දෙදරා ගිය ප්‍රජාතන්ත්‍රවාදය



ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙදරායෑම අපේ ඇස්පනාපිට සිදුවිය. ඒ, පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, සාමකාමී බලහුවමාරුවකට අකමැත්ත පළ කරන වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීම්’ මැද ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක්, ඇමෙරිකන් කැපිටල් ගොඩනැගිල්ල වටලමින්, ඊට කඩා වදිමින්, එහි පාලනය සියතට ගැනීමට උත්සාහ දැරීමය.

ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට අකමැති වීමත්, ජනතාව උසිගැන්වීමත්, ලෝක නායකයන් බොහෝ දෙනකුගේ පිළිකුලට හේතුවක් විය. කැපිටල් හිල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළු වී, කොංග්‍රස් මණ්ඩලයේ පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උත්සාහ ගැනීමත් සමඟ දරුණු ගැටුම් හටගත්තේය.  වොෂින්ටන් පොලිස් නිලධාරීන්ගෙන් ඔවුන්ට බාධා එල්ල විය. එහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. පොලිස් වෙඩි පහරින් කලහකාරීව හැසිරුණු සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි. එයින් එක් අයකු කාන්තාවකි.

ඇමෙරිකාවේ අගනුවර වොෂින්ටනයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණයේ කේන්ද්‍රස්ථානය වොෂින්ටනයයි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය, එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ල එසේත් නැතිනම් ඇමෙරිකන් පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ කැපිටල් හිල් හි ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. එය ආන්දෝලනාත්මක එකක් විය. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර දෙකකි. ඒ අනුව, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අතර, ඔහුට අභියෝගයක් එල්ල වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගෙනි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පැහැදිලි වූ නමුත් ට්‍රම්ප් දිගින් දිගටම පරාජය ප්‍රතික්ෂේප කරන්න විය. ඒ ජනාධිපතිවරණය දූෂිත බවත් හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවත් පෙන්වා දෙමිනි. සාම්ප්‍රදායික රිපබ්ලිකන් පක්ෂ බළකොටු රැසක් ඩිමොක්‍රටික් පක්ෂය සතු විය. ට්‍රම්ප් අධිකරණ ක්‍රියා මාර්ගයක යොමු විය. ජනපද කීපයක ඡන්ද යළි අතින් ගණන් කිරීමට තීන්දු කෙරුණි. එයින් එකක් වන්නේ ඇට්ලැන්ටා ජනපදයේ ජෝර්ජියා නුවර ඡන්ද ගණන් කිරීමය. නැවත සිදුවුණු ජෝර්ජියා ඡන්ද ගණන් කිරීමෙන් ට්‍රම්ප්ට අවාසියක් වූ අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජය තවත් තහවුරු විය.

ඒ අනුව, ඇමෙරිකානුවන්ට සුවිශේෂී දිනයක් විය. පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ජය සනාථ කිරීමට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්විය. ඒ ඡන්ද විමසුමකට සම්බන්ධ වෙමිණි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය.

‘ඇමෙරිකාව බේරා ගන්න පෙළ ගැසෙනු’ යැයි ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව, තවත් පිරිසක් ද වොෂින්ටන් අගනුවරට රැස් කන්න වූහ. පසුව කලහ කරන්න පටන් ගත්තේ ට්‍රම්ප්ගේ මෙම ආධාරකරුවන්ය. දස දහස් ගණනක් දෙනා ට්‍රම්ප් වටා එක් රොක් වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සාම්ප්‍රදායික සුදු ඇමෙරිකානුවන්ය. දැඩි මතධාරී ඇමෙරිකානුවන්ය. ට්‍රම්ප්ගේ වචනවලින් කීවොත්, සැබෑ ඇමෙරිකානු දේශප්‍රේමීන්ය. “ඇමෙරිකන් කොංග්‍රසය දුර්වලයි. දුර්වල කොංග්‍රසයකින් ඇමෙරිකානුවන්ට සෙතක් වෙන්නේ නැහැ. ඇමෙරිකන් අප එකමුතු වෙන්න ඕනෑ. එයයි අපේ ශක්තිය. මාගේ ජය තහවුරුයි. දහස් ගණනින් ඇමෙරිකානුවන් මෙසේ අද එක් රොක් වී සිටින්නේ ඒ නිසයි. නිර්භීත සෙනෙට් සභිකයන්, කොංග්‍රස් සභිකයන් බොහෝ දෙනකු අපේ සහායට සිටිනවා. එසේ නොකරන බියගුල්ලන් පවා සිටිනවා.” යැයි ට්‍රම්ප් රැස්ව සිටි එම පිරිස හමුවේ කළ ප්‍රකාශය, ගින්නට පිදුරු දැමීමක් විය.

විරෝධතාකරුවෝ සෙමින් සෙමින් කැපිටල්හිල් දෙසට ඇදෙන්න වූහ. ඒ, අතරතුරේ, ට්‍රම්ප් දිගට හරහයට ට්විටර් පණිවුඩ නිකුත් කරන්න වූයේ කොංග්‍රසය විවේචනය කරමිනි. විරෝධතාකරුවන් කොංග්‍රස් මණ්ඩලයේ පාලනය තමන් අතට ගැනීමට උත්සාහ දැරුවේ එම අවස්ථාවේදීය. කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් කුපිත වූ ට්‍රම්ප් ආධාරකරුවන් හමුවේ අසරණ වන අයුරු ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබුණි.

විරෝධතා උත්සන්න වෙද්දී, ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන් තම පොලිස් නිලධාරීන්ට රසායනික දියරවලින් පහර දෙන්න වූ බව වොෂින්ටන් පොලිස්පති රොබර්ට් කොන්තේ පැවැසීය. කෙසේ හෝ අවසානයේ වෙන විකල්පයක් නොවූ බැවින්, වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවා ලොක්ඩවුන් කෙරුණි. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම තාවකාලිකව නවතා දැමුණි. විරෝධතා ආරම්භ වී, ඒවා උත්සන්න වී, පැය දෙකක් ගත වෙද්දී, ජනපති ට්‍රම්ප්ට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් පමණක් නොව, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද අප්‍රසාදයක් එල්ල වන්න පටන් ගත්තේය. ට්‍රම්ප් යළිත් වරක් අවසන් වරට, සිය ආධාරකරුවන් ඇමතුවේය. ‘සාමකාමීව හැසිරෙන්න. කලහ කරන්න එපා. පොලිසියට හරස් වෙන්න එපා. පොලිස් නිලධාරීන් සතුරන් නොවේ. ඔවුන් ඉන්නේ අපේ පැත්තේ. දැන් සාමකාමීව හැමෝම ආපසු ගෙවල්වලට යන්න’ ට්‍රම්ප් අවසන් වශයෙන් පැවැසුවේ එයයි. ඒ අනුව, ලොව කාගේත් අවදානයට යොමු වුණු ඇමෙරිකාවේ විරෝධතා යම්තාක් දුරකට නිමාවට පත් විය.ොෙ

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS