මාධ්‍යවේදිනියක සමඟ ට්‍රම්ප් රණ්ඩු කරලා



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ චීන සම්භවයක් සහිත ඇමෙරිකන් මාධ්‍යවේදිනියක සමඟ රණ්ඩුවක් ඇති කර ගත්තේය.

‘කෙවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් දිනපතා, ධවල මන්දිර ගෙවත්තේ මාධ්‍ය හමුවක් පවත්වයි.

මාධ්‍ය හමුවට ද සුපුරුදු පරිදි ඇමෙරිකාවේ ප්‍රධාන පුවත් නාළිකා නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පැමිණ සිටියහ. ඒ, මුහුණු ආවරණ පැලඳ එකිනෙකා අතරේ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමිනි. එසේ පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් කෙනකු වූයේ සී.බී.එස්. පුවත් නාළිකාවේ වෙයිජියා ජියැං ය.

මාධ්‍ය හමුවේ දී ජනපති ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ ‘කොවිඞ් 19’ වයිරසය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සෙසු රටවල් අභිබවා ගොස් ඇති බවය. එම අවස්ථාවේදී වෙයිජියා ජියැං, ජනාධිපතිවරයාගෙන් විමසුවේ, ඇමෙරිකාවේ වයිරස මර්දන වැඩපිළිවෙළ කියන තරම් සාර්ථක නම් ලොව වැඩිම මරණ ඇමෙරිකාවෙන් වාර්තා වන්නේ ඇයිදැයි යන්න.

මාධ්‍යවේදිනියගේ පැනයට ජනපති ට්‍රම්ප්ට තරහ ගිය අතර, ‘ඒක ඔබ අහන්න චීනයෙන්’ යැයි පිළිතුරු දුන්නේය. ‘මා එය චීනයෙන් අහස්නේ මා චීන සම්භවයක් ඇති අයකු නිසාදැයි’ මාධ්‍යවේදිනිය ප්‍රශ්න කරද්දී, ජනපති ට්‍රම්ප් සී.එන්.එන්. පුවත් නාළිකාවේ කෙයිට්ලන් කොලින්ස්ට අවස්ථාව දුන්නේය.

වෙයිජියා ජියැං දිගටම ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න අසද්දී, කේට්ලින් ඇයට ඉඩ දුන් අතර, එවිට ට්‍රම්ප් වෙනත් මාධ්‍යවේදියකුට ප්‍රශ්න ඇසීමට ඉඩ දුන්නේය. එසේ කළේ ඇයිදැයි කේට්ලින් විමසද්දී, ‘මා ඔබට අවස්ථාව දුන්නා ඔබ එයින ප්‍රයෝජන ගත්තේ නැහැ’ යැයි කියමින්, මාධ්‍ය හමුව ද අතර මඟ නවතා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එතැනින් පිටවී ගියේය.

වෙයිජියා ජියැං සහ කේට්ලින් කොලින් යන මෙම මාධ්‍යවේදීන් දෙදෙනා මීට පෙර අවස්ථාවකදී ද මේ අයුරින් ට්‍රම්ප්ගේ උදහසට ලක් වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජනපති ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ මාධ්‍යවේදීන් දෙදෙනා තමන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසන බවටය.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS