ජැසෙන්ඩාට බහුතර බලයක්



නවසීලන්ත මහ මැතිවරණය අද (17) පැවැත්විණි.

නවසීලන්තයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර 3 කට වරකි. සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එය අද (17) දිනට කල් දැමුණි.

මැතිවරණය පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය නිර්දේශ අනුවය. මිලියන ගණනක් ඡන්ද දායකයන් වෙනුවෙන් පසුගිය 3 වැනිදා සිට ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබුණි.

මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර, කවුරුත් අපේක්ෂා කළ අන්දමට, නවසීලන්ත ජනතාවගේ අසීමිත ගෞරවය සහ ආදරය දිනූ අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය ජය ග්‍රහණය කර අවසන්ය.

සහකරු ක්ලාක් ගේෆිල්ඩ් සමග ජයග්‍රහණයේ සතුට බෙදා ගනිමින්

අගමැතිනිය ලැබූ එම ජය එසේ මෙසේ එකක් නොවෙයි. එය ඓතිහාසික ජයකි.අගමැතිනි ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේ බහුතර බලයක් ද සමගින්ය.

වර්තමානයේ ක්‍රියාත්මක, නවසීලන්ත ඡන්ද ක්‍රමය හදුන්වා දීම සිදුවූයේ 1996 වසරේ දීය. එම ඡන්ද ක්‍රමය යටතේ, මේ වනතුර එරට කිසිදු දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකින් බහුතර බලයක් සහිතව ජයක් ලබා නැත.

ජැසෙන්ඩා සහ ඇගේ කම්කරු පක්ෂය එය වෙනස් කර තිබේ.

ප්‍රීතියට පත් පක්ෂ ආධාරකරුවෝ පිරිසක් ...

ඒ අනුව, මෙවර, 40 හැවිරිදි ජැසෙන්ඩා ප්‍රමුඛ කම්කරු පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබේ.

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120 න් ආසන 64 කට වඩා වැඩි ගණනක් ජයග්‍රහණය කිරීමට කම්කරු පක්ෂය සමත් වූ බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පරාජය බාර ගනිමින් විපක්ෂ නායිකාව මෙන්ම නවසිලන්ත ජාතික පක්ෂයේ නායිකාව ද වන ජුඩිත් කොලින්ස් අගමැතිනී ජැසෙන්ඩා ට සුබ පැතුවාය.

රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කොලින්ස් කියා සිටියේ, අගමැතිනී එර්ඩන් සහ කම්කරු පක්ෂය ලැබූ අති විශිෂ්ට ඓතිහාසික ජය ගැන තමන් පුදුම නොවන බවත් එය තමන් සහ තම පක්ෂය අපේක්ෂා කළ බවත්ය.

ජූඩිත් කොලින්ස් පරාජය බාර ගනිමින් ...

2017 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජැසෙන්ඩා නවසීලන්තයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයට පත් වූයේ නවසීලන්ත ෆර්ස්ට් පක්ෂය සහ හරිත පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.

ජයග්‍රහණයෙන් පසු පක්ෂ ආධාරකරුවන්ට ස්තුති කරමින් 40 හැවිරිදි අගමැතිනිය අවධාරණය කළේ ඉදිරි වසර තුන අභියෝග ජය ගෙන ඉදිරියට යන බවත් ජනතා විශ්වාසය කිසිදු අවස්ථාවක පළුදු වීමට ඉඩ නොතබන බවත්ය‍.

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ලොව සාර්ථකම රාජ්‍ය නායිකාවක ලෙස සැලකෙයි.

නවසීලන්තයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනයට ඇය සෞඛ්‍ය අංශය සමඟ එක් වී ගෙන ගිය වැඩපිළිවෙළ නවසීලන්ත වැසියන්ගේ පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට ලක් වී ඇත.

පසුගිය වසරේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ සුදු අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ද අගමැතිනී එර්ඩන් නවසීලන්ත වැසියන්ගේ පැසැසුමට ලක් වී සිටින්නීය.

නවසීලන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇය අවශ්‍ය පියවර ගත්තාය.

මේ කරුණු කාරණා ඇගේ විශිෂ්ට ජයට හේතු විය.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු නවසීලන්ත මුස්ලිම් වැසියන්ට සොව පළ කරමින් ...

අගමැතිනිය, සහකරු සහ දියණිය

ලුසිත ජයමාන්න
ඩේලිමේල් සහ
නවසීලන්ත පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS