උඩදී වෙනස් වුණු ස්කොට් කෙලී



ස්කොට් ජෝසප් කෙලී ඉන්ජිනෙරුවෙකි. විශ්‍රාමික නාවික හමුදා කපිතාන්වරයෙකි. අද ඔහු විශ්‍රාමික ගගනගාමියකු මෙන්ම කතුවරයෙකි.

නාසා ආයතනයේ වැදගත් අභ්‍යවකාශ මෙහෙයුම් රැසකට දිවි පරදුවට තබා සම්බන්ධ වූයේ ස්කොට් කෙලීය. 53 හැවිරිදි ස්කොට්, නාසා ආයතනයේ ගගන මෙහෙයුම් හතරකට සම්බන්ධ විය. ඔහු ගගනගාමියකු ලෙස විශ්‍රාම ගියේ පසුගිය වසරේදීය. ඔහුගේ අවසන් මෙහෙයුම සුවිශේෂී එකකි.

ස්කොට් කෙලී 2015 සහ 2016 වසරවලදී මාස 11 ක්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොලේ නැවැතී සිටියේය. ඔහු විවිධාකාරයේ පර්යේෂණ කළේය. ඒ, නැවැතුම්පොළේ ඇති රසායනාගාරය යොදා ගනිමිනි. ඒත් වැදගත්ම පරීක්ෂණය වූයේ ස්කොට් කෙලී ය. නාසා විද්‍යාඥයන් ස්කොට් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රඳවා තැබුවේ, අභ්‍යවකාශයේ සිටිද්දී මිනිස් සිරුරට කායිකව සහ මානසිකව සිදුවන බලපෑම් මොනවාදැයි සොයා බැලීම සඳහාය.

අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටිද්දී, ස්කොට්, 5,440 වාරයක්, පෘථිවිය වටා ගමනේ යෙදුණේය. ඔහු අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටවී තෙවතාවක් ගගන සක්මන්වල නියැලුණේය. ස්කොට්ට සාහොයුරෙක් සිටී. ඒ, මාක් කෙලී ය. ස්කොට් සහ මාක් නිවුන් සොහොයුරන්ය. නාසා ආයතනය මොවුන් දෙදෙනා බඳවා ගත්තේ ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වමිනි. ස්කොට් සේම, මාක් ද නාසා ගගනගාමියකු ලෙස සේවය කර තිබේ.

ස්කොට් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රඳවා ඔහුගේ ජානමය වෙනස්කම් සිදුවන අයුරු නාසා විද්‍යාඥයන් සොයා බැලුවේය. පසුව ඒවා, පෘථිවියේ සිටි මාක් කෙලී සමඟ සන්සන්දනය කළේය. මාස 11 කට පසු ස්කොට් යළි පෘථිවියට පැමිණෙද්දී, ඔහු ඔහුගේ නිවුන් සොයුරාට වඩා කායිකව පමණක් නොව, මානසිකව ද වෙනස්කම්වලට භාජන වී තිබුණි. පසුගිය නොවැම්බර් 23 වැනිදා ස්කොට් සිය අත්දැකීම් විස්තර කරමින්, ‘එන්ඩුරන්ස්: අ යර් ඉන් ස්පේස්: අලයිෆ් ඔෆ් ඩිස්කවරි’ :ෑබාමර්බජැථ ් ශැ්ර සබ ීච්ජැල ් ඛසfැඑසපැ දf ෘසිජදඩැරහ* නමින් පොතක් ද පළ කළේය.

ස්කොට්, අභ්‍යවකාශ නැවතුම්පොළේ මාස 11 ක් ගත කළේ තනියෙන් නොවේ. තවත් ගගනගාමීහු ද ඒ කාලයේ අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණියහ. පිටවී ගියහ. කෙසේ නමසුත් ස්කොට් සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය රුසියන් අජටාකාශගාමී මිකායිල් කෝනියෙන්කෝ දිගටම ස්කොට් සමඟ රැඳී සිටියේය.

ස්කොට් කෙලීගේ සගයා වූ මිකායිල් කොරියෙන්කෝ 55 හැවිරිදි වියෙහි පසුවෙයි. කොරියෙන්කෝ රුසියානු හමුදා සොල්දාදුවෙකි. කොරියෙන්කෝ ආගමට ලැදි අයෙකි. මීට පෙර, කොරියෙන්කෝ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ 2010 වසරේදීය. ඒ, අජටාකාශගාමියකු ලෙස පුහුණු වී වසර 12 කට පසුවය.

දෙදෙනා කසක්ස්තානයේ රුසියාවට අයත් බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවන බලා පිටත් ව ගියේ 2015 මාර්තු 27 වැනිදාය. ඒ, රුසියාවේ සොයූස් කැප්සියුලයක සහ රොකට්ටුවක ආධාරයෙනි. දින 342 කට පසු, කිලෝ මීටර් 322 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ස්කොට්, පසුගිය 2016 වසරේ මාර්තු පළමු වැනිදා, යළි පෘථිවියට පැමිණියේ රුසියන් අජටාකාශගාමී මිකායිල් කොරියෙන්කෝ ද සමඟය.

ස්කොට් සහ කොරියෙන්කෝ අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙසේ වසරකට ආසන්න කාලයක් රැඳී සිටිමින් වාර්තා ද පිහිටුවීය. ස්කොට් සහ කොරියෙන්කෝ ආපසු පෘථිවියට පැමිණියේ ද රුසියානු සෝයූස් ටීඑම්ඒ 18 එම් කැප්සියුලකිනි.

දේශපාලන කරළියේ පස මිතුරන් වුවත්, අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාවත් රුසියාවත් අතර ඇත්තේ සමීප මිත්‍රත්වයකි. ෂටල වැඩසටහන අවසන් කිරීමෙන් පසු, අභ්‍යවකාශ ගමන් බිමන්වලදී ඇමෙරිකාවේ නාසා ආයතනය රුසියානු අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගනී. අභ්‍යවකාශ නැවැතුම්පොළට යන ගගනගාමීන් ආපසු පෘථිවියට පැමිණෙන්නේ රුසියාවේ සෝයූස් වර්ගයේ කැප්සියුලවලිනි.

පෘථිවි කක්ෂයට ඇතුළු වන එම කැප්සියුල උඩු ගුවනේ සිට බිමට සෙමින් සෙමින් පහත් කෙරෙන්නේ පැරෂූට් ආධාරයෙන් කසකස්තානයේ තණබිම් ප්‍රදේශය ඉලක්ක කර ගනිමිනි. ආපසු එද්දී, ස්කොට්, කොරියෙන්කෝ සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටි රුසියන් අජටාකාශගාමී සර්ගේ වොල්කෝව් ද යළි පෘථිවියට පැමිණියේය. ස්කොට් සහ කොරියෙන්කෝ මෙන් නොව, වොල්කෝව් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටියේ මාස කිහිපයක කාලයකට පමණි. රුසියන් සහ ඇමෙරිකන් අභ්‍යවකාශ ආයතනවල නිලධාරීහු ඔවුන් පිළිගැනීමට කසකස්තානයට ගොස් සිටියහ. ආපසු පැමිණීමෙන් පසු රුසියාවට අයත් කසක්ස්තානයේ සිට, නාසා නිලධාරීන් ද සමඟ ස්කොට්, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවරට ගියේය.

ස්කොට් ට ඔහුගේ පෙම්වතිය, 22 හැවිරිදි සහ 13 හැවිරිදි දියණියන් දෙදෙනා සහ සොයුරු මාක් හමුවන්න ලැබුණේ හූස්ටන් නුවරදීය. කෙලීගේ බිරිය වූයේ ලෙස්ලි යැන්ඩල්ය. 2009 වසරේදී ඇය මෙලොවින් සමුගෙන තිබේ. ස්කොට්ගේ පෙම්වතිය නාසා ආයතනයට සම්බන්ධ මහජන සබඳතා නිලධාරිනියකි. මාක් පැමිණ සිටියේ බිරිය ගැබි්‍රයෙල් ගිෆර්ඞ් සමඟය. ඇය ඇරිසෝනා ජනදයේ කොංග්‍රස් සාමාජිකාවක ලෙස කටයුතු කළ තැනැත්තියකි. නාසා ආයතනයේ ගගනගාමියකු ලෙස කටයුතු කර විශ්‍රාම ගොස් සිටින මාක් කෙලී ද ඇමෙරිකා නාවික හමුදා කපිතාන්වරයෙකි. දැන් ඔහු උපදේශකවරයකු ලෙස නාසා ආයතනය සමඟ එක් වී සිටී.

උපන්දා සිටම නිවුන් සොහොයුරන් වන ස්කොට් සහ මාක් කෙලී දෙදෙනා හැඩරුවින් ද එක වගේ වූ නමුත්, අභ්‍යවකාශ වික්‍රමය අවසන් කර ආපසු පැමිණි ස්කොට්, මාක් ට වඩා උස වැඩි වී ඇත. ඒ, අඟල් දෙකකිනි. මෙම වෙනස් වීමත් සමඟ දැන් මේ දෙදෙනා එක වගේ නිවුන්නුන් ලෙස සැළකිය නොහැකි යැයි නාසා වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

අභ්‍යවකාශයේ රැඳී සිටිද්දී උස වැඩි වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන නාසා විද්‍යාඥයන් පවසන්නේ උස වැඩිවීමට හේතුව ගුරුත්ව බලය අඩු වීම කියාය. පෘථිවි ගුරුත්වයෙන් මිදී අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටිද්දී, අඩු ගුරුත්වය හෝ ශුන්‍ය ගුරුත්වය (ගුරුත්වාකර්ෂණ බලය නොමැත) මිනිස් සිරුරට බලපෑම් කරයි. අඩු ගුරුත්වය යනු අභ්‍යවකාශ නැවැතුම්පොළේ කෘත්‍රිමව නිර්මාණය කෙරෙන අඩු බලැති ගුරුත්වාකර්ෂණයයි. දීර්ඝ කාලයක් එසේ අඩු ගුරුත්ව බලයක් යටතේ සිටිද්දී, ස්කොට් කෙලීගේ උස වැඩීවීම පැහැදිලිව දකින්න ලැබෙන බව නාසා වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

‘ඔබේ කශේරුකාව යෝධ දිග ස්ප්‍රිංග් එකක් වැනිය. සාමාන්‍යයෙන් අපි ස්ප්‍රිංග් එකක් පහළට තද කළොත් දඟර ගැසී ඇති එය හැකිලෙනවා. ගුරුත්වාකර්ෂණ බලයට අපේ කෂේරුකාවත් ඒ විදියට හැකිලී තියෙනවා. ස්ප්‍රිංග් එක ලිහිල් කළොත්, එය දිගින් වැඩි වෙනවා. ඒ වගේමයි කශේරුකාව අඩු ගුරුත්වයකදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා කෙලින් වීමක් වෙනවා. කොන්ද වෙනදාට වඩා කෙලින් වීමක් සිදුවුණු නිසා කෙලීගේ උස ද ඒ අනුව සුළු ප්‍රමාණයකින් වැඩි වුණා.’ යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. සාමාන්‍යයෙන් රාත්‍රියේ නිදා සිටිද්දීත් කශේරුකාව මේ අයුරින් දික් වෙනවා. ඊට හේතුව ඇඳේ වැතිරී සිටිද්දී, කශේරුවට පලපෑමක් එල්ල නොවන හින්දයි. ඒත් උදේ අවදි වෙද්දී, කශේරුකාව යළි කුදු ගැහෙනවා. ඒක පාථිවියේ සිටින අපට ගුරුත්වාකර්ශණය නිසා සිදුවන බලපෑම්වලින් එකක්. ඒ බව දැන් තහවුරු වුණා’ යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් මිනිසාට සිදුවන බලපෑම් අධ්‍යයනය කිරීම ස්කොට් කෙලීගේ ප්‍රධාන මෙහෙයුම වුවත්, අභ්‍යවකාශ මධ්‍යස්ථායේ කුඩා හරිතාගාරයේ එළවළු සහ පලතුරු කොටුවට සාත්තු කළේ ද කෙලීය. ඔහු කෘත්‍රිමව ස්වාභාවික පරිසර තත්ත්වයන් නිර්මාණය කරමින්, සීනියා පැලයක් නඩත්තු කළේය. එම පැලයේ මලක් පිපුණි. පෘථිවියෙන් එපිට අභ්‍යවකාශයේ හරිතාගාරයක පිපුණු පළමු මල එම සීනියා මලය. එය ද වාර්තා අතරට එක් විය.

පොහොට්ටුවේ සිට මල සෙමින් සෙමින් පිපෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් සිය ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ද කෙලී පියවර ගත්තේය. එය ද ඓතිහාසික අවස්ථාවක් විය. කෙලී, සීනියා පැලයට සාත්තු කර කළේ 2015 වසරේ මාර්තු මාසයේ සිටය. අභ්‍යවකාශ නැවැතුම්පොළේ හරිතාගාරයේ සහ පර්යේෂණාගාරයේ කෘත්‍රිමව පැලයක් රෝපණය කිරීම පමණක් නොව, එය ඵලදැරීමට සැලැස්වීම අභියෝගයක් වුවත් ස්කොට් කෙලීට එම අසීරු අභියෝගය ජය ගැනීමට ඔහු සමත් විය. එම සීනියා මල හට ගැනීමත් සමඟ අඟහරු ජය ගැනීමේ මෙහෙයුම තවත් පියවරකින් ඉදිරියට ගියේ යැයි නාසා ආයතනය නිවේදනය කළේය. ඒ අනුව, ඉදිරියේදී සිදු කෙරෙන අඟහරු චාරිකාවකදී, ගගනගාමීන්ට ආහාර සැපැයීම අසීරු මෙන්ම අභියෝගයකි. ඊට විසඳුමක් ලෙස අභ්‍යවකාශයේ, අභ්‍යවකාශ යානාවල හරිතාගාර තුළ එලවළු පලතුරු වගා කිරීමට හැකි යැයි නාසා විද්‍යාඥයන් ඔප්පු කර අවසන්ය.

‘මට ඕනෑ වුණේ පුළුවන් ඉක්මනින් ආපසු එන්නයි. තව ටික කාලයක් මෙහෙයුම දීර්ඝ කරනවා යැයි නාසා ආයතනය කීවත්, මට තව දුරටත් අභ්‍යවකාශයේ රැඳී ඉන්න බැරි වුණා. ඒක හරිම වෙහෙසකර කටයුත්තක්’ යැයි ඇමෙරිකාවට පැමිණි ස්කොට් කෙලී, මාධ්‍යවේදීන් හමුවෙමින් කියා සිටියේය.

ස්කොට්ගේ සමේ සංවේදීත්වය වැඩි වී ඇති බව ද වෛද්‍යවරු කියති. අඩු ගුරුත්වයක සිට ආපසු පැමිණි නිසා මෙම තත්ත්වය හටගත් බව වෛද්‍යවරු පැහැදිලි කරති. සියුම් ස්පර්ශයකදී පවා තමාට දැඩි වේදනාවක් දැනෙන බව ස්කොට් කියයි. එය සම පිළිස්සී යනවා හා සමාන වේදනාවක් බව ද කෙලී වැඩි දුරටත් කියා සිටී. ‘මට වාඩි වෙලා ඉන්න බැහැ. නිදා ගන්න අමාරුයි. මගේ සම ගිනි ගන්නවා වගේ මට දැනෙනවා. ඒක හරිම වේදනාකාරීයි’ යැයි ඔහු පැහැදිලි කරයි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS