ක්‍රිස්ටිනා කොක් ආපසු එයි



අභ්‍යවකශයට ගොස්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිමින්, වාර්තා රැසක් පිහිටුවූ ඇමෙරිකානු නාසා ගගනගාමිනී ක්‍රිස්ටිනා කොක් පසුගිය දා යළි පෘථිවියට පැමිණියාය.

කොක් පෘථිවිය බලා පැමිණියේ රුසියාවේ සෝයූස් ගගන කැප්සියුලේ ආධාරයෙනි. ක්‍

රිස්ටිනා කොක් සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි යුරෝපා අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරන ඉතාලි ගගනගාමී ලූකා පර්මිටානෝ සහ රුසියන් අජටාකාශකාමී ඇලෙක්සැන්දර් ස්කොර්ටෝව් ද පෘථිවිය බලා පැමිණියහ.

41 හැවිරිදි ක්‍රිස්ටිනා යළි පෘථිවියට පැමිණියේ, වැඩිම දින ගණනක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළ කාන්තාව බවට පත් වීමෙන් පසුවය. ක්‍රිස්ටිනා අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි දින ගණන 328 කි. මීට පෙර එම වාර්තාව තබා තිබුණේ පෙගී විට්සන් ය. මැය ද නාසා ගගනගාමිනියකි.

මාස 11 ක කාලයක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ක්‍රිස්ටිනා ගගන සක්මන 11 කට සහභාගී විය. එයින් එකක් ඉතා වැදගත්ය. කාන්තාවන් දෙදෙනකු ගගන සක්මනකට එක්වුණු පළමු අවස්ථාව මෙය විය. එම ඓතිහාසික ගගන සක්මනට එක්වුණු අනෙක් කාන්තාව ජෙසිකා මියර් ය.

අභ්‍යවකාශ නැවතුම්පොළ රඳවා ඇත්තේ කිලෝමීටර් 402 ක් ඉහළිනි. ක්‍රිස්ටිනා පෘථිවියට පැමිණීමට පෙර, විස්කෝතු සෑදුවාය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. ඒ අනුව එය ද වාර්තාවකි. විස්කෝතු සෑදීමේ කටයුත්තට දායක වූයේ ක්‍රිස්ටිනා සහ ලූකා දෙදෙනාය.

ලූකා සහ ක්‍රිස්ටිනා විස්කෝතු සකස් කළේ, අභන්‍නකාශ නැවැතුම්පොළට ලැබුණු අලුත්ම විදියේ විශේෂිත උදුන භාවිතයට ගනිමිනි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මේ කුඩා උදුන, අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම සිදුවූයේ එලොන් මුස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ යානයෙනි. (එලොන් මුස්ක් යනු ඇමෙරිකන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. නව නිපැයුම්කරුවෙකි. මොහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිර්මාණය කරයි. ඒ නාසා ආයතනය සමඟ එක් වෙමිනි.)

අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවෙන්ම විශේෂිත මෙම උදුන භාවිතයෙන් විස්කෝතු නිපදවා ගැනීම අභියෝගයක් විය. වරකට එක් විස්කෝතුව බැගින් උදුනට දමා පුළුස්සා ගැනීම සිදුවිය. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ උෂ්ණත්වයට ගැලපෙන අයුරිනි. මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය. පස්වැනි විස්කෝතුව පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 163 ක උෂ්ණත්වයක් යටතේය.

පළමු විස්කෝතුව මිනිත්තු 25 ක් උදුනේ තැබුණත් එය නිසි ලෙස පිළිස්සී නොතිබුණු බව පැවැසෙයි. ඉන්පසු මිනිත්තු 27 ක්, 120 ක් සහ මිනිත්තු 130 ක් විස්කෝතු පිළිස්සීමට පියවර ගැණුනි. විස්කෝතු නියම ‘පදමට’ සකස් වූයේ මිනිත්තු 120 ට වඩා උදුනේ තැබූ විට බව තහවුරු විය. අවාසනාවකට නිර්මාණය කළ විස්කෝතු රස බැලීමට ගගනගාමීන්ට අවස්ථාවක් නොලැබුණි. හොඳින් පිළිස්සුණු අවසන් විස්කෝතු තුන, සීල් තබා, හොඳින් අසුරා පෘථිවියට එවීමට කටයුතු කෙරුණි.

විස්කෝතු සැකැසීම සිදුවූයේ අත්හදා බැලීමේ පර්යේෂණයක් යටතේය. විස්කෝතුවල රස තීරණය කරන්නේත්, උදුනේ සාර්ථකත්වය තීරණය කරන්නේ පහළ පෘථිවියේ සිටින විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන්ය. විස්කෝතු පහළට එවීම සිදුවූයේ ද ‘ස්පේස් ඩ්‍රැගන්’ අභ්‍යවකාශ යානය යොදා ගනිමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS