කොරෝනා නසන ඔක්ස්ෆර්ඞ් එන්නත



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැලැක්වීමට, සිරුරේ ප‍්‍රතිශක්තියක් ඇති කළ හැකි සාර්ථක එන්නතක් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇත.

වයිරසයෙන් ආරක්ෂා වීමට එන්නත මගින් සිරුරේ ප‍්‍රතිශක්තියක් නිර්මාණය වන බව තහවුරු වී ඇත්තේ, අත්හදා බැලීමක් ලෙස, තෝරාගත් 1,077 දෙනකුට එය ලබා දීමෙනි. ‘චැඞ්ඔක්ස්1කොව්19’ යන නමින් මෙම එන්නත නම් කර තිබේ.

එන්නත නිපදවීමේ දී ඔක්ස්ෆර්ඞ් වෛද්‍ය පර්යේෂකයන්ට බි‍්‍රතාන්‍ය රජයේත්, බි‍්‍රතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේත්, වෛද්‍ය සභාවේත් අනුග‍්‍රහය සහ සහාය හිමිවෙයි. එන්නත ලබා දුන් සියයට 70 කට උණ, හිසරදය හටගත් බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත් පැරසටමෝල් ලබා දීමෙන් එය සමනය කර ගැනීමට හැකි බවත් වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

‘ඔක්ස්ෆර්ඞ්’ එන්නත තවත් අත්හදා බැලීම් කීපයකට යොදා ගැනීමට නියමිත බවත්, ඉන්පසු සියලූ ප‍්‍රතිඵල යළි යළිත් අධ්‍යනය කර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය පරිදි එන්නත වෙළෙඳපොළට නිකුත් කිරීම හෝ නොමිලේ බෙදා හැරීම හෝ සිදුවනු ඇති බවත් පැවැසෙයි.

එය සිදුවන්නේ ලබන 2021 වසරේදීය.

එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ සිදුවන අත්හදා බැලීමේ දී එය බි‍්‍රතාන්‍ය වැසියන් 10,000 කට ලබා දීමට නියමිත බව ද පැවැසෙයි. ඔක්ස්ෆර්ඞ් එන්නත සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS