නායකයාගේ සොහොයුරා මරන්න රැවටුණු හැටි



ඒ, සිතී අයිෂා, අහන්න බොහොම ආසාවෙන් සිටි මැවූ වදන් පෙළකි. ගැමියකුගේ දියණියක වන මේ ළදබොලඳ තරුණිය මුණ ගැසෙමින්, ඒ සිනමාකරු පැවැසුවේ ඇය තරුවක් කිරීමට ඔහුට හැකියාව ඇති බවය.

‘අද හැමදේම හොඳින් සිදුවුණොත්, ඔයා ලෝකය පුරා ප්‍රසිද්ධ වේවි.’ ඔහු ඇයට පැවැසූ අවසන් වදන් පෙළ එයයි. ‘ඔයා ජනප්‍රිය නිළියක් වේවි.’ එක අතකින්, සිනමාකරුගේ කතාව බොරුවක් නොවීය. සිතී අයිෂා නමැති අහිංසක මුස්ලිම් තරුණිය ලෝක පූජිත චරිතයක් විය. ඇයට ලොකු ප්‍රසිද්ධියක් ද ලැබුණි. ඒත් එවැනි ආකාරයේ ප්‍රසිද්ධියක් ඇය සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූවාය.

සිතී අයිෂා සහ වියට්නාම් තරුණිය අත්අඩංගුවට ගත් අවස්ථාව ...

සිතී අයිෂාගේ නම ලොව මහත් ආන්දලෝනයක් ඇති කළ සහාසික ඝාතනයකට ඈඳුණි ඒ, බටහිර රටවල් විසින් ‘කුරිරු’ පාලකයකු යැයි ද හංවඩු ගසා සිටින, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අයියණ්ඩියගේ ඝාතනය සම්බන්ධවය. සෙල්ලක්කාර චරිතයක් යැයි ප්‍රකට කිම් ජොන් නාම්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අඩ සොහොයුරාය.

2017 වසරේ පෙබරවාරියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කිම් ජොන් නාම් ට කුරිරු මරණයක් අත්විය. ඒ, ‘වීඑක්ස්’ නමැති මාරක විස රසායනය සිරුරේ තැවරීමෙනි. කිම් ජොන් නාම් මරා දැමුණේ මහ දවල්, දෙනෝදාහක් මැදය. එය කළේ තරුණියන් දෙදෙනෙකි. ඔවුන් විශ්වාස කළේ එය ‘යූ ටියුබ්’ වීඩියෝවක් වෙනුවෙන් ඔවුන් කළ විහිළුවක් කියාය.

සිදුවුණේ කුමක්දැයි හරිහැටි නොදන සිටියත්, තමන් වරදක් කළේ නැතැයි තරයේ කියා සිටියත්, සිතී අයිෂා සහ ඇගේ ‘සහාය නිළිය’ වූ වියට්නාම ජාතික තරුණිය ඩුඔංග් හී හුඔංග් ට මරණ දඬුවම හිමිවන තැනට වැඩ සිදුවිය. වසර දෙකක් මොවුන් දෙදෙනා සිරගත කර තැබුණි. එයින් වැඩි දිනක් ඔවුන්ට හුදෙකලා සිර කුටියක සිරවී සිටින්න සිදුවුණැයි පැවැසෙයි. ඒත් හදිසියේම, මේ වසර මුලදී ඔවුන්ට එල්ල වී තිබූ චෝදනා ඉවත දැමුණු අතර, දෙදෙනාට නිදහස හිමිවිය.

සිතී අයිෂා

හිරෙන් නිදහස් වූ දා පටන් සිතී අයිෂා නිහඬ ජීවිතයක් ගත කරන්නීය. ඇය යළි ඉන්දුනීසියාවේ පිටිසරබද ඇගේ ගම්මානයට පැමිණියා ඇත. තමන්ට මුහුණ දුන් අලකලංචිය ගැන ඇය කල්පනා කරයි. ‘ද මේල්’ පුවත් අඩවියේ ගවේෂණාත්මක වාර්තාකරුවකු වන සයිමන් පැරී, සිතී අයිෂා සොයා ගියේය. ඒ අනුව, සිදුවුණේ කුමක්දැයි පැහැදිලි කරමින්, සිතී අයිෂා ඇගේ කතාව පළමු වරට ලොවට හෙළි කළාය. කඳුළු පිරි දෙනෙතින් සහ කෝපයෙන් දැඩි වූ සිතින්, සැබෑ ඝාතකයන් තමන් අතකොළුවක්  කරගත් අයුරු ඇය විස්තර කළාය. තම ජීවිතය ගැන එම ඝාතකයන්ට අංශු මාත්‍රයක තැකීමක් නොතිබුණු බවත්, ඒ මාරක විස නිසා තම ජීවිතය ද අහිමි වීමේ අවදානමක් තිබුණු බවත් ඇය පැහැදිලි කරයි.

‘මම කළේ මොක්කදැයි මට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ’ යැයි කඳුළු පිරි දෙනෙතින් සිතී ඇගේ කතාවට මුල පිරුවාය. ‘ඔවුන් මට කීවා, මාව තරුවක් කරන්න ඔවුන්ට හැකි බව. මම ඔවුන්ට රැවටුණේ මගේ මෝඩකම නිසයි. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මේ සිදුවීම්වලට කලින් කිම් ජොන් උන් කියන්නේ කවුරුදැයි කියලවත් මම දැන සිටියේ නැහැ. උතුරු කොරියාව තියෙන්නේ කොහෙද කියලවත් මම  දැන සිටියේ නැහැ. කිම් ජොන් නාම් ට සිදුවුණු දේ ගැන මට ලොකු කනගාටුවක් දැනෙනවා. ඊට මම මැදිහත් නොවුණා නම් හොඳයි දැන් හිතෙනවා. ආපස්සට යන්න පුළුවන් වුණා නම්, මම කීයටවත් එහෙම දෙයක් කරන්න එකඟ වෙන්නේ නැහැ.’ ‘හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ මම මගේ නම අන්තර් ජාලයේ සොයලා බැලුවා. මං ගැන පුවත් බොහොමයි. ලෝකයේ වැදගත් පුද්ගලයකු ඝාතනය කිරීමේ මහා මිනීමැරුමකට මම හවුල් වීම ගැන පුදුමයි. එහෙම වුණේ කොහොමද? මම පුංචි ගමක පුංචි දැරියක්. එදා මම හිතාගෙන සිටියේ මම කරන්නේ විහිළුවක් කියලයි. එපමණයි.’

අවුරුදු 27 ක් වුවත්, සිතීට ඇත්තේ ළාබාල පෙනුමකි. හැඩකාරියක ද වන සිතී මවකි. ඇයට අවුරුදු දහයක පුතෙකි. ඇයට සිර දඬුවම් නියම වෙද්දී, පුතාගේ වයස අවුරුදු 7 ක් විය. ඇය මුහුණ දුන් අත්දැකීම ත්‍රාසය පිරි නවකතාවක කතා පුවතක් වැනිය. ඝාතන මෙහෙයුමක් සඳහා රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් බඳවා ගනු ලබන ලස්සන තරුණියක් ගැන කියවෙන කතා පුවතක් හා සමානය. තමන් ඝාතනයක් කළ බව ඇය නොදනී. ඒත් මේ, එවැනි කතාන්දරයක් හෝ චිත්‍රපටයක් හෝ නොවෙයි. සිතී සැබැවින්ම කිසිවක් නොදැන සිටි බව තහවුරු කිරීමට පිටිසරබද ගම්මානයේ පිහිටි ඇගේ සරල ජීවිතය, කඩොලාන සහ පොල් ගස්වලින් ද වටවුණු ඇගේ පුංචි නිවස සාක්ෂි දරයි. ඇගේ නිවෙස් විසිත්ත කාරමයට පවුලේ අයගේ ඡායාරූපවලින් සහ කුරාණයේ පාඨවලින් පිරී පවතී. බාහිර ලෝකය ගැන සිතීගේ දැනුම අල්පය. උදාහරණයක් ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් කවුරුදැයි කියා ඇය දන්නේ නැත. දරුවන් තිදෙනකුගේ පවුලේ බාලයා ඇයයි. අවුරුදු 12 ක් වෙද්දී ඇයගේ පාසල් ගමන නැවැතිණි. අවුරුදු 17 ක් වෙද්දී, ඇය මවක වූවාය. ‘මම විවාහ වෙලා සතුටින් සිටියේ මාස තුනක් පමණයි. මගේ සැමියා සූදුවට ඇබ්බැහි වූ කෙනෙක්. ඔහුට වෙන ගෑනු හිටියා. ඔහු පවුලට ආර්ථික වශයෙන් ශක්තියක් වුණේ නැහැ.’ ඇය කියයි.

විවාහය දෙදරා ගියේය. වෙන විකල්පයක් නොවූ බැවින්, පුතා සැමියාගේ මාපියන්ගේ රැකවරණයට පත් කොට, සිතී මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පැමිණියාය. 2017 වසර වන විට ඇය ෆ්ලැමිංගෝ හෝටලයේ සම්බාහිකාවක ලෙස රැකියා කරන්න වූවාය. රාත්‍රියේ ඇය බීච් ක්ලබ් කැෆේ නමැති අවන්හලේ සේවය කළාය. 2017 ජනවාරියේ දිනක උදෑසන ඇයට කුලී රථ රියදුරකු හමුවිය. ඒ හමුව ඇගේ මුළු ජීවිතයම උඩු යටි කුරු කරනු ඇතැයි ඇය දැන සිටියේ නැත. ‘ඔහු මට කීවා, ජපන් සේවාදායකයකු ගැන. මේ තැනැත්තා තරුණියක් සෙයෙමින් සිටියා, රියැලටි වැඩසටහනක චරිතයකට. මගේ පෙනුම ඊට අපූරුවට ගැලපෙනවා යැයි රියදුරා කීවා’ සිතී අතීත සිදුවීම සිහිපත් කරමින් කියයි.

නිළියක වීමට තිබුණු ආසාව නිසා ලැබුණු අවස්ථාව ගැන සතුටු වෙමින්, ඇය සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී, ජපන් ජාතික රූපවාහිනී නිෂ්පාදකවරයා ‘ජේම්ස්’ හමුවූවාය. යූටියුබ් වෙබ් අඩවියට, නොහොබිනා විහිළු වැඩ කරන රියැලටි වැඩසටහනක් නිෂ්පාදනය කරන අයකු ලෙස ජේම්ස් ඔහු හඳුන්වා දෙනු ලැබ තිබේ.
ඒත් සැබෑවට ‘ජේම්ස්’, ජේම්ස් නොවූ අතර ඔහු ජපන් ජාතිකයකු ද නොවීය. ජේම්ස්ගේ සැබෑ නම රි ජී යූ ය. ඔහු අවුරුදු 30 ක් වයසැති උතුරු කොරියා ඒජන්තවරයෙකි. ඉන්දුනීසියා බස කතා කිරීමට නොහැකි වූ බැවින්, ‘ජේම්ස්’ ඔහුට අවශ්‍ය පැහැදිලි කිරීම් සියල්ල සිතී ට පැවැසුවේ ගූගල් පරිවර්තකය හරහාය. සිතී ට පැවැරුණු පළමු රාජකාරිය සරල පැහැදිලි එකක් විය. ඇයට ඒ වෙනුවෙන් පවුම් 80 ක මුදලක් ලැබුණි. එවැනි පුංචි පහේ වැඩකට එතරම් මුදලක් ලැබීම ඇගේ සතුටට හේතුවක් විය. ඇයට කරන්න තිබුණේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිටි, අහඹු ලෙස තෝරා ගත් තරුණයන් තිදෙනකු ළඟට ගොස් අත්වැරදීමක් වූ අයුරින් ඔවුන්ගේ සිරුරේ ‘බේබි ඔයිල්’ තැවරිමය. ඉන්පසු ‘සමාවෙන්න’ යැයි කියමින් ඇය එතැනින් පිටවී යයි. ‘ජේම්ස්’ එම දසුන් සියල්ල ඔහුගේ අයිෆෝන් දුරකතනයෙන් පටිගත කරයි. ‘මම හොඳින් වැඬේ කළා ඔහු කීවා. තවත් මේ වගේ දේවල් කරන්න තියෙනවා කැමතිද?’ ඔහු මගෙන් ඇහුවා.

‘ඒ වගේ ඇස් රතු වෙන විහිළු කිරීම සම්බන්ධයෙන් මම හිටියේ චකිතයෙන්. විහිළුවට ලක්වෙන කෙනාට තරහා යන්න පුළුවන්. මට කරදරයක් වෙන්න පුළුවන්. ඒත් විහිළු කළා කියලා කවුරුවත් මට දොස් කීවේ නැහැ. මේ වගේ විහිළු බලන්න කවුරුද කැමති කියලා මම කල්පනා කළා. මෙවැනි විකාර වැඩසටහන් ජපානයේ ප්‍රසිද්ධ බවත් ජපන් ප්‍රේක්ෂකයන් මෙවැනි විහිළු වැඩසටහන් නැරැඹීමට ප්‍රිය කරන බවත් ජේම්ස් පැහැදිලි කළා. පටිගත කරන දසුන් සිංගප්පූරුවේදී සංස්කරණයට ලක් කෙරෙන බව ඔහු මට කීවා.’ යැයි සිතී ඇගේ අත්දැකීම් විස්තර කරයි. ‘මිනිත්තු 15 ක් වැඩ කරලා මට උපයන්න ලැබුණා රිංගිට්ස් 400 ක්. (රිංගිට්ස් යනු මැලේසියා මුදල් වර්ගයකි. රිංගිට්ස් 400 ක් පවුම් 80 කට සමානය.) සම්බාහිකාවක් ලෙස රැකියාව කරද්දී මට එක් සේවාදායකයකු වෙනුවෙන් ලැබුණේ රිංගිට්ස් 200 ක මුදලක් පමණයි. ඒ නිසා ජේම්ස්ගේ යෝජනාවට මම කැමැති වුණා.’

ඉන්පසු ගතවුණු සති කිහිපයේ ජේම්ස්ගෙන් සිතී ට ඇමතුම් ලැබුණි. ඒ, වෙනත් සුපිරි වෙළෙඳ සංකීර්ණවලත්, ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළ තුළත් ‘විහිළු වැඩ’ කිරීමටය. හැමදාම සිදුවුණේ එකම දෙයකි. ජේම්ස්, තෙල් වැනි දියරයක්, (බොහෝ විට බේබි ඔයිල්) සිතීගේ දෑත්වල තවරයි. ඇය තෝරා ගත් කෙනකුගේ පසින් ගොස් දෑත් ඒ තැනැත්තාගේ මුහුණේ හෝ සිරුරේ වෙතත් තැනක හෝ එය පිස දමයි. ඒ සැණින් එම තැනැත්තාගෙන් සමාව ගන්නා ඇය කඩිනමින් එතැනින් පිටවී යයි. ‘ජේම්ස්’ ඇයට කරන්න පවසා ඇත්තේ එපමණය.

වැඬේ සාර්ථකව කරද්දී දැන් ඇයට ලැබෙන මුදල් ප්‍රමාණය පවුම් 100 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ඇයට වාසියක් විය. ඒ නිසා ඇය තමා කරන කිසිම දෙයක් ගැන ප්‍රශ්න කිරීමක් නොකළාය. එදා ඇය කිසිවක් දැන නෙසිටියත් දැන් ඇයට සියල්ල පැහැදිලිය. ‘ජේම්ස්’ කර ඇත්තේ ඇයට පුහුණුවක් දීමය.  ඔහු ඇය පුහුණු කළේ එක් සුවිශේෂී මෙහෙයුමක් සඳහාය. ‘මාව ඇමෙරිකා එක්ක යනවා ජේම්ස් වරක් මට කීවා’ ඇය පැහැදිලි කරයි. ‘මම ඔහුට මගේ ගමන් බලපත්‍රය දුන්නා, වීසා සකස් කරගන්න. මම හිටියේ හරිම ආසාවෙන්. මම හිතන් හිටියේ මගේ ජීවිතේ පුදුම විදියට වෙනස් වේවි කියලයි. අතීතය අමතක කරලා අලුත් ජීවිතයක් ගත කරන්න ලැබේවි කියලි මම සතුටු වුණා.’

ජේම්ස් ගැන ඇතිවූ පැහැදීම නිසා, ඔහු කෙරෙහි සිතී තුළ පිළිබඳ සිතක් පහළ විය. ඒ නිසා ඔහු කියන හැමදේම ඇය කිසිදු විරෝධයකින් තොරව කළාය. ‘ඔව්, මට ඔහු ගැන කැමැත්තක් ඇතිවුණා. ඔහු කඩවසම් හාදයෙක්. හැබැයි කාන්තාවන් ඉදිරියේ ලැජ්ජාකාරයා.’ සිතී කියයි. දෙදෙනාගේ ‘හිතවත්කම’ ඊට වඩා දුරදිග ගියේ නැත. සති කීපයක් ඇතුළත සිතී ට කාම්බෝජයට යෑමට සිදුවිය. ඒ තවත් ‘චිත්‍රපට නිෂ්පාදකයකු’ යැයි කියා ගත් ‘චැංග් මහත්මයා’ සමඟය. මොහු ද තවත් උතුරු කොරියානු රහස් ඒජන්තවරයෙකි. නම හොං සොං හැක් ය. චැංග් මහතාට ඉතා හොඳින් ‘භාෂා බස’ හැසිරවිය හැකි විය. භාෂා යනු ඉන්දුනීසියානු භාෂාවක් වන අතර සිතීගේ මවු භාෂාව වූයේ ද එයයි. ‘ඒත් මම එයාට කැමැති වුණේ නැහැ. එයා ටිකක් සැරයි. මට වෙලාවකට බයක් දැණුනා’ යැයි සිතී කියයි.

චැංග් මහත්මයාට යටතේ ද සිතීට මුදලට විහිළු වැඩවලට සම්බන්ධ වීමට සිදුවිය. කොලොම්බියාවේ නොම්පෙන් නුවරදීත්, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදීත් ඇය දිගටම ඇගේ රාජකාරිය කළාය. මේ අතරතුරේ තිරයෙන් පිටුපස තවත් සිදුවීම් පෙළක් දිග හැරෙමින් තිබුණි. උතුරු කොරියානුවන්ගේ ඉලක්කය වී තිබුණේ කිම් ජොන් නාම් ය. ඔහු හසු කර ගැනීම උතුරු කොරියා රහස් ඒජන්තවරුන්ට ගැටලුවක් විය. හේතුව, කිම් ජොන් නාම් නිරන්තරයෙන් ගමනේ යෙදුණු අයකු වූ බැවිනි. ඔහු එක තැකත වැඩි දිනක් රැඳී නොසිටි අයෙකි. එහෙයින්, මාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඒජන්තවරුන්ට අභියෝගයක් විය.

කිම් ජොන් නාම්, නායක කිම් ජොන් උන්ගේ අඩ සොයුරා වන්නේ දෙදෙනාගේම පියා කිම් ජොන් ඉල් නිසාය. කිම් ජොන් උන් උතුරු කොරියාවේ නායකයා බවට පත් වූයේ පියා කිම් ජොන් ඉල්ගේ අභාවයෙන් පසුවය. කිම් ජොන් නාම් සහ නායක කිම් ජොන් අතරේ විරසකයක් පැවැති අතර, එය වඩාත් ත්‍රීව වූයේ කිම් ජොන් නාම්, උතුරු කොරියානු රෙජීමය සම්බන්ධ රහස්, වසර කීපයක් තිස්සේ ඇමෙරිකාවට ලබා දුන්නේ යැයි සැක කරමින් චෝදනා එල්ල වීම නිසාය.

උතුරු කොරියානු ඒජන්තවරු ඔවුන්ගේ ඉලක්කයට සමීප වෙමින් සිටියහ. කිම් ජොන් නාම් යළි මැලේසියාවට පැමිණෙද්දී, කොරියානු ඒජන්තවරු ඒ ගැන දැන සිටියහ. මැලේසියාවේදී කිම් ජොන් නාම්, ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරයකු හමුවුණු බවත්, ඇමෙරිකන් ඩොලර් 100 නෝට්ටු මිටියක් වෙනුවෙන් දත්ත අඩංගු ලැප්ටොප් පරිගණකයක් කිම් ජොන් නාම් එම ඒජන්තවරයාට ලබා දුන් බවත් පොලිස් තොරතුරු මාර්ගයෙන් ‘ද මේල්’ වෙබ් අඩවියට දැනගන්න ලැබී ඇත. ඝාතනය සිදුවීමට දින දෙකකට පෙර, සිතී යළි ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ සිය සුපුරුදු රංගන කටයුතුවල නියැලෙමින් සිටියාය. මේ වතාවේ චැංග් මහතා ඇයට අමතර මුදලක් ලෙස ඇමෙරිකන් ඩොලර් 200 ක් දී ඇත. ‘ඇයි මට ඒ සල්ලි දෙන්නේ යැයි මම ඇහුවා. මම නොම්පෙන් නුවරදී මම හොඳින් වැඩ කළ නිසා ඔහුගේ ප්‍රධානියාට මං ගැන ලොකු පැහැදීමක් ඇති වුණු බවත් ඔහු මං ගැන සතුටට පත්වී සිටින බවත් චැංග් මහත්මයා මා සමඟ කීවා.’ සිතී පැහැදිලි කරයි. මීළඟ වැඬේ දී ඇයට ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට හැකිවනු ඇති බවත්, ඇය ජාත්‍යන්තර තලයට පත්වනු ඇති බවත් චැංග් මහතා සිතී ට පවසා ඇත. ‘ප්‍රසිද්ධිය විතරක් නොවෙයි, සල්ලි හොඳින් ලැබෙන නිසා මම ඊට කැමති වුණා.’ තිබූ සතුටට එදා රෑ ඇය ඇගේ 25 වැනි උපන් දිනය වෙනුවෙන් ජකර්තා හාඞ් රොක් කැෆේ අවන්හලේ උපන්දින සාදයක් පවත්වමින් ඇයට ලැබුණු අවස්ථාව ගැන යහළු යෙහෙළියන්ට ද  පවසා ඇත.

පසුදා සිතී ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ තුළ කෝපි අවන්හලේ දී චැංග් මහතා හමුවූවාය. ඒ, අවසන් විහිළුව සඳහා කළ යුත්තේ කුමක්දැයි සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමටය. කලින් ඒවාට වඩා මේ විහිළුව ටිකක් වෙනස් එකක් වේවි යැයි ඔහු ඇයට පැහැදිලි කර තිබේ. තෝරා ගත් එක් විශේෂ අයකු සඳහා පමණක් විහිළුව කිරීමට සිදුවන බවත්, ඒ සඳහා සිතී ට තවත් ‘නිළියක’ හවුල් වනු ඇති බවත්, ඇය අවසන් මොහොතේ වෙනත් පැත්තක සිට එතැනට පැමිණෙනු ඇති බවත් චැංග් මහතා පැහැදිලි කර තිබේ.
කලින් අවස්ථාවලදී මෙන්ම, ‘සිනමාකරු’ කුඩා ෂැම්පෝ බෝතලයක් තරම් බඳුනක් පිටතට ගත්තේය. එහි වූ දියරය සිතීගේ දෑත්වල ගැල්වීය. ඉන්පසු ඔහු ගුවන් තොටුපොළ මගීන් පිටවෙන පර්යන්තයේ සිටි පිරිස අතරින් ඇගේ ඉලක්කය විය යුත්තේ කවුරුන්දැයි ඇඟිල්ල දිගු කර පෙන්වීය. ඇය ඒ මිනිසා වෙත පියවර නැගුවාය. ‘චැංග් මහත්මයා කීවේ, ඒ කෙනා ඔහුගේ සමාගමේ ප්‍රධානියෙක් කියලයි. ඒ වගේමයි ඔහු ටිකක් මුරණ්ඩු අයකු බවත් කීවා. ඒ නිසා විහිළුව කරද්දී ඔහුට තරහා යන්න ඉඩ තිබෙන බවත්, දියරය ඔහුගේ සිරුරේ තවරා විහිළුව කළ සැණින් ඔහු මඟ හැර යන්නැයි’ චැංග් මහතා උපදෙස් දුන්නා.’

කිම් ජොන් නාම් ඝාතනයට ලක් වුණු අවස්ථාව ...

මේ අවස්ථාවේ, සිතීගේ සිතට ලොකු චකිතයක් දැනෙන්න පටන් ගෙන ඇත. ඇය ඒ චතිකය යටපත් කර ගනිමින්, ඒ මිනිසාට සෙමින් සෙමින් ළං වූවාය. ඇය ළං වූයේ කිම් ජොන් නාම්ට ය. ඇය ඇගේ දෑත්වල වූ දියරය ඔහුගේ සිරුරේ ස්පර්ශ කර අඩි දෙකක් පස්සට වෙද්දී, ‘දෙවැනි නිළිය’ හුඔංග් එතැනට පැමිණ, ඇගේ දෑත් තෙත් වී තිබුණු දියරය කිම් ජොන් නාම්ගේ ඇස්වල තවරා සැණෙකින් එතැනින් ඉවත් වූවාය. තරුණියන් දෙදෙනා එකිනෙකාට ප්‍රති විරුද්ධ දිශාවලට ඇවිදයමින් කෙළින්ම ඇතුළු වූයේ ගුවන්තොටුපොළේ නානාකාමර දෙකකටය. ‘ඔහු හොඳ පොහොසත් කෙනෙක් බව මට පෙනුනා. ඒ වගේමයි මං කළ දෙයින් ඔහුට හොඳටම තරහා ගියා. මං ගැන ඔහු පොලිසියට පැමිණිලි කරාවි බය වුණා. මම ඉක්මනින් එතැනින් ගියා.’ යැයි සිතී කියයි.
සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ‘වී.එක්ස්’ විස යොදා ගනිමින් කිම් ජොන් නාම් ඝාතනය සිදුවුණු බවය. එම විස රසායන දියරයට අඩංගු සංඝටක දෙකක්, වෙන් වෙන්ම සිතී සහ අනෙක් ‘නිළිය’ හුඔංග් දෑත්වල තැවරීම සිදු කර ඇත. මෙම සංඝටක කිම් ජොන් නාම්ගේ සිරුරේ ගැවී එකට මිශ්‍රවීමත් සමඟ එය ඔහුට මාරක විය. සිතී සහ හුඔංග් දෙදෙනාගේ අත්වල තැවැරුණේ විස වර්ගයේ කොටස් නිසාත්, ඔවුන් දෙදෙනා කඩිනමින් නාන කාමරවලට ගොස් ඒ, ඇලෙනසුළු දියරය සබන් දා සෝදා ඉවත් කරගත් නිසාත් එය එයින් ඔවුන්ට අනතුරක් නොවිණි. ඒ ඔවුන්ගේ වාසනාවටය. 

විස ශරීරගත වෙද්දී කිම් ජොන් නාම් දැඩි වේදනාවකින් සිහිසුන්ව ඇද වැටුණි. ඔහුගේ ඉන්ද්‍රියන් එකිනෙක අක්‍රිය වීමට පටන් ගත්තේය. පසුව දැන ගන්න ලැබුණු පරිදි, වීඑක්ස් විස ශරීර ගත වුවහොත්, එයින් බේරීමට ප්‍රති විස අඩංගු බෙහෙතක් කිම් ජොන් උන් ළඟ තිබී ඇත. කෙසේ නමුත්, බෑගයේ තිබූ එම බෙහෙත කිම් ජොන් නාම් ට ලබා ගැනීමට නොහැකි වූයේ විස තැවරී ඔහුගේ දෑස්වල තැවරීමෙන් ඒ වනවිටත් ඔහු අන්ධභාවයට පත්වී සිටීම යැයි පැවසෙයි. ගිලන් රථයකින් රෝහලකට ගෙන යන අතරතුරේ කිම් ජොන් නාම් මියගියේය.

සිතී ඇගේ නීතීඥවරයා සමඟ ...

සිදුවුණු මේ කිසිවක් සිතී දැන සිටියේ නැත. ඇය ඇයට පැවැරුණු කටයුත්ත නිමා කිරීමෙන් පසු තවත් පැය තුනක් ගුවන්තොටුපොළේ රැඳී සිටියාය. ගුවන්තොටුපොළ සාප්පු සංකීර්ණයේ සාප්පු සවාරියක් ගියාය. ගුවන්තොටුපොළ තුළදීම දිවා ආහාරය ද ගත්තාය. ඉන්පසු ඇය ෆ්ලැමිංගෝ හෝටලයට පැමිණ සම්බාහිකාවක ලෙස ඇගේ සුපුරුදු කටයුතුවල නියැලුණාය. ජාත්‍යන්තර සිදුවීමකට තමන් සම්බන්ධ යැයි සිතී දැන සිටියේ නැත. දින දෙකකට පසු පොලිසිය පැමිණ ඇය අත්අඩංගුවට ගත්තේය. ඇය මුලින් සිතා ඇත්තේ, තමන් අනෙක් අයට කළාක් මෙන් යූටියුබ් වැඩසටහනක විහිළුවකට තමන්ට ද මුහුණ පාන්න සිදුවී ඇති බවය. ‘13 වැනිදා කොහෙද හිටියේ? ගුවන්තොටුපොළේ හිටියා නේද? පොලිසිය මගෙන් ප්‍රශ්න කළා. මම ‘ඔව්’ කීවා. මම කීවා මම වීඩියෝවකට රංගනයෙන් දායක වුණු බව. ‘ඇයි ඒ ගැන නිසි අවසර නොගත්තේ?’ පොලිසිය මගෙන් ඇහුවා. ‘යමු පොලිසියට’ නිලධාරීන් කියද්දී, මම පොලිසියට ගියා. විදෙසවලින් පැමිණ මැලේසියාවේ රැකියා කරන සේවක සේවිකාවන් නිරන්තරයෙන් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙනවා. මම හිතුවා මේකත් එහෙම දෙයක් වෙන්න ඇති කියලා.’

පොලිසිය මට පැහැදිලි කළා මම ජනාධිපතිවරයකුගේ සොහොයුරකු ඝාතනය කිරීමේ සිදුවීමකට හවුල් බව. ඒක ඇහුවාම මට හිනා ගියා. ‘විහිළු කරනවා නේද?’ මම පොලිස් නිලධාරිනියන්ගෙන් ඇහුවා. මම ඔවුන්ට කීවා, මගේ ගමන් බලපත්‍රය ආපසු දෙන්න මම මගේ රටට යන්නම්. එහෙම කීවාම ඔවුන්ට කේන්ති ගියා මට මාංචු දැම්මා.’ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිතී රෝහලකට ගෙන යනු ලැබුණි. එදා ගුවන් තොටුපොළේ දී ඇය ඇද සිටි ඇඳුමේ ‘වීඑක්ස්’ විස සංඝටක තිබුණු බව ඒ වනවිට තහවුරු වී තිබුණි. තවත් දිනකට පසු, ඇයට නීතීඥවරයකුගේ සහාය පැතීමට අවසර ලැබුණි. ඒ, පුද්ගල ඝාතන චෝදනා ලැබ මුලින්ම අධිකරණය හමුවට යොමු කෙරුණු අවස්ථාවේදීය. මැලේසියාවේ මිනීමැරුම්වලට සමාවක් නැත. හිමිවන්නේ මරණ දඬුවමයි.

‘මරණ දඬුවම හිමිවන බව පවසද්දී, මම හුඟක් බය වුණා.’ ඇය කඳුළු සලමින් අතීත සිදුවීම් විස්තර කරන්න වූවාය. ‘මොකද වුණේ මං කිසිවක් දැන සිටියේ නැහැ. මං අමාරුවේ වැටුණේ කොහොමදැයි කල්පනා කරන්න වුණා. මම මාස තුනක් තිස්සේ හිටියේ හැඬූ කඳුලින්. මට කන්න බොන්න පිරියක් තිබුණේ නැහැ. මට මගේ පුතා ආයේ දකින්න නොලැබේවි යැයි කල්පනා වෙද්දී ලොකු දුකක් දැනේන වුණා.’

නඩු විභාගයට පෙනී සිටින අතරතුරේ, පළමු වසර පුරාවට ඇය බන්ධනාගාරයේ හුදෙකලා කුටියක රඳවා තැබීම සිදුවිය. ඇයට හමුවන්න අවසර ලැබී තිබුණේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සහ තානාපති කාර්යාල නිලධාරීන් පමණය. බන්ධනාගාර නියාමකවරුන්ගෙන් ඇයට කෙණෙහිලිකම් සිදුවිය. එය ඇයට මානසික වදයක් විය. දිවි නසා ගන්නැයි ඔවුන් ඇයට බල කරන්න විය. වරදකරු යැයි පිළිගත්තොත් ඉක්මනින් මරණ දඬුවම ලැබෙනවා යැයි ඔවුන් ඇයට පවසා තිබේ. ‘වරද බාර නොගත්තොත්, උතුරු කොරියාව මගේ මවු රට ඉන්දුනීසියාවට බෝම්බ දමාවි ඔවුන් මාව බය කළා’. සි.ී කියයි. සෑම සතියකම මිනිත්තු 15 කට පමණක් අම්මටත් තාත්තාටත් ඇමතුමක් දීමට ඇයට අවසර හිමිවිය. ‘මුල්ම අවස්ථාවේ මම අම්මලාට කතා කරද්දී, මට ඇඬුණා. කතා කරගන්න බැරි වුණා. මට මොකක්ද වුණේ අම්මා තාත්තා මගෙන් කවදාවත් අහලා නැහැ. එයාලා රූපවාහිනිය නරඹනවා. මට සිදුවුණු අකරුබ්බ ගැන ඔවුන් මට වඩා හොඳින් දැන සිටියා.’

මාස ගණනක් කල් යෑමෙන් පසු සිතී සම්බන්ධ නඩු විභාගය පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ විය. සිතීගේ පුදුමයට හේතුවක් වන පරිදි, ඇයට එල්ල වී තිබුණු මිනීමැරුම් චෝදනා ඉවත දැමුණි. ඒ ඇයි ඇයට පැහැදිලි කිරීමක් ලැබුණේ නැත. මැලේසියා අගමැති මහතීර් මොහොමද් ද කියා සිටියේ, වෙනත් පාර්ශ්වයක් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේ නැති බවය. ඒ අනුව, මැලේසියා අධිකරණය සිතී නිදහස් කළේය. සිතීගේ නීතීඥවරයා ගූයි සූන් සෙග් ‘ද මේල්’ වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියේ, සැබෑ ඝාතකයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවය. ‘ඒක හරිම සහාසික ඝාතන සැලැස්මක්. කිම් ජොන් නාම් ගුවන් තොටුපොළෙන් තවත් ගුවන් යානයකට මාරු වෙන්නයි සූදානමින් සිටියේ. විස ශරීරගත කිරීම ඔහුට නොදැනුවත්ම සිදුකර, ගුවන් යානයට ගොඩවීමෙන් පසු ගුවන් යානය තුළ මරණය සිදුවීමට සැලැසුම් කර තිබුණි. එසේ වූවා නම්, හෘදයාබාදයකින් ඔහු මියගියේ යැයි තීරණය කෙරෙනවා.  ඝාතනයක් සිදුවුණු බව සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒත් සැලැස්මට අනුව හැමදේම සියයට සියයක් නිවැරදිව සිදුවුණේ නැහැ. ඔවුන් වීඑක්ස් විස මැලේසියාවට ගෙනාවා. එය යුද ප්‍රකාශ කිරීමක්. ඝාතනයට සම්බන්ධ සැබෑ ඝාතකයන් නිසැක වශයෙන්ම නීතිය හමුවට ගෙනා යුතුයි’ නීතීඥ ගූයි සූන් සෙග් පැහැදිලි කරයි.

ඉන්දුනීසියා ජනාධිපති හමුවෙමින් ...

උපහාසය නම්, නිළියක ලෙස ජනප්‍රිය වෙන්න සිහින මැවූ සිතීට, දේශපාලන ඝාතනයකට නොදැනුවත්ව සම්බන්ධ වී, ඇති තරම් ප්‍රසිද්ධියක් ලබීමය. හිරෙන් නිදහස් වුණු ඇයට හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. පෞද්ගලික ගුවන් යානයකින් ඇය ඇගේ මවු රට වන ඉන්දුනීසියාව බලා ගියාය. ඇය කෙලින්ම ගියේ ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ හමුවටය. තවත් මාස දෙකක් ඇය ආරක්ෂිත නිවසක විශේෂ ආරක්ෂාවක් මැද ජීවත් වූවාය. ඒ, ඇගේ ජීවිතයට අනතුරක නොමැති බව පසක් වන තුරුය. සිතී ආපසු එද්දී, ඇගේ පුතා රියෝ තව දුරටත් පුංචි දරුවකු නොවීය. දෝතින් වඩා ගෙන සුරතල් කළ පුතු දැන් උස ගොසිනි. ‘මම ඔහුගෙන් සමාව ඉල්ලුවා. ඔහු දාලා ගියාට. හිරේ සිටිද්දී මට පුළුවන් වුණා දුරකතනය ඔස්සේ පුතා අමතන්න. ඒත් එයා මා එක්ක කතා කළේ නැහැ. අන්තිමේදී මාව දැක්කාම එයා හිනාවෙලා මාව තදින් වැළඳගත්තා’. ‘ඇත්තටම මම හරිම මෝඩියක් වුණා. ජේම්ස් සහ චැංග් මහත්මයා ගැන හරි වේදනයි. තරහයි. මම ඔවුන් ඕනෑවට වඩා විශ්වාස කළා. මගේ පෞද්ගලික දේවල් මම ඔවුන්ට කීවා. ඒත් ඔවුන් මාව අමාරුවේ දැම්මා. මගේ ජීවිතේ අවදානමේ දැම්මා. මම ජීවත් වුණත්, මළත් ඔවුන්ට ඒ ගැන තැකීමක් තිබුණේ නැහැ’ යැයි සිතී කියයි.

හිරෙන් නිදහස් වී පැමිණ සය මසක් ගත වෙද්දී, සිතී අයිෂා මේ වනවිට රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට පාඨමාලාවක් හදාරන්නීය. ‘මට ඕනෑ මගේ ජීවිතේ වෙනස් කර ගන්න. හොඳ අනාගතයක් උරුම කර ගන්න. හොඳ ගුණවත් කෙනෙක් ලැබුණොත් මම ආයේ විවාහ වෙනවා.’ යැයි සිතී අවසන් වශයෙන් පැවැසුවාය.

ලුසිත ජයමාන්න
‘ඬේලිමේල්’ ඇසුරිනි


RECOMMEND POSTS