බෘහස්පති සෙනසුරු ළං වුණු හැටි



බෘහස්පති සහ සෙනසුරු ග්‍රහයන්, එකිනෙකට ළංව පිහිටින අයුරු අද (21) පෘථිවිවාසී අපට දකින්න ලැබුණි.

මෙය ජීවිතයේ එක් වරක් පමණක් දකින්න ලැබෙන සිදුවීමක් බවත්, මෙවැනි ග්‍රහ පිහිටීමක් සිදුවන්නේ වසර 800 කට පමණ පසු බවත් තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

බෘහස්පති සහ සෙනසුරු එකිනෙකට ළංව එකමත එක වැටෙන සේ පිහිටද්දී, ඒවා දීප්තියෙන් දකින්න ලැබුණේ දීප්තිමත් තරුවක් ලෙසිණි. බෘහස්පති සහ සෙනසුරු එකිනෙකට ළං වීමට පටන් ගත්තේ පසුගිය දෙසැම්බර් පළමු වැනිදා සිටිය.

බෘහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන අතර, සෙනසුරු යනු වළලුවලින් සමන්විත අලංකාර ග්‍රහයාය. බෘහස්පති සහ සෙනසුරු එකිනෙකට ළං වී දීප්තිමත්ව පිහිටනු පියවි ඇසින් පැහැදිලිව දකින්න ලැබුණේ සවස හිරු බැස ගොස් මිනිත්තු 45 කට පමණ පසුවය.

ජේසු බිලිඳා බෙතේලෙහෙමේ උපන් දා රජවරුන්ට (ප්‍රඥාවන්තයන්ට) ඔහු සොයා පැමිණීමට මඟ පෙන්නුවේ සැදෑ අහස දීප්තියෙන් වර්ණවත් කළ තරුවකි. එම තරුව නත්තල් තරුව යනුවෙන් සහ බෙත්ලෙහෙම් තරුව ලෙස හැඳින්වෙයි. එදා ජේසු බිලිඳා උපන් අවස්ථාවේ, තරුවක් ලෙස දිස්වන්න ඇත්තේ බෘහස්පති සහ සෙනසුරු එක එල්ලයට එකමත එක පිහිටින ලෙස පෘථිවියට දිස්වීම යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඒ අනුව, දකින්න ලැබුණු ග්‍රහ පිහිටීම, නත්තල් තරුව දකින්න ලැබීමක් ලෙස ද බොහෝ දෙනා පවසා තිබුණි. මීට පෙර මේ අයුරින් බෘහස්පති සහ සෙනසුරු එකිනෙක ළං වී ඇත්තේ 1226 මාර්තු 4 වැනිදා බව පැවැසෙයි. ඉන්පසු 1623 දී ද මේ අයුරින්ම බෘහස්පති සහ සෙනසුරු එක එල්ලයට පිහිටියේය. ඒ, තාරකා විද්‍යාවේ පුරෝගාමියකු ලෙස සැලකෙන ඉතාලි ජාතික තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි ජීවත් වූ කාලයේය.

කෙසේ නමුත්, මීට වසර 397 කට පෙර, 1623 වසරේ බෘහස්පති සහ සෙනසුරු එක එල්ලයට පිහිටීම, පෘථිවි වාසීන්ට පැහැදිලිව දකින්න නොලැබෙන්න ඇතැයි පැවැසෙයි. ඒ අනුව, 1226 වසරේ සිට, වසර 800 කට පමණ පසු අද (21) සිදුවුණු එම සංසිද්ධිය යළි දකින්න ලැබුණි. යළිත් වරක් මේ අයුරින් බෘහස්පති සහ සෙනසුරු එක එල්ලයට පිහිටා රාත්‍රී අහසේ දීප්තියෙන් දිස්වනු ඇත්තේ 2080 මාර්තු 15 වැනිදාය.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, එකම තලයක සිට හිරු නැතිනම් සූර්යයා වටා ගමන් කරන බැවින් සමහර අවස්ථාවලදී ග්‍රහලෝක එකිනෙකට ළංව පිහිටින සේ පෙනෙයි. බෘහස්පති සහ සෙනසුරු එකිනෙකට ළං වන මෙම සුවිශේෂී සිදුවීම ඉතාමත් සුවිශේෂී එකකි.

සෞර ග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා ලෙස බෘසප්තිට හිරු වටා ඒක් වටයක් යෑමට ගතවන කාලය වසර 11.86 කි‍. සෙනසුරුට හිරු වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවුරුදු 29.46 කි. ‍‍සෑම වසර 20 කට වරක්ම බ්‍රහස්පති සහ සෙනසුරු එක එල්ලේ පිහිටමින් සමීපව දිස්වෙයි. 

එසේ වුවත්, මේ ග්‍රහලෝක දෙකෙහි කක්ෂ සූර්යයාගේ සමක තලයට අංශක ගණනාවකින් ඇලව පවතී. මේ හේතුවෙන් වසර විස්සකට වරක් සිදුවන සමීපවීමට අතරම, වසර හාරසීයකට පමණ වරක් ග්‍රහලෝක දෙක වඩාත් සමීපව දකින්න ලැබේ. අද 21 සිදුවූයේ එවැනිනක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පැහැදිලි කරයි.

නාසා ඇසුරිනි


RECOMMEND POSTS