දුක හිතෙන පොසිලයක්



දකුණු චීනයේ ගැන්ෂූ පළාතේ පාසලක් ඉදිකිරීමට කැණීම් සිදු කරමින් තිබුණි. මල් කුට්ටි පුපුරුවා විනාශ කිරීමට ඩයිනමයිට් භාවිතා කෙරුණි.

පිපිරීම් කිහිපයකින් පසු, එක් ස්ථානයක පොසිලකරණයට ලක්වුණු අස්ථි ඇති බව ඉදිකිරීම් සේවකයන්ට දකින්න ලැබුණු අතර, ඔවුහු ඒ බව අදාල බලධාරීන්ට දැනුම් දුන්හ.

චීන පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සහ පොසිල විද්‍යාඥයන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඩයිනමයිට් පිපිරීම් නිසා යම්තාක් දුරකට හානි වී තිබුණු එම පොසිල අස්ථි පරීක්ෂා කරන්න විය. පොසිල අස්ථි ඩයිනසෝරයකුගේ පමණක් නොව, නව විශේෂයකට අයත් ඩයිනසෝරයකුගේ යැයි පසුව දැනගන්න ලැබුණි. පොසිල විද්‍යාඥයන්ට හමුවුණු මෙම නව ඩයිනසෝරයා ‘මඩ මකරා’ යන නාමයෙන් නම් කරනු ලැබ ඇත.

අතීතයේ විසූ ඩයිනසෝරයන් දැක ගැනීමට නම්, අප යා යුත්තේ කෞතුකාගාරයට බවත්, එම ඩයිනසෝරයන්ගෙන් පැවැත එම මුතුන්මිත්තන් දැක ගැනීමට නම් යා යුත්තේ ගෙවත්තට බවත් බටහිර රටවල කියමනක් ඇත. අද අප දකින කුරුල්ලන්, දෙපයින් (පසුබස ගාත්‍රාවලින්) ඇවිද ගිය ඩයිනසෝරයන්ගේ ඥාතීන් බව ඇතැම් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව, ගෙවත්තේ දකින්න ලැබෙන කුරුල්ලෝ ඩයිනසෝරයන්ගේ ඥාතීහුය.

චීනයෙන් හමුවුණු ‘මඩ මකරා’ ඩයිනසෝරයා කුරුල්ලකුගේ හැඩරුවට සමාන, වර්ණවත් පිහාටුවලින් ද සමන්විත පසුපස ගාත්‍රාවලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. විද්‍යාඥයන් අතට පත් වුණේ මඩ මකරාගේ සර්ව සම්පූර්ණ වුණු පොසිල අස්ථිය. ඩයිනමයිට් පිපිරීමෙන් සුළු හානි සිදුවුවත්, පොසිලය ඉතා හොඳ තත්ත්වයෙන් පසුවන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පොසිල විද්‍යාඥයන් සහ චීන පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ඩයිනසෝරයා මඬේ එරීමෙන් මියගොස් ඇත. අවසන් සුසුම් හෙළා ඇත්තේ සිරුර වකුටු කරගෙනය. බැලූ බැල්මට එය දුක හිතෙන දසුනක් යැයි පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. මඩ මකරා ඩයිනසෝර යුගයේ අවසානයේ එනම්, මීට අවුරුදු මිලියන 66 ත් 72 ත් අතරේ ජීවත් වන්නට ඇතැයි පැවැසෙයි.

‘මඩ මකරා’ යන කෙටි නමින් හැඳින්වුවත් චීන පොසිල විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයා නම් කර ඇත්තේ ‘ටොන්ග්ටියැංලෝන්ග් ලිමෝසුස්’ යන විද්‍යාත්මක නමෙයෙනි. එහි සරල අදහස නම් ‘දෙව්ලොවට යන මඩ මකරා’ යන්නය. මේ සත්වයා අලුත් ඩයිනසෝරයෙකු වුවත්, ඕවිරැප්ටෝසෝරස් ඩයිනසෝරයන්ට සමාන යැයි පොසිල විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

ඕවිරැප්ටෝසෝරස් යනුවෙන් හැඳින්වෙන්නේ පිහාටුවලින් පිරුණු සිරුරක් ඇති ඩයිනසෝර විශේෂයකටය. මෙම ඩයිනසෝරයන් සමාන වන්නේ වර්තමානයේ අපට දකින්න ලැබෙන පියෑඹීමට නොහැකි කැසෝරි වැනි කුරුල්ලන්ටය. කැසෝරි අහම අහිමි කුරුල්ලකු වන අතර පැස්බරා හා සමානය.

ඕවිරැප්ටෝසෝරස් යනු මාංශ භක්ෂක පසුපස ගාත්‍රාවලින් ඇවිද ගිය ඩයිනසෝරයෙකි. මේ ඩයිනසෝරන් ජීවත් වුණේ අවුරුදු මිලියන 75 කට පෙර යැයි පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. චීනයට ද අයත් වන මධ්‍යම ආසියාවේ ගෝබි කාන්තාරයේ ඔම්නගෝව් පලාතෙන් මෙම ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථි හමුවී ඇත. හිසේ සිට වල්ගය කෙළවර දක්වා දිග මීටර් දෙකකි. මෙම ඩයිනසෝරයා අනෙක් ඩයිනසෝරයන්ගේ බිත්තර සොරා ගැනීමට පුරුදු වී ඇත. එහෙයින් ‘බිත්තර සොරා’ යනුවෙන් ද හැඳින්වෙයි.

ඕවිරැප්ටෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ වෙනත් ඩයිනසෝරයන්ගේ විශේෂයෙන් ප්‍රොටෝසේරටොප්ස් ඩයිනසෝරයන්ගේ බිත්තර කටු කැබලි ද සමඟය. ඕවිරැප්ටෝසෝරස් ඩයිනසෝරයාට දත් නැත. කශේරුව ගිරවකුගේ සහ රාජාලියකුගේ මෙන් හැඩයක් ගනී. ඒ වගේම ශක්තිමත්ය. හොට ඉතා ශක්තිමත්ය.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS