මිනිසා සඳට යැවූ ගැහැනිය



ඇපලෝ 11 මෙහෙයුම යටතේ 1969 ජූලි 20 වැනිදා නාසා ගගනගාමීන් වන නීල් ආස්ම්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සඳ මත පය තැබීම මිනිස් වර්ගයාගේ අසම සම වික්‍රමයයි. ඒත් ආස්ම්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳට ගෙන ගිය ඊගල් යානයට සඳ ට ගොඩබාන්නැයි උපදෙස් දී තිබුණේ ගැහැනියකි. මිනිසාට සඳට යන්න උදව් කළ ගැහැනිය ලෙස ඇය සැලකෙයි. මේ ඇයගේ වික්‍රමයයි.

එදා, මීට වසර 51 කට පෙර, 1969 ජූලි 20 වැනිදා, ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රින් දෙදෙනා සමග ඊගල් චන්ද්‍ර යානය සඳට පහත් වෙද්දී, යානයේ අනතුරු ඇගවීමේ නලා නාද වෙන්න පටන් ගත්තේය. ගගනගාමීන් දෙදෙනා පමණක් නොව, ‘ඇපලෝ 11’ මෙහෙයුම් ප්‍රධානී මිට් වින්ඩියේර් මහත් සේ බියටත් කබලයටත් පත් විය.

‘ඇපලෝ 11’ මෙහෙයුමේ පාලක මැදිරිය පිහිටියේ ටෙක්සාස්, හූස්ටන් හි නාසා ගොඩනැගිල්ලේය.  ‘ඇපලෝ 11’ මෙහෙයුමට අයි.බී.එම්. වර්ගයේ පරිගණක 150 ක් භාවිතා කෙරුණි. ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු පරිගණක විශේෂඥයෝ 30 දෙනෙක් මෙහෙයුම් මැදිරියේ තම තමන්ට ආදාල රාජකාරිවල නියැලී සිටියහ. එපමණක් නොව, ඔවුහු සියලු ම දෙනා අවුරුදු 32 ට අඩු අය වූහ.

පිරිමි ගොඩ මැද්දේ හිටියේ එක් කාන්තාවක පමණි. ‘ඇපලෝ 11’ මෙහෙයුම් ප්‍රධානී මිට් වින්ඩියේර් කබලයටත් බියටත් පත් වී සොයන්න වූයේ ඇයයි. ඇයගේ නම මාග්‍රට් හැමිල්ටන් ය.

කුඩා කල සිට, මාග්‍රට්, හැමදේම ගැන උනන්දුවක් දැක්වූවාය. තාත්තාගෙන් නිතරම ප්‍රශ්න අසන්න වූවාය. නොදන්නා දේවල් දැන ගැනීමටත් අලුත් දේවල් දැන ගැනීමටත් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්න වූවාය. පෘථිවියෙන් එපිට දේවල් ගැනත් ඇය ප්‍රශ්න කළාය.

මාග්‍රට් ඉගෙන ගැනීමට දක්ෂ කෙල්ලකි. ගණන්වලට ඇය ඉතා දක්ෂය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇය ගණිතයෙන්, දර්ශන විද්‍යාවෙන් භෞතික විද්‍යාවෙන් උපාධි හිමි කර ගත්තාය. ගණිත පංතියේ සිටි එකම කෙල්ල වූයේ ඇයයි. ඒත්, ඇයට ඉගන්නුවේ ගුරුවරයෙකු නොව ගුරුවරියකි. කාන්තාවක ලෙස අභියෝග ජයගෙන ඉදිරියට යන්න, මේ ගුරුවරිය මාග්‍රට් ට ආදර්ශයක් වූ බව පැවැසෙයි.

ඇමෙරිකාවේ අංක එකේ තාක්ෂණ ආයතනය ලෙස සැලකෙන්නේ එම්.අයි.ටී. (මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය) ය. එම්.අයි.ටී. අති දක්ෂ, කැපී පෙනෙන පරිගණක විශේෂඥයන් රැසක් බිහි කළ ආයතනයක් ලෙස ලොව පිළිගැනීමක් හිමිකරගෙන තිබේ.

මාග්‍රට් එම්.අයි.ටී. ආයතනයට සම්බන්ධ වූයේ පරිගණක වැඩසටහන් නිර්මාණකාරියක ලෙසය. එම්.අයි.ටී. ආයතනයේ සිටිද්දී, මාග්‍රට් ට අභ්‍යවකාශ වැඩසටහන සම්බන්ධයෙන් නාසා ආයතනයෙන් රැකියා අවස්ථා දෙකක් ලැබුණි. කාසියක් උඩ දමා එක රැකියාවක් සදහා තමන් තෝරා ගන්නැයි මාග්‍රට් නාසා බලධාරීන්ට පැවැසුවාය.

නාසා ආයතනයේ රැකියාව කරද්දී, අනෙක් සේවකයන්ගෙන් මාග්‍රට් වෙනස් වූවාය. පිරිමි සේවකයන් මැද සිටි එකම කාන්තාව ඇය වූ අතර ඒ වනවිට ඇය මවකි. මාග්‍රට් ඇගේ දූ පොඞ්ඩ ලෝරන් රැකියා ස්ථානයට (ලැබ් එකට) එක්ක රැගෙන ආ අතර, මාග්‍රට් රාජකාරි කරද්දී දියණිය සෙල්ලම් කරන්න වූවාය.

මාග්‍රට් පරිගණක වැඩසටහන් ‘ලිවීමට’ පටන් ගත්තාය. ඒ, අභ්‍යවකාශ යානා හැසිරවීමටය‍. එපා කියද්දී, ලැබ් එකේ බොත්තම් ඔබන්න ගිහින් ලෝරන් ද අලුත් සොයා ගැනීම් කීපයකට දායක වූවාය.

මාග්‍රට්ගේ නායකත්වයෙන් ඇගේ කණ්ඩායම එක් වී, පරිගණක කේත ලිවීම ඇරඹුවේය. ඒවා ප්‍රින්ට් කර, ගොඩ ගැසූවිට, මාග්‍රට්ට වඩා උසින් වැඩි විය.

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඞ්වින් ඕල්ඩ්‍රින් සඳ බලා ගිය ‘ඊගල්’ යානයේ පරිගණක වැඩසටහන් නිර්මාණය කළේ මාග්‍රට්ය. ඊගල් යානය සඳට ගොඩබාන්න ඔන්න මෙන්න තිබියදී, අනතුරු ඇඟවීමේ බල්ම දැල්වෙමින්, අනතුරු නළා නාද වෙද්දී, මාග්‍රට් කලබල වූයේ නැත. එවැන්නක් සිදුවේවි ඇය කල් තියා අනුමාන කර තිබුණි.

ඇය ඒ සම්බන්ධයෙන්, පරිගණකයට උපදෙස් දී තිබුණේ ඇය විසින් නිර්මාණය කරනු ලැබූ කේතයකිනි ඒ අනුව, ඊගල් යානය ආපසු හැරීමක් සිදු කළේ නැත. ගමන වෙනස් කළේ ද නැත. නීල් ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රීන් ද රැගෙන සාර්ථකව සඳ මතුපිට ට ගොඩබෑවේය. පිරිමින්ට සඳට යන්න ගැහැනියකගේ උදවු ලැබුණේ එලෙසිණි.

නාසා වාර්තා ඇසුරිනි


RECOMMEND POSTS