍රවේශවීමට අවස්ථාව පුළුල් කිරීම නිසා මුල් කාලයේදී රොබට් මුගාබේ යම් ආකාරයක පැසසුමකට ලක්වුවත් පසුකාලීනව දූෂණය හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා එල්ල වීම රට තුළත් ජාත්‍යන්තරය තුළත් අප්‍රසිද්ධියට පත්විය.

එක්සත් රාජධානියෙන් නිදහස් ලැබීමෙන් පසු පැවැති පළමු මැතිවරණයෙන් ජය ලබමින් මුගාබේ 1980 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කරමින් 1987 වසරේදී එහු ජනාධිපති ධුරය ආරම්භ කරමින් එරට පළමු ජනාධිපතිවරයා බවට පත්විය.

රොබට් මුගාබේගේ අභාවය “ඉතා කනගාටුදායක ආරංචියක්” බවත් මුගාබේ “නිදහස් සටනේ ප්‍රතිමූර්තියක්” බවත් වත්මන් ජනාධිපති එමර්සන් මුනගැග්වා පැවැසීය.

රොබට් මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21 වැනිදා අතර එවකට සිම්බාබ්වේ රාජ්‍යය රොඬේෂියාව නමින් හැඳින්විණි. බි්‍රතාන්‍ය කොලනියක්ව පැවැති රොඬේෂියාව පාලනය කරන ලද්දේ එරට සුළු ජාතිකයන් වූ සුදු ජාතික ප්‍රජාවය.

වසර 1964 දී රජය විවේචනය කිරීමේ චෝදනාව නිසා රොබට් මුගාබේ සිරගත කෙරුණු අතර කිසිදු නඩු විභාගයකින් තොරව දශකයකට වැඩි කාලයක් ඔහු සිරගත කර තැබිණි.

සිරගත වී සිටින අතරවාරයේදී 1973 වසරේදී මුගාබේ ‘සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ (සානු පක්ෂය)’ සභාපතිවරයා ලෙස තෝරා පත් කරගැනිණි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි.

නිදහස ලැබීමෙන් පසු මුගාබේ මොසැම්බික් දේශයට පලා ගිය අතර එහි සිට ගරිල්ලා කණ්ඩායම් මෙහෙයවමින් රොඬේෂියාවට කඩා වැදුණේය. ගරිල්ලා සටන් මෙහෙයුවද ඔහු දක්ෂ සහ කුසලතා පූර්ණ ගනුදෙනු හා සාකච්ඡා කරන්නකු ලෙස පිළිගැනිණි.

අර්බුදය නිමා කිරීම සඳහා දේශපාලන ගිවිසුම්වලට එළැඹි අතර එය මුගාබේ සතු සාකච්ඡා කිරීමේ දක්ෂතාවල ප්‍රතිඵලයක් යැයි පැවැසිණි. අවසානයේදී නිදහස් සිම්බාබ්වේ ජනරජය බිහිවිණි.

නිදහස් ව්‍යාපාරයේදී මුල්තැන ගෙන ක්‍රියා කිරීම නිසා ජනරජයේ පළමු මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට මුගාබේ සමත්විය.

එහෙත් කාලයත් සමඟ මුගාබේට චෝදනා එල්ල වූ අතර ඔහු ඒකාධිපතියකු බවට ද චෝදනා එල්ල විය. ඔහුට චෝදනා එල්ල කළ බොහෝ දෙනා ජාත්‍යන්තර වීම ද විශේෂත්වයකි.

එහෙත් 2000 වසරේදී පළමු වරට ඔහුට එරෙහිව රට තුළ දේශපාලනික වශයෙන් විපක්ෂයක් ගොඩනැගුණි. එම කාලයේදීම මුගාබේට හිතවත් සටන්කාමීහු ප්‍රචණ්ඩකාරී ලෙස දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කළහ.

2008 පැවැති ජනාධිපතිවරණයේ පළමු වටයේදී මුගාබේ පරාජයට පත්වූ අතර විපක්ෂයට ප්‍රහාර එල්ල වූ නිසා ඔහුගේ ප්‍රතිවාදියා මැතිවරණයෙන් ඉවත් විය.

ඉන් අනතුරුව තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ හැක්කේ දෙවියන්ට පමණයි යැයි ප්‍රසිද්ධියේ ද පැවැසීය.

ඉන් අනතුරුව 2009 වසරේදී ආර්ථික කඩාවැටීම් හමුවේ මුගාබේට බලය බෙදා ගැනීමට සිදු වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ මෝගන් ට්ස්වන්ගිරායි අගමැතිවරයා ලෙස පත් කිරීමට මුගාබේට සිදුවිය.

බිරිඳ ග්‍රේස් තමාගෙන් පසු ජනාධිපති ධුරයට පත් කරන බව මුගාබේ කරන ලද ප්‍රකාශයක් සමඟ පසුගිය වසරේදී ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය.

ඔහු හා සමීපව කටයුතු කළ පිරිස්ද ඔහුට විරුද්ධ වූ අතර එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට මුගාබේට සිදුවිය. ඔහුගේ සමීපතම සගයකු වූ එමර්සන් ම්නන්ගග්වා ජනාධිපති ධුරයට පත්විය.

හර්ෂණ තුෂාර සිල්වා
බී.බී.සී. සහ ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS