කොහොම හරි බේරාගන්න ඕනෑ



සති දෙකකට වැඩි කාලයක්, ලෙන තුළ සිරවී සිටින යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීම ඉදිරි සිවු දින තුළ සිදු කළ යුතු බවත්, එසේ නොහැකි වුවහොත් දරුවන්ගේ ජීවිත අනතුරේ වැටෙනු ඇති බවත් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන තයිලන්ත නාවික හමුදාව කියයි.

දරුවන් සහ පුහුණුකරු සිරවී සිටින්නේ, තායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් ලෙන තුළය.

දරුවන් සිරවී සිටින තැන හැර මුළු ලෙනම මේ වනවිට ජලයෙන් පිරී ගොස් ඇත. ඒ, ඇද හැලෙමින් පවතින මෝසම් වැසි හේතුවෙනි.

දරුවන් සහ පුහුණුකරු ලෙන ගවේෂණය කරමින් සිටිද්දී, පසුගිය 23 වැනිදා මෝසම් වැසි ඇද හැලීම ආරම්භ වුණු අතර, ඔවුන් ලෙන තුළ සිරවූයේ ඒ අනුවය.

ඉදිරි දින 4 ක කාලයේ ඇද හැලෙන මෝසම් වැසි ප්‍රමාණයේ අඩුවක් දකින්න ලැබෙන බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇත.  මේ වනවිට ලෙන තුළ ජලය ඉසිමින් ඉවත් කිරීම ද දිගින් දිගටම සිදු කෙරේ. යළි වැසි වැඩිවීමක් දින 4 කින් පසුව සිදුවනු ඇති බව පැවැසෙයි.

එසේ වුවහොත් දරුවන් සිරවුණු තැන පවා ජලයෙන් යටවී යනු ඇතැයි බිය පළ කෙරේ. එහෙයින් දරුවන් බේරා ගැනීමට නම්, ඉදිරි සිවු දින ඇතුළත එය කළ යුතු යැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පෙන්වා දෙයි.

දින 10 කට පමණ පසු සිරවුණු දරුවන් සොයා ගැනීම සිදුවූයේ පසුගිය 2 වැනිදාය. ඒ, මෙහෙයුමට සම්බන්ධ වී සිටින බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනෙකි. ලෙන පිවිසුමේ සිට දරුවන් සිරවී සිටින තැනට යෑම ඉතා අසීරුය.

කිමිදුම්කරුවන් දරුවන්ගේ සුවදුක් විමසා බලමින්, ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන්නේ මහත් ආයසයකින් කිමිදෙමිනි.
කිමිදුම් කට්ටල භාවිතයට ගනිමින් දරුවන් ලෙන තුළින් එළියට ගැනීම ද අසීරුය.

ඊට හේතුව දරුවන්ට පිහිනීමට හෝ කිමිදීමට හෝ නොහැකි නිසාය. දරුවන්ට කිමිදෙන්න පුහුණුවක් ලබා දෙන බව තායිලන්ත නාවික හමුදාව පවසා ඇත.

පසුගිය 6 වැනිදා දරුවන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ගොස් ආපසු එමින් සිටියදී තායි නාවික හමුදාවේ විශ්‍රාමික නාවික හමුදා කිමිදුම්කරුවෙක් ජීවිතක්ෂයට පත් විය. 38 හැවිරිදි ඔහු සමන් කුනාන්ය. ඔහු දරුවන්ගේ උදවුවට පැමිණ ඇත්තේ ස්වේච්ඡාවෙනි.

තමන් යහතින් සිටින හෙයින් බිය නොවන්නැයි දන්වමින්, තායිලන්ත ලෙන තුළ සිරවුණු අවුරුදු 11 ත් 16 ත් අතර වයස්වල දරුවන් 12 දෙනා, ලෙන පිටත රැඳී සිටින ඔවුන්ගේ මාපියන්ට ලිපි යවා ඇතැයි වාර්තා වේ.

ලිපි යැවීම සිදුවූයේ කිමිදුම්කරුවන් අතිනි. කිමිදුම්කරුවන් දරුවන්ට අවශ්‍ය කඩදාසි සහ පෑන් පැන්සල් ලබා දී ඇති අතර, දරුවන් තමන් හොඳින් සිටින බව දන්වමින් ලිපි එවා ඇත්තේ ඒ අනුවය.

දරුවන්ට අවහ්‍ය බඩුබාහිරාදිය, බෙහෙත් වර්ග යැවීම සිදු වන්නේ කිමිදුම්කරුවන් අතිනි. ලෙන පිවිසුමේ සිට දරුවන් සිරවී සිටින තැනට පිහිනීමට කිමිදුම්කරුවන්ට පැය 6 ක කාලයක් ගත වන බව පැවැසෙයි. වෛද්‍යවරුන් දෙදෙනකු ද දරුවන් සිටින තැනට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ බව ද වාර්තා වේ.

මේ අතර, තායිලන්ත ලෙන් පද්ධතියේ සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාගෙන් එක් දරුවකු පසුගිය 3 වැනිදා අඳුරු ලෙන තුළ සිට සිය 14 වැනි උපන් දිනය සැමරුවේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS