ගූගල් දත්ත ගබඩාව බලන්න යමු



අද අප බොහෝ දෙනාගේ කටයුතු සිදුවන්නේ අන්තර් ජාලයෙනි. ෆේස්බුක් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ද අපි අන්තර් ජාලයට සම්බන්ධ වී සිටින්නෙමු.

අන්තර් ජාලයට පිවිසීමට සහ සේවා සැපැයීම ලබා දෙමින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ ගූගල්ය.

1998 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මෙල්නෝ පාක් හි පිහිටු වූ ගූගල් සමාගම ඇමෙරිකන් සමාගමක් වන අතර, අන්තර් ජාල සේවා සැපැයුම්වලට අමතරව මෘදුකාංග නිපදවීම්, තාක්ෂණ මෙවලම් නිපදවීම් ආදිය සිදු කරයි.

කවුරුත් විද්‍යුත් තෑපෑල භාවිතා කරන අතර, බොහෝ දෙනා භාවිතා කරන ජී මේල් විද්‍යුත් තැපැල් සේවය ද ගූගල් සමාගමේ එළිදැක්වීම්ය. චන්ද්‍රිකා යොදා ගනිමින් ගූගල් මැප් නමින් ලෝක ගෝලය සිතියම් ගත කිරීම කළේ ද ගූගල් සමාගමය. අපට අලුතින් හඳුන්වා දෙනු ලැබූ ‘ගූගල් රෝඞ් විව්’ පමණක් නොව, යූ ටියුබ් පවා ගූගල් සමාගමේ එළිදැක්වීම්ය.

ගූගල් සමාගම අප කාගේත් දත්ත ගබඩා කර තබා ගන්නේ ඔවුන්ගේ අති විශාල දත්ත ගබඩා සංකීර්ණයේය. මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඔරෙගන්හිය. මෙය අධි ආරක්ෂිත ස්ථානයකි. පිටත කාටවත් පමණක් නොවේ ගූගල් සමාගමේ සේවක සේවිකාවන්ට පවා මෙයට ඇතුළු වීමට අවසර නැත.

අවසර ඇත්තේ සමාගමේ ඉහළ ප්‍රධානීන් සහ තාක්ෂණ විශේෂඥයන් අතලොස්සකට පමණි. එසේ ඇතුළු විය හැකි අය අතුරින් ද වරකට ඇතුළු විය හැක්කේ එක් අයකුට පමණි. දත්ත ගබඩාවට ඇත්තේ විශේෂ ඉලෙක්ට්‍රොනික සහ ජෛව යතුරකි. ඇතුළට යෑමට අවසර ලැබී ඇති පුද්ගලයන්ගේ කළු ඉංගිරියාව ස්කෑන් කර පරිගණක ගත කර ඇත. ඇතුළට යෑමට දොර ඇරැන්නේ ඔහුගේ හෝ ඇයගේ කළු ඉංගිරියාව ස්කෑන් කිරීමෙන් පසුවය.

අධි ආරක්ෂාව නිසා ඇතුළු වීමට නොහැකි මෙම දත්ත ගබඩා සංකීරණයට යෑමට දැන් ඕනෑම කෙනකුට හැකියාව ලැබී ඇත. ඒ, යූ ටියුබ් වීඩියෝ දසුන් හරහාය. දත්ත ගබඩාවේ සියලුම කොටස් වීඩියෝගත කර ඇති අතර එය යූ ටියුබ් ඔස්සේ නොමිලේ මෙන්ම පහසුවෙන්ම නැරැඹීමට හැකිය. ‘ගූගල් ක්ලවුඞ්’ භාවිතා කරන්නේ නම්, අංශක 360 ක කෝණයකින් මෙම දසුන් නැරැඹීමට හැකි බවත් එය අපූරු අත්දැකීමක් වනු ඇති බවත් ගූගල් සමාගම වෙනුවෙන් එහි එක් ප්‍රධානියකු වන සන්දීප් පවසයි.

දත්ත ගබඩාවේ පද්ධතිවල ආරක්ෂාවට විශේෂිත සිසිල් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. එම සිසිල් කිරීමේ පද්ධතියට සම්බන්ධ නළ විවිධ වර්ණ ගන්වා ඇත. නිරන්තරයෙන් මෙම නලවල වතුර ගලා යයි.

මීට අමතරව, දෘඪ තැටි විනාශ කිරීමට ද විශේෂිත කුටියක් ඇත. දත්ත දෘඪ තැටිවල ගබඩා කෙරෙන්නේ කෙටි කාලයකට පමණි. ඒවා, විනාශ කිරීම හෝ යළි භාවිතයට ගැනීම හෝ සිදුවෙයි. ගූගල් සමාගම පවසන්නේ ඔවුන්ගේ මේ දත්ත ගබඩා සංකීර්ය පරිසර හිතකාමී අයුරින් නිපදවා ඇති බවය. පරිසරයට කිසිදු හානියක් සිදු වන්නේ ද නැත.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS